2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ශ්‍රි දළදා මාලිගාවේ වාර්ෂික පහන් පූජාව කාර්තික මංගල්‍යය

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 364

දුරුතු පොහොයට සිදුකරන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ හෝ නිකිණි මාසයට පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය හා ඉල් පුන් පොහෝ දිනට යෙදෙන කාර්තික මංගල්‍යය මහනුවර සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ සම්මත ප්‍රධාන සතර මංගල්‍යයන්ය. පසුගිය ඉල් පුර පසළොස්වක පොහොය දිනයේදීත් චිරාගත සම්ප්‍රදායානුකූලව කාර්තික මංගල්ලය පැවැත්විණි. ඒ පවතින වසංගතය හමුවේ නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුකූලවය.

ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකසා දෙන සුභ මුහුර්ත අනුව ප්‍රදීප පූජාව හා පෙරහර මංගල්‍යය පැවැත්වීම සිරිතකි. 2020 ඉල් පුන්පෝය දා පෙරවරු 6:08ට නැගෙනහිර දිශාභිමුඛව දළදා මාලිගාව ප්‍රමුඛ කොටගත් සෙසු විහාර හා දේවාලවලත් එම මොහොතේම කාර්තික මංගල්‍යය හෙවත් පහන් ආලෝක පූජාව සිදුකෙරිණ. එදිනම පස්වරුවේ 2:22ට යෙදුණු සුභ මොහොතේ ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික පෙරහර පැවැත්වීය. ඊට පෙර ඉල්මස 27 වැනිදා පස්වරු 3:00 ට මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී පහන් ආලෝක පූජාව සඳහා විහාර දේවාලවලට නියමිත පොල්තෙල් බෙදාදීම සිදුකළ බව දළදා මාලිගාවේ සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල මහතා පැවසීය. පවතින වසංගතය හමුවේ වුවද දළදා වහන්සේ උදෙසා කරන උත්තම පූජාවක් ලෙස වාර්ෂික කාර්තික පෙරහර මංගල්‍යය සීමිත ජනසහභාගීත්වයකින් සිදුකිරීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් උපදෙස් දුන් බවද ජයම්පති වැද්දාගල මහතා කීය.

මංගල්‍යයේ පළමු අදියර වශයෙන් නැකැත් නියම කළ පසුව එදිනට පහන් දැල්වීම සඳහා අවශ්‍ය තෙල් ශ්‍රී දළදා මාලිගය වෙතින් ලබාදීම සිදුකළේ. මංගල්‍යයට දින දෙකකට පෙරය. තෙල් නැලි 103ක් පමණ දළදා මාලිගය සිට පෙරහරකින් නාථ දේවාල භූමියට රැගෙන ගොස් කාරියකරවන කෝරාළ ඇතුළු පිරිස වෙතින් කාර්තික වට්ටෝරුව අනුව බෙදා දෙනු ලැබීය. එයට මාලිගාවේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාල සමඟ ප්‍රධාන දේවාල 1ක් ඇතුළු සෙසු දේවාල 36කට මෙන්ම මල්වතු පාර්ශ්වයේ විහාරස්ථාන 17ක් සහ අස්ගිරි පාර්ශවයේ විහාරස්ථාන 16ක් ඇතුළත්‍ වේ. ඉල් පෝයට කලින් දිනයේ ගම් දහයේ විදානේවරු ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රය ගොක්කොළවලින් සැරසුවෝය. අනතුරුව පුරපෝය දින පහන් පූජාවෙන් පසුව මාලිගාව උඩමාලේ කුඩා පෙරහරක් පැවැත්වීය. මෙම පෙරහරේ දියවඩන නිලමේතුමා ගමන් නොකරන අතර කාරියකරවන කෝරාළ ගමන් කරයි. එය පැවතෙන චාරිත්‍ර ක්‍රමයයි. ඉහතින් සඳහන් කළ විහාර හා දේවාලවලදීත් එදිනට යෙදුණු සුබ මොහොතේ කාර්තික පහන් පූජාකිරීම සිදුකළේ මාලිගාව වෙතින් ලබාදුන් තෙල් භාවිතයෙනි.

කෙසේ වෙතත් මෙවර කාර්තික පෙරහර දැඩි සෞඛ්‍ය උපදෙස් මත ජන සහභාගීත්වයකින් තොරව වුවද සියලු චරිත්‍ර විධි සහිතව දළදා මාලිගාවේ උඩමාලේ තුන්වරක් පැදකුණු කොට ගෙවදීම සිදුකළේය. මෙයට සමගාමීව කාර්තික මංගල්‍යයේ ප්‍රදීප දැල්වීමට කටයුතු කරන දේවාල අතරට මහනුවර හා අවට ප්‍රදේශවල පිහිටි වල්ලහගොඩ, ගනේගොඩ, ඇම්බැක්ක, මොරපේ යන කතරගම දේවාල සමඟ අලවතුගොඩ සමන් දේවාලය, අම්බොක්ක, පස්ගම, දොඩංවල, වේගිරිය යන නාථ දේවාලද හඟුරන්කෙත විෂ්ණු දේවාලයද ඇතුළුව තවත් ප්‍රසිද්ධ දේවාල කිහිපයක්ද එක්විය.

ගිනි දෙවියන් පිදීම සහ අග්නි පූජාව ඈත අතීතයේ පටන් පැවතියත් එය බුදුසමයෙන් අර්ථ ගැන්වී පහන් පූජා පින්කම බවට පත්ව තිබේ. අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය සිහිගන්වමින් අසූහාරදහසක් පහන් පූජා පින්කම් පැවැත්වීමට බොදුනුවන් ක්‍රියා කරන්නේ පහන් පූජාව ආමිස පූජාවක් වශයෙන් සලකමිනි. කුරුධම්ම ජාතක කථාවේ සඳහන් පරිදි කුරු රට ධනංජය නම් රජකුගේ මෙහෙයවීමෙන් ඉල් හෙවත් නොවැම්බර් මාසයේදී කාර්තික නම් සැණකෙළිය පැවැත්වූ බව කියැවේ.
කාර්තික මංගල්‍යයේ අරමුණ පහන් දැල්වීමය. එය හින්දු සම්ප්‍රදායේ පිළිවෙතකි. ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් උදෙසා කාර්තික මංගල්‍යය පැවැත්වීමේ සම්ප්‍රදාය අනුව යමින් එම පූජාව ශ්‍රී දළදා වහන්සේ වෙත ගෞරව බැතියෙන් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

උඩරට නායක්කර් වංශික රජවරු සිටියදී කාර්තික මංගල්‍යය වඩා ප්‍රචලිත වන්නට ඇතැයිද හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සමරන නොවැම්බර් මාසයේදීම ආලෝක පූජාව පැවැත්වීමට යෙදීමෙන් එවැනි සබඳතාවක් ඇතැයි සිතිය හැකිය. දෙවැනි රාජසිංහ රජ සමයේදී පහන් පූජා - කාර්තික මංගල්‍යය පැවැත්වූ බවට රොබට් නොක්ස්ගේ වාර්තාවෙහිද සඳහන්ව තිබේ. මේ අතර සෙනරත් පරණවිතාන ශූරීන් සඳහන් කොට ඇත්තේ අනුරපුර යුගයේදී පණ්ඩුකාභය රජ සමයේ චිත්‍රරාජ හා කාලවේල යක්ෂ නායකයන් වෙනුවෙන්ද කාර්තික පූජාව පවත්වා ඇති බවකි.

අතීත රජවරු විසින් දිනපතා සතිපතා මාසිකව සහ වාර්ෂිකව කළා වූ පුදපූජා චාරිත්‍ර විධි අදටත් එලෙසින්ම සිදුකරයි. ඒ අතර අලුත් සහල් මංගල්‍යය අලුත් අවුරුදු මංගල්‍යය ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන ප්‍රධාන හතරට අමතරව වෙසක් පෙරහර, පොසොන් පෙරහර සහ මැයි ජූනි මාසවල්දී වාහල නාග උපසම්පදා පෙරහරද වාර්ෂිකව පවත්වති. ඉදිරි වසර සඳහා දැනටමත් එම කටයුතු සූදානමින් පවතී.

මේ සියල්ල සාම්ප්‍රදායිකව  පැවැත්වීම අස්ගිරිය හා මල්වතු උභයමහා විහාරීය මහනායක හිමිවරුන්ගේ සහ තේවාව බාර නායක ස්වාමින්වහන්සේගේ මෙන්ම දියවඩන නිලමේවරයාගේ සුවිශේෂී කර්තව්‍යකි.

(දළදා මාලිගාවේ සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල මහතාට ස්තූතිය හිමිවේ.)

කතාව/සේයාරුව: සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04