2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ඩුබායි ඉඳන් ගහපු කුඩු ගේම් එක හලාවතදී මාට්ටු වූ හැටි

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ඩුබායිවල හැංගිලා ඉඳන් ලංකාවේ කුඩු සහ අයිස් ජාවාරම මෙහෙයවන ජූඩ් කියලා කෙනෙක් ඉන්නවා. මාකඳුරේ මධූෂ් ඉන්නකම් කන්න බොන්න පාටියකට හරි එළියට බැස්සා. ඒත් ජූඩ් හැංගිලාමයි ගේම ගහන්නෙ. මිනිහා චාමර කියලා හාදයෙක් විතරයි ආශ්‍රය කරන්නේ. චාමර වැඩිපුරම ඉන්නේ ඉන්දියාවෙ. නමුත් ජූඩ් කියන ඕනම වෙලාවක චාමර ඩුබායි යනවා. මිනිහා තමා ජූඩ්ගෙ වැඩ ටික සේරම කරවන්නේ. ළඟදීම මෙහෙට බඩු තොගයක් එවන්න ලෑස්තියි.

මේ කියන ජාවාරම්කරු පිළිබඳව ඔත්තුවක් සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරියකු වූ සුරාබදු නිලධාරී ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතාට ලැබී තිබුණේ මාස දෙකකට පමණ ඉහතදීය. එම තොරතුර සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම මහතාට දැන්වීමත් සමග සුරාබදු බුද්ධි අංශ ප්‍රධානී සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක සහ සුරාබදු පරීක්ෂක චින්තක උඩපමුණුව නිලධාරීන් වෙත අදාළ විමර්ශනයට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

මෑත ඉතිහාසයේ මෙකී ජාවාරම්වලට එරෙහිව ක්‍රියාකරන ආයතනවල ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් අසන්නට ලැබුණු පුවත් නිසා ඉතාමත් රහසිගතව සෙසු ආයතන කිහිපයක බුද්ධි අංශවල සහාය ලබාගනිමින් විමර්ශන කිරීමට සිදුව තිබිණි. මුහුදුබඩ ප්‍රදේශ ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් දෙස ඇස ගසා සිටියදී ජූඩ් නැමැති ජාවාරම්කරුගේ ජාවාරම රට වටා වෙර‍ළේ විවිධ ස්ථාන ආශ්‍රිතව කෙරෙන බවට හෙළිවී ඇත. ඒ සමඟ තොරතුරක් ලැබී තිබුණේ ඉදිරි ජාවාරම හලාවත වෙරළ ප්‍රදේශයේ සිදුකිරීමට සූදානම් බවකි.

මේ අතර කාලයේදී ජාවාරම්කරුගේ ගෝලයන් හා සබඳතාවක් ගොඩනගාගත් බුද්ධි නිලධාරීන්ට ඔවුන් හා දුරකතනයෙන් කතාකිරීමට හැකිවී ඇත. එම දුරකතන සංවාද සියල්ල විශේෂයෙන්ම සැකසූ (APP) මෘදුකාංග හරහා වූවකි. එවැන්නක් භාවිතයේදී කතාකරන පුද්ගලයා හඳුනාගැනීමට නොහැක. සිදුවන්නේ දුරකතන ජාලය හරහා ඩේටා වැයවීම පමණය. මේ සඳහා සූක්ෂම වී ඇති ජාවාරම්කරුවන් ව්‍යාජ ලෙස ජාතික හැඳුනුම්පත් සහ පාස්පෝට් සකසාගෙන ඇත. ඒ හරහා එක් හැඳුනුම්පතකට සිම්පත් පහක් පමණ මිලට ගෙන ඇත. එම කටයුතු මෙරට ගෝලයන්ගෙන් කරවාගෙන එම සිම්පත් හරහා ඩුබායි සිට ජූඩ් කතාකරන්නේ පෙර කී මෘදුකාංග භාවිතයෙනි. මේ ආකාරයට විමර්ශන නිලධාරීන් හා පළමුව කතාකර තිබුණේ ජූඩ් නැමැත්තාය. විදේශ රටවල සිට මෙරට ජාවාරම් කරන පිරිසට කුඩු තොග ලබාදෙන්නේ මේ අයුරිනි. ඔහු කිසිවිටෙකත් කිසිවකුගේ නමක් නොකියයි. හැඩහුරුව, ඇඳුම පැළඳුම හා වාහනය ගැන කියා කෙනෙකු හඳුන්වා දී ඔහුගෙන් අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට උපදෙස් දෙයි. ගනුදෙනුව අවසානයේ කතාකළ සිම්පත හා ජංගම දුරකතනයද ඉවත දමයි. එක් ගනුදෙනුවකට එක් දුරකතනයක් හා සිම්පතක් පමණක් භාවිතයට ගැනීම ජූඩ්ගේ රහසකි. මේ හේතුවෙන් ඔහු ගනුදෙනු කරන මෙරට ජාවාරම්කරුවන් හඳුනාගැනීමත් තරමක් අසීරුය.

හලාවත තෝඩුවාව ප්‍රදේශයේ සිදුකිරීමට සූදානම් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීහු ඒ ආශ්‍රිතව ආවේක්‍ෂණ කටයුතුවල නිරතව සිටියහ. ජාවාරම්කරුවන් දින කිහිපයකට වරක් සුඛෝපභෝගී වාහන මාරුවෙන් මාරුවට භාවිත කරන බවත් ඒවා කුලී පදනමට ගන්නා බවත් හෙළිකර ගැනීමට හැකි විය. එයද ජාවාරමේ සුරක්ෂිත බවටය. මේ අතර තෝඩුවාව ප්‍රදේශය ලොක්ඩවුන් වී තිබිණි.

සෞඛ්‍ය සේවා නිලධාරීන් සේ පෙනීසිට ආවේක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටියදී පෙරකී විවිධ වාහන යන එන බව හඳුනාගෙන තිබිණ. මේ අතර ප්‍රදේශයේ රෙස්ටුරන්ට් හා හෝටලයක් වශයෙන් පවත්වාගන යන ස්ථානයකට පැමිණි පිරිසකි. ඔවුන් ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවරුන් බව කියමින් පසුගිය 30 වැනිදාට ආසන්න දිනයක පැමිණ තිබිණි. එම ප්‍රදේශයට ආසන්න මාර්ගයක කාපට් ඇතිරීමේ කටයුත්තක් සිදුකරන බවත් ඒ සඳහා දින කිහිපයකට නවාතැන් ගන්නා බව කියමින් හෝටලය වෙන්කරවාගෙන තිබිණ. එහි රැඳී සිටිමින් පසුදිනක හෝටලය වෙත බූම් ට්‍රක්රථයක් ගෙන්වගෙන තිබුණේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා අවශ්‍ය බව කියමිනි. එහි විශාල ජෙනරේටරයක් තිබී ඇත. සියල්ල දෙස මාස දෙකක් තිස්සේ ඇස ගසා සිටි සුරාබදු නිලධාරීහු සංවිධානය වී හෝටල් පරිශ්‍රය මේ මොහොතේ වැටලූහ.

බූම් ට්‍රක්රථයට පැටවීමට සූදානම් කරමින් තිබූ හෙරොයින් සහ අයිස්  මත්ද්‍රව්‍ය තොගය කොටුකර ගත්තේ ඒ මොහොතේය. එම මත්ද්‍රව්‍ය තොගය අතර රුපියල් කෝටි 300ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 99ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ට ආසන්න ප්‍රමාණයක්ද විය. මෙම මත්ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්ෂම ආකාරයෙන් දොඹකර ලොරි රථයේ පටවන ලද විදුලිජනක යන්ත්‍රයක රහසිගත ආකාරයෙන් සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිණි. කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණේමුල්ල හා දෙමටගොඩ පදිංචි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සූදානම් කර තිබූ දොඹකරය සහිත ලොරි රථය හා අදාළ විදුලි ජනක යන්ත්‍රය සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරමේ මහ මොළකරු ජූඩ් හා චාමරට පසුව මෙරට සිට එය මෙහෙයවා තිබුණේ අවුරුදු 9ක් ජපානයේ සිට පැමිණි ශාන්ත හා රවීන්ද්‍ර නම් වලින් පෙනී සිටින්නෙකි. අනෙක් ගෝලයා අතුල නැමැත්තෙකි. මොවුන් අතර ඔයාස් නැමැති අයෙකුද වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරික්ෂක චින්තක උඩපමුණුව සුරාබදු නිලධාරී ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර මහතා සමඟ ඩබ්ලිව්.ජී.එස්. නිශාන්ත, ඒ.එම්. ප්‍රේමරත්න, අයි.සී. රත්නායක, හිරාන් ඩයස්, රයිනි බයන්, එස්. පිලපිටිය, එන්. තලගල, සුරාබදු සැරයන් රණුර නජිත්ශ්‍රී, සුරාබදු සැරයන් ධම්මික හතුරුසිංහ, උපුල් නිලන්ත රාජපක්ෂ, නලින් ප්‍රියංකර, කේ.ඒකනායක, ගාමිණි හේරත්, රවින්ද්‍ර පෙරේරා, සම්පත් සමග රියදුරු ලංකා, බණ්ඩාර හා ශ්‍රීනාත් ඇතුළු විස්සකට ආසන්න නිලධාරීන් පිරිසක් වැටලීම සදහා එක්ව සිටියහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04