හෑන්ඩ් සැනිටයිසර් යන වදන මීට වසරකට පෙර දැන සිටියේ අතලොස්සක් පමණි. එහෙත් අද වනවිට සැනිටයිසර් පිළිබඳ නොදන්නා අයෙක් සොයාගැනීම අපහසු වනවා සේම සැනිටයිසර් භාවිතා නොකළ අයෙක් සොයා ගැනීම විරලය. කෝවිඩ් වසංගතය සමඟ වෛරසයෙන් ආරක්ෂා වීමට ලැබුණු ආදායම් ලෙස සලකා අද බොහෝදෙනා සැනිටයිසර් භාවිතා කරති. එම නිසාම සැනිටයිසර් යනු කවරක් යන්න පිළිබඳ නැවත නැවත පැහැදිලි කිරීමෙන් පලක් නැත. දෑත් පිරිසුදුකරන විෂබීජ නාශක දියර හෙවත් හෑන්ඩ් සැනිටයිසර් අද ජාවාරමක් බවට පත්ව ඇත. එම එම නිසාම සැනිටයිසර් ව්‍යාපාර පිළිබඳ නම් නැවත නැවත ඔබ දැනුවත් විය යුතුව තිබේ. විද්වත් වගකිවයුතු පාර්ශව කිහිපයක් සම්බන්ධව කර ගනිමින් ඔබේ අවබෝධය උදෙසා මෙම සංවාද ගොඩ නැගූවෙමු.
කෝවිඩ් 19 වෛරසය වෙළඳපොළ තුළ පවතින ඕනෑම සැනිටයිසර් එකක් භාවිතයෙන් විනාශ කළ හැකියද? මේවාට ඇති ප්‍රමිතිය කුමක්ද? මූලිකව අපගේ අවධානය යොමුවූයේ ඒ වෙතටයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් - ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ගෙන් අප ඒ පිළිබඳව විමසා සිටියෙමු.
“සැනිටයිසර් සම්බන්ධව නියාමනයත් අයිති අපේ ආයතනයට. අපි දැනට කියලා තියෙනවා ලියාපදිංචි වෙලා ව්‍යාපාර පවත්වාගෙන යන්න කියලා. ප්‍රමිතිය නැති ඕනෑම එකක් අපිට තහනම් කරන්න පුළුවන්. වරින්වර ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුවෙනවා. දැනට ප්‍රමිතිය නැති වර්ග කිහිපයක් හමුවෙලා තියෙනවා. ඒවා සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඉදිරියේ දැනගන්නට ලැබෙයි. අපේ බලපත්‍රයක් පිට ක්‍රියාත්මක ආයතනික ප්‍රමිතිය නැත්නම් ඕනෑම් අවස්ථාව අපි එය නැවැත්වීමට කටයුතු කරනවා.
නමුත් මෙම නියාමනයන් වැටෙන්නේ විලවුන් උපකරණ සහ ඖෂධ පනත යටතේ. ඖෂධ නියාමන අධිකාරිය 2015 දී පිහිටුවනකොට ඒ කොටස අතහැරුණා. විලවුන් අපි හරහා පාලනය නොවී අවුරුදු 2ක් විතර ගතවුණා. ඒ කාලය ඇතුළත ගැටලු කිහිපයක් මතුවුණා. නමුත් දැන් අපි පනතක් හදලා තියෙන්නේ. ඉදිරියේ ඊට අනුව යමින් අපිට දැඩි තීන්දුව ගන්න පුළුවන් මේ හා සම්බන්ධව. කෙසේ කොහොම වුණත් මහජන සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධව වගකීමෙන් අපි කටයුතු කරනවා සියලු ගැටලු මගහරවා ගනිමින්.”
පොදු ප්‍රවාහන ඇසුරු කරන කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව රැකියා කරන අතිමහත් බහුතර දෙනාගේ ගමන් මල්ලේ හෝ සාක්කුවේ කුඩා සැනිටයිසර් බෝතල් තිබේ. එසේම සියලු පෞද්ගලික රථවාහන තුළ මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළද සැනිටයිසර් විශාල වශයෙන් භාවිතා වේ. මේ සියල්ලෝම සැනිටයිසර් භාවිතය හරහා කෝවිඩ් 19 වෛරසයෙන් තමන් ආරක්ෂා වේ යැයි දැඩිව විශ්වාස කරති. එවන් තත්ත්වයක් තුළ නිසි ප්‍රමිතියෙන් තොර වෛරසයෙන් ආරක්ෂා විය නොහැකි සැනිටයිසර් වෙළඳපොළ ආක්‍රමණය කර ඇත්නම් එය දැඩි ගැටලුවකි.
ප්‍රමිතියකින් තොර සැනිටයිසර් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පසුගිය කාලේ අඛණ්ඩව කටයුතු කළ පිරිස වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එම නිසාවෙන් ඔවුන්වද මෙම සංවාදයේ කොටස්කරුවන් බවට අප පත්කර ගතිමු. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මතු කරන්නේ මෙවන් අදහසකි.
“සැනිටයිසර් සම්බන්ධ තත්ත්වය සංකීර්ණ තැනක තියෙන්නේ. අපි දකිනවා පාර පුරා පේමන්ට් එකේ පවා එක එක ප්‍රමාණයේ බෝතල්වල විවිධ වර්ගයේ සැනිටයිසර් එකින් එකට වෙනස් මිල ගණන් යටතේ අලෙවි වෙනවා. සැනිටයිසර්වලට අඩුම තරමේ මිල නියාමනයක්වත් නෑ. අපි ජී.එම්.ඕ. එක විදිහට කියනවා මිල පාලනයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ. මොකක්ද ඇල්කොහොල්වලට වගේම අනෙක් රසායනික සංඝටකවලට යන්නේ එකම මිලක්. සුවඳ ද්‍රව්‍ය සහ ඇසුරුම්කරණයේදී විතරයි වෙනසක් වෙන්නේ. ඒ නිසා පාරිභෝගිකයන්ට සාධාරණ මිලක් යටතේ සැනිටයිසර් ලබාගන්න පුළුවන් වෙන්න ඕනෑ.
පැහැදිලිවම ගුණාත්මකභාවය සම්බන්ධව සහතිකයක් සැනිටයිසර් සම්බන්ධවත් තිබිය යුතුයි. අපි දකිනවා එස්.එල්.එස්. වගේ සහතික තියෙනවනේ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන්. ඒ වගේ ප්රමිතිකරණයකට මේක යටත් වෙන්න ඕනෑ. එතැනදී ප්‍රමිති කාර්යාංශයටත් ලොකු වැඩ කොටසක් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍යමය පැත්තෙන් ඖෂධ නියාමන අධිකාරියටත් වගකීමක් තිබෙනවා මේවල සෞඛ්‍ය ප්‍රමිතින් ගැන සොයා බලන්න. අනෙක් පැතෙන් අවසාන වශයෙන් මේ ආයත පාරිභෝගික අධිකාරිය වගේ ආයතන එකතුවෙලා ප්‍රමිතියට සහ මිල පාලනයට යටත් නොවෙන සැනිටයිසර් වෙළඳපොළෙන් ඉවත් කරන්න කයුතු කරන්න අවශයයි.”
සැනිටයිසර් නිෂ්පාදන සහ අලෙවිය සම්බන්ධව ප්‍රායෝගික තත්ත්වය සැබවින්ම භයානකය. සිය ගණක් වෙළඳ නාම යටතේ සැනිටයිසර් වෙළඳපොළේ දක්නට ලැබේ. බැලූ බැල්මට කිසිදු ප්‍රමිතියක් නැතැයි අවබෝධ කරගත හැකි සැනිටයිසර් වර්ග රැසකි. එහෙත් මේ දක්වා සැනිටයිසර් සම්බන්ධව විධිමත් වෙළඳපොළ පරීක්ෂාවක් බලධාරීන්ට විසින් සිදුකර ඇති බවක් අපට දැන ගන්නට නොමැත. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය හරහා ඖෂධසල් පරීක්ෂාවන් කිහිපයක් වූ බවට පමණ තොරතුරු තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියද මෙම සංවාදයේ කොටස්කරුවන් කර ගැනීමට අප උත්සාහ කළෙමු. මේ සම්බන්ධව ඇති නෛතික පදනම කුමක්ද වෙළෙඳපොළ පරීක්ෂාවන් සිදුකරන්නේ කෙසේද? ආදී ප්‍රශ්න රැසක් අප හමුවේ මතුවිය. ඊට පිළිතුරු දීම ඉදිරිපත් වූයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂිකා තරගකාරීත්ව ප්‍රවර්ධන - සමන්තා කරුණාරත්න මහත්මියයි.
“සැනිටයිසර් ප්‍රමිතිය සම්බන්ධව මාර්ගෝපදේශ දැනටමත් සකස්වෙලා තියනවා. ඒ නිසාවෙන් සැනිටයිසර්වලට ශ්‍රී ලංකා ප්‍රමිතියක් තියනවා. ළඟදීම සැනිටයිසර් නිෂ්පාදකයන් ශ්‍රී ලංකා ප්‍රමිතියේ දක්වා ඇති පිළිවිතරවලට අනුව නිෂ්පාදන සිදුකර යුතුයි කියලා ගැසට් පත්‍රයක් අපි නිකුත් කරන්න සූදානම් වෙනවා. පළමුවෙන් ප්‍රමිතිය ගැන තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එය සිදුවන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන යටතේ. සැනිටයිසර් මිල නියාමන සම්බන්ධව කටයුතු තවම සිදුවෙලා නෑ. එය සිදුවිය යුත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග යටතේ.”
සැනිටයිසර් සම්බන්ධව තත්ත්වය යම් වගකීම් සහගත බවක් අනාගතයේ ඇතිවිය හැකි බව මේ අනුව කියැවේ. එහෙත් සමස්තයක් ලෙස අවසානයේ පෙනී යන්නේ මේ මොහොතේ ඔබ පරිහරණය කරන සැනිටයිසර් වර්ගයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිශ්චිතව තක්සේරුවක් නොමැති බවයි. ඖෂධ නියාමන අධිකාරියේ දැනට ලියාපදිංචි නොවූ සැනිටයිසර් නිෂ්පාදකයන් රුසක් රටතුළ ඇති බව පෙන්නට තිබේ. එම නිසාම ඔබ කෝවිඩ් 19 වෛරසයෙන් බේරීමට හෑන්ඩ් සැනිටයිසර් භාවිතා කරන්නේ නම් අවධානය යොමුකර යුතු කරුණ වන්නේ ප්රමිතියයි. පිළිගත් වෙළඳ නාමයක් සහිත සැනිටයිසර් වර්ගයක් භාවිතා කරන්න පෙළඹීම වටී. අනාගතයක් ප්‍රමිති කරණ සහතිකයක් නිකුත් වනතුරු පාරිභෝගිකයන් ලෙස අපට ඇත්තේ විකල්ප කිහිපයක් පමණි.
සටහන - චමිඳු නිසල් ද සිල්වා