මේ දවස්වල මේ රටේ කොරෝනාවටත් වඩා කියැවෙන නමක් වන්නේ ධම්මික වෙද මහත්තයාය. කෝවිඩ් සුව කිරීම සඳහා හැදුවා යැයි කියන පැණියක් නිසා ඔහු මේ රටේ සමහරකුට ධම්මික වෙදමහතා ගැලවුම්කරුවා වී අවසන්ය. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවා පැණි හැන්දක් කටේ දමාගනිමින් එකී බෙහෙතට දුන් සහතිකයත් සමඟ අද මේ රටේ බොහෝ දෙනකුට ධම්මික වෙද මහත්තයා තරම් වෙනත් කෙනෙකු නැත.
එහෙත් මෙය රජයේ රසායනාගාර පර් යේෂණයකින් පවා තහවුරු කර නැත. ඒ නිසා රජයේ වගකිවයුත්තන් හැඳි කටට හලාගෙන රටේ ජනතාවට දුන් පණිවිඩය කිසිසේත්ම අනුමත කළ නොහැක. ජනතාවගේ පාලකයා ජනතාවට හරි දේ මිස වැරදි දේ ලබාදිය යුතු නැත. ලෝක වසංගතයක් ඇති මොහොතක රටේ සෞඛ්‍ය ඇමතිනිය කිසිම රසායනාගාර සහතිකයක් නැති පැණියක් මාධ්‍ය ඉදිරියේ කටේ හලා ගැනීම ඉතාම වැරුදි ක්‍රියාවක් බව ප්‍රථමයෙන්ම කිවයුතුමය.
එහෙත් ඔවුන් කියන්නේ මේ පැණිය රෝගීන්ට ලබාදී සිදුකළ පරීක්ෂණයකට අනුව දින තුනෙන් සුව වූ බවය. ඒ නිසා පැණිය හොඳ බව ඔවුන්ගේ සහතිකය විය. එහෙත් දැනගන්නට ඇති පරිදි සායනික පරීක්ෂණ නියමාකාරයෙන් තවමත් සිදුවී නැත. එපමණක් නොව පිළිගත් රසායානාගාරයකින් කිසිදු සහතිකයක්ද නැත. වතුපිටිවල රෝහලේ පිරිසකට ලබාදුන් බවත් ඉන්පසුව සුව වූ බවත් කියමින් මේ බෙහෙත ප්‍රචාරය කෙරිණි. ඒ නිසා මෙහි පළමු වරද ධම්මික වෙද මහතාගේ නොව එය කිසිදු පරීක්ෂාවකින් තොරව කරේ තබාගෙන යන රජයේ බලධාරීන්ගේය.
ඒ නිසා ප්‍රථමයෙන්ම කිවයුත්තේ මේ ඖෂධය සාර්ථක නම් එකී සාර්ථකත්වයට රසායනාගාර සහතිකයක් ලබාදී විධිමත් ආකාරයට ජනතාවට ලබාදිය යුතු බවය. එසේම එය සාර්ථක වුවහොත් මුළු ලෝකයටම එය බෙදාහැර අඩුම තරමින් අපේ ණය බරින් හෝ නිදහස් වීමේ හැකියාවක් ඇත.
කෙසේ වෙතත් මේ කතාව පටන් ගත්තේ ධම්මික වෙදමහතා ගැන හෝ ඔහුගේ බෙහෙත ගැන කීමට නොවේ. මේ කතාව ආරම්භ කළේ පසුගිය අඟහරුවාදා සිදුවූ සිදුවීමක් ගැන කීමටය.
පසුගිය අඟහරුවාදා ඓතිහාසික දවසක් විය. ඒ කෝවිඩ් වෛරසය සඳහා සොයාගත් පළමු එන්නත බ්‍රිතාන්‍යයෙන් ආරම්භ කිරීමය. අනෙක් ඓතිහාසික සිද්ධිය වන්නේ කොරෝනා වෛරසය සඳහා සොයාගත් කිසිදු වගකිවයුතු ආයතනයක සහතිකයක් නැති ධම්මික වෙද මහතාගේ පැණිය ජනතාවට බෙදාදීමය. කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවසේදී මේ බෙදාහැරීම සිදුකෙරුණි. ඒ නිසා අඟහරුවාදා දිනය යනු ඓතිහාසික දිනයකි.
වීර භද්‍රම්මා කොරෝනා නිවාරණ පැණිය පැමිණ ලබාගන්නා ලෙසට ෆේස් බුක් හරහා සිදුකළ ප්‍රචාරයත් සමඟ ජනතාව වැල නොකැඩී ඇදෙන්නට වූහ. ඇතැම් මිනිසුන් කෑගල්ලට ගොස් සිටියේ ඉරිදාය. අඟහරුවාදා තෙක් ඔවුහු පෝලිමේ සිටියහ. තවත් අය සඳුදා සිට පෝලිමේ සිටියහ. කෙසේ වෙතත් අඟහරුවාදා උදෑසන වනවිට වෙදමහතාගේ නිවසට යන මාර්ගය වැහෙන්නට සෙනඟය. ප්‍රධාන පාරේ මාර්ග තදබදය උග්‍ර විය. අඟහරුවාදා දහවල් වනවිට 15,000 කට අධික ජනකායක් රුස්ව සිටි බව වාර්තා විය.
කිසිදු නිරෝධායනය නීතියකට අනුගත නොවී දහස් සංඛ්‍යාත මිනිස්සු එකිනෙකා පොරකමින් එකට තෙරෙපෙමින් සඳුදා උදෑසන සිට එහි රුඳී සිටියහ. මේ ගැන හොයන්නට අඩුම තරමින් පොලීසියවත් සිටියේ නැත. අවසානයේ එන්න එන්නම සෙනඟ වැඩිවන නිසා අවසානයේ කෑගල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකින් පොලිස් නිලධාරීන් එතැන රාජකාරියට අනුයුක්ත කරන්නටද සිදුවිය. ඒ පැමිණි ජනතාව නිසාය.
කොරෝනා වැනි වසංගතයක් රටේ තියෙනවාද යන්න කියා වගේ වගක් නැති ජනතාව කිටි කිටියේ තෙරපෙමින් පැණිය ගන්නට සිටියෝය. ඇතැම් අයට මාස්ක් එකක්ද නොතිබිණි. අයියෝ ඔය කොරෝනාවලට බෙහෙතක් නේ. ඒ නිසා බය වෙන්න ඕන නෑ යැයි* සමහරකුට මේ සම්බන්ධයෙන් තර්ක කළ හැක. එහෙත් කිසිදු රසායනාගාර පරීක්ෂණයක් හෝ නිසි සායනික පරීක්ෂණයකින් තොරව ලබාදෙන මේ පැණිය නිසා යම් අනතුරක් සිදුවහොත් එදිනට වගකිවයුත්තන් කිසිවකුත් නැත.
දීගොඩ කුමාරලා තමන්ට ලෙඩුන් සුවකළ හැකි බව කීහ. ඒත් මිනිස්සු මරු වැළඳගත්හ. මහාචාර්ය කීර්ති දිසානායක වාලම්පුරි වික්කේය. ඒ වාසනාව ගේන්නටය. එහෙත් ඔහුට අවාසනාව උදාවුණේය. දොළුකන්දේ විහාරයේ පිරිත් ගංගාවලින් පැන් බිව්වෝද මේ භූමියේ සිටිති. එපමණක් නොව පාරවල් අසල පිහිටි බුදු පිළිමවල රුස්වළලු දිහා බලාසිට සාදු සාදු යැයි කීවෝද මේ භූමියේම සිටිති. ඒ නිසා කොරෝනාවලින් ජීවිතය බේරා ගැනීමට මේ ආකාරයෙන් හැසිරීම අරුමයක් නොවේ යැයි අප සිතිය යුතුය.
කෙසේ වෙතත් පොලීසියට පවා කීකරු නොවන තැනට පත්වන තැන පොලිස් නිලධාරීන්ගේ සීමාවද පැන්නේය. ඔවුහු පැමිණි සිටි සියල්ලට බැණ වැදුණාහ. කොරෝනා බෝ කරගන්නද හදන්නේ යැයි විමසූහ. බැරිම තැන මේ සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කෙරිණි. කිසිදු අවසරයකින් තොරව සිදුකළ මේ ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ පොලිස් නිලධාරීහු කලකිරී සිටියහ. පසුව මේ සම්බන්ධයෙන් පැමිණිලි තව තවත් ඉහළට යාම හේතුවෙන් දහවල් කාලයේ කෑගල්ල දිසාපතිවරයා ධම්මික වෙදමහතා අමතා ඔහුට පැමිණෙන ලෙසට දැනුම් දුන්නේය.
ඔහු කැඳවා මේ සිද්ධිය ගැන විමසූ අතර පසුව කෑගල්ල දිසාපතිවරයා දන්වා සිටියේ මේ බෙහෙත සම්බන්ධයෙන් රසානයනාගාර පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් බෙහෙත බෙදාහැරීම නවතන ලෙසය. ඒ අනුව කිසිදු වගකීමක් නොමැතිව බෙදාහළ පැණිය බෙදීම නවතා දැමිණි. එසේම පොලීසියෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක්ද කැඳවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබුණි.
දැන් ප්‍රශ්න කිහිපයක් ඇත. මේ පැණිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ රජරට විශ්වවිද්‍යාලයේ වාර්තාව ලැබෙන්නට පෙර මෙය බෙදාහැරීමට අවසර දුන්නේ කවුද? රජයේ කිසිදු මැදිහත්වීමක් නැතිනම් වෙද මහතා බෙදාදුන්නේ කෙසේද? නිරෝධායනය නීති කඩකර මිනිසුන් එකතුවීම සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නේද? මේ සියල්ල අප හමුවේ ඇති ප්‍රශ්නය.
කෙසේ වෙතත් මේ ඖෂධය දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් හඳුනාගෙන ඇත්තේ ආහාර අතිරේකයක් ලෙසය. ඒ හැරෙන්න මේ ඖෂධය සම්බන්ධයෙන් වෙනත් සහතික නැත. එසේ නම් මේ ඖෂධය මේ ආකාරයෙන් රටේ ජනතාවට බෙදීම කෙතරම් සාධාරණද? අවදානම්ද? යැයි වගකිව යුත්තෝ සිතිය යුතූය.
අපට ඖෂධය සම්බන්ධයෙන් ගැටලුවක් නැත. ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිපලයක් ලැබුණොත් මෙය රටට පමණක් නොව පිටරටටද සම්පතකි. අඩුම තරමින් මේ ණය බරෙන් හෝ නිදහස් විය හැක. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී සහතිකයක් ලබාදෙන තෙක් පැණිය බොන්න යැයි උපදෙස් දීම තරමක අවුලකි. ඒත් වෙද මහතා අපූරු කතාවක් කීවේය.
මේ පැණිය ගැන විශ්වාස තියෙන අය බොන්න යැයි කීවේය. විශ්වාස නැති අය අපහාස කරන්න එපා යැයිද කීවේය. සැබැවින්ම කිසිවකුත් කාටවත් අපහාස කරන්නේ නැත. මුලදී මෙන් කියන්නේ වෙද මහතාගේ අතීතය වැඩක් නැත. අපට වැදගත් වන්නේ බෙහෙතේ සහතිකය ය. එතෙක් ඉවසා සිටිය යුතුය. සහතිකය හරි නම් රජය මැදිහත් වී බෙදා දීම කළ හැකිය. එසේ නොවී මෙලෙස පොර කෑවොතින් ඊළඟට මෙරටින් බිහිවන්නේ පැණි පොකුරය. එකී පැණි පොකුරු සැදුණු පසු කට වචනෙන් සහතික දුන් ලොක්කෝ හතර මායිමේ දැකගත නොහැකි වනු ඇත.
කොවිඩ් වෛරසය මර්දනය වෙනුවෙන් වෛද්‍යවරු, හෙදියෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සුවසැරිය, පොලීසිය, හමුදාව එකහෙලා මහන්සි වෙති. ඒ මේ වෛරසය පරාජය කිරීමටය. පීසීආර් කරන බොහෝ නිලධාරීන් කැහි, හොටු දැක ආහාර ගැනීම පවා අත්හැර ඇත. සමහර අය ඉටි ඇඳුම් ඇඳ දාඩියෙන් තැම්බී සිටිති. සමහර අය මිනිස්සුන්ගෙන් බැණුම් අසති. මේ සියල්ල මැද පැණියක් වටා මේ ආකාරයෙන් රංචු ගැසී සිදුකරන්නේ ඒ මිනිසුන්ගේ මහන්සිය ගඟට හෙලීමකි. එය අපරාධයකි.
ගයාන් ගාල්ලගේ