
කොවිඩ් 19 වසංගතය ලොවපුරා පැතිරයාමත් සමඟ වැඩියෙන්ම අසන්නට ලැබුණේ පී.සී.ආර්. පරීක්ෂාව ගැනය. මුල් කාලයේ සිටම පී.සී.ආර්. ගැන සමාජය තුළ ඇතිව තිබුණේ කොවිඩ් 19 නසන සර්වලෝක ඖෂධයක් බඳු පිළිගැනීමකි. නමුත් එය වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂාවක් බවත්, එයින් වෛරසය ඇති නැති බව හඳුනාගත් පසු ජීවිතය බාර කළයුත්තේ අපේම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බවත් වටහාගන්නට ලැබීමත් සමගම වඩාත් ඉක්මනින්ම වෛරස ආසාදිතයන් හඳුනාගැනීමේ අවශ්‍යතාව කැපී පෙනුණි. පී.සී.ආර්. මිල අධික, කාලයක් වැයවෙන, පරීක්ෂාවක් නිසාම වෛරසයේ ව්‍යාප්තිය සිදුවන වේගය සමඟ හරි හරියට ආසාදිතයන් හඳුනාගැනීම අභියෝගයක් විය. මේ අභියෝගයට ආ පිළිතුරු ගණනාව අතර වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ ප්‍රතිදේහජනක ඉක්මන් පරීක්ෂාව යන්නයි.
වඩාත් පහසු ක්ෂේත්‍රයේදී පවා කළ හැකි දැරිය හැකි මිලකට සිදුකළ හැකි පරීක්ෂාවක් ලෙස මෙයට නොයෙක් විරුදාවලි ලැබී තිබුණි. රටේ ප්‍රධාන පෙළේ වෘත්තිකයන් කණ්ඩායම් දෙකක් කාලයක් තිස්සේ මේ කියන ප්‍රතිදේහජනක ඉක්මන් පරීක්ෂාව ගැන අදහස් දැක්වූහ. අන්තිමේ එය පිළිබඳ කතාබහ ඇතිවී මාස 08ක් පමණ ගතවූ තැන මුල්ම ප්‍රතිදේහජනක ඉක්මන් පරීක්ෂණ කට්ටල ලංකාවට ආවේය. ඒ පැමිණි ආකාරය ගැනද නොයෙකුත් ආන්දෝලනාත්මක කතා පැතිරී ඇතත් දැන් ඒ සම්බන්ධෆයන් මතුව ඇති බරපතළම ගැටලුව වන්නේ මේ පරීක්ෂාවද කාර්යක්ෂම ලෙස ඵලදායීව යොදාගන්නාවාද යන්න පිළිබඳ සැකයයි. මේ ගැන දැන් තදින්ම ප්‍රශ්න කරන්නේද කලින් මෙම පරීක්ෂණ ඇරඹිය යුතු යැයි හඬ නැගූ කණ්ඩායම්ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රතිදේහජනක ඉක්මන් පරීක්ෂාව ඇරුඹීමේ අවශ්‍යතාව ගැන නිතර අවධාරණය කළ කණ්ඩායමකි. සමාජය තුළ කොවිඩ් 19 පැතිරවීමේ හැකියාවෙන් යුතු කණ්ඩායමක් ඉක්මනින් හඳුනාගෙන ඉවත් කරගැනීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව කරගැනීමට මේ පරීක්ෂාව ඉවහල් කරගත හැකි බවට ඔවුන් තර්ක කළේ වසංගතයේ පැතිරයාම සීඝ්‍ර වූ අවදියේදීමය. නමුත් දැන් දැන් මේ පරීක්ෂණ සිදුවන ආකාරය පිළිබඳ ගැටලු ඇති බව ඔවුහුම පෙන්වා දෙති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියන්නේ ප්‍රතිදේහ ජනක පරීක්ෂා මගින් හඳුනාගන්නා පිරිස සහ පී.සී.ආර්. මගින් හඳුනාගන්නා ආසාදිතයන් පිරිස ගැන වෙන වෙනම වාර්තා ඉදිරිපත් කළ යුතුව ඇතත් එවැන්නක් සිදුවන බව දක්නට නැති බවයි. එසේ පැහැදිලි වාර්තා නොමැතිවීම නිසාම මේ පරීක්ෂාව සහ එයට අවශ්‍ය කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් නැගෙන කසු කුසුවලටද වසංගතයක් සේ පැතිරයාමේ වැඩි ඉඩක් මතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ වනවිට ප්‍රතිදේහජනක පරීක්ෂාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශන ඉදිරිපත්ව තිබේ. දිනපතා සෞඛ්‍ය අමාත්‍යංශය සහ වසංගත රෝග විද්‍යා අංශය ඒ ඒ දිනවල අලුතෙන් හඳනාගත් රෝගීන් සංඛ්‍යාව පිළිබඳ දත්ත නිකුත් කරනු ලැබේ. නමුත් එම දත්තවලදී පී.සී.ආර්. මගින් හඳුනාගත් පිරිස මෙන්ම, ප්‍රතිදේහජනක පරීක්ෂාව මගින් හඳුනාගත් පිරිස කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් දැක්වීමක් තවම සිදුවන්නේ නැත. ආසාදිතයන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ අවදානම නිසි පරිදි හඳුනාගන සන්නිවේදනය සඳහා මේ කියන දත්ත දෙක වෙන වෙනම ලබාගැනීම අතිශය වැදගත් බව වෛද්‍ය හරිත පෙන්වා දෙයි. පී.සී.ආර්. සහ ප්‍රතිදේහජනක පරීක්ෂා අතරින් ප්‍රතිදේහජනක පරීක්ෂාව සාමාන්‍යෙයන් සංවේදිතාව අඩු පරීක්ෂාවකි. මේ නිසා පී.සී.ආර්. පොසිටිව් ලෙස පෙන්වන අය ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී නෙගටිව් ලෙස වාර්තා විය හැකිය. එයින් පැහැදිලිවන්නේ යම් හෙයකින් අඩු සංවේදීතාවක් සහිත ප්‍රතිදේහජනක පරීක්ෂාවක් මගින් වුවද කෙනෙක් ආසාදිත බව තහවුරු වුවහොත් එම ප්‍රතිඵලය වඩාත් ස්ථීර ප්‍රතිඵලයක් ලෙස පිළිගත හැකි බවයි.
මේ නිසා ප්‍රතිදේහජනක පරීක්ෂාව මගින් හඳුනාගන්නා ආසාදිතයන් වෙන්ව වාර්තාකර ගැනීම මගින් සමාජය තුළ තවදුරටත් පැතිරීමට ඇති අනතුරුදායක බව පිළිබඳ අවදානම තක්සේරුවේදී එය වැදගත් දත්තයක් වන බව වෛද්‍ය හරිත කියයි. නමුත් මේ වනවිටද එම දත්ත වෙන් වෙන්ව ලබා නොදෙන තත්ත්වයක් දක්නට ලැබෙන නිසා රෝගයේ අවදානම අඩුකර ගන්නට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමේ කාර්යක්ෂමතාවටද හැකිවී තිබේ. මේ නිසාම ප්‍රතිදේහජනක පරීක්ෂාව භාවිතයට ගෙන ඒමේ මූලික අරමුණද ඉටු නොවන අතර එය තවත් අමතර වැයක් පමණක් හැටියට එකතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඇන්ටිජන්ට් ටෙස්ට් එක පොසිටිව් කියන්නේ ඉතින් ආයේ පී.සී.ආර්. ඕනෑ නෑ. ඒ අය රෝගය පැතිරවිය හැකි විශාල වෛරස සාන්ද්‍රනයක් සහිත අය. ඉතින් යම් ප්‍රදේශයක ඇන්ටිජන්ට් ටෙස්ට් එක පොසිටිව් වෙච්ච අය බහුලව වාර්තා වෙනවා කියන්නේ එතැන අලුත් අවදානමක්, අලුත් පොකුරක් බිහිවෙමින් ඇති බවයි. මෙන්න මේ කාරණාව ඉතාමත් වැදගත්. ඇන්ටිජන්ට් ටෙස්ට් එක ගේන්න කියලා ඉල්ලන්න හේතුව වුණෙත් මෙන්න මේ අවදානම කලින් හඳුනාගැනීමේ වාසිය ලබාගන්නයි.
දැන් ඇන්ටිජන්ට් ටෙස්ට් එක පෞද්ගලික අංශයටත් කරන්න අවසර දෙන්න යනවා. ඉතින් මේ දත්ත වෙන වෙනම වාර්තා විය යුතුයි. එතකොට ඒවා අනුව ඒ ඒ ප්‍රදේශවල අවදානම් තත්ත්වය ගැන අවබෝධ කරගෙන ඒ සඳහා ගතයුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගන්නට හැකිවෙනවා. ඒ ක්‍රියාමාර්ග සැලසුම් කිරීම ඉක්මන් කරගන්නයි ඇන්ටිජන්ට් පරීක්ෂාව යොදාගත යුත්තේ. හැබැයි දැන් නොවෙන්නෙත් ඒකයි. මේ නිසා නිකම්ම ආසාදිත ඔලුගෙඩි ගණන විතරක් වාර්තාගත කරන අයාලේ ගිය පරීක්ෂාවක් බවට එය පත්වෙලා කියලයි පේන්නේ. මේක වහාම නිවැරුදි කර ගතයුතු බවයි අපි කියන්නේ.
අවදානම් කලාප හඳුනාගැනීමේදී මේ ටෙස්ට් එක ඉතාමත් වැදගත් වෙනවා. එහෙම හඳුනාගන්නේ නැතිනම් ඒ ස්ථාන ගැන මිනිසුන්ට නිසි ආකාරයට අවදානම ගැන සන්නිවේදනය වුණේ නැත්නම් ඔවුන් වගකීම් විරහිත විදිහට හැසිරිලා තවදුරටත් මේ රෝගය පැතිරෙන තැනට වැඩ සිද්ධ වෙන්න පුළුවනි. අනෙක් කාරණය තමා මේ ටෙස්ට් කිට් ගෙන්වීමේ ටෙන්ඩර් පටිපාටියෙන් ගැටලු මතුවුණානේ. ඒවායේ දැන් තත්ත්වය මොකක්ද? ඉදිරියට එවැනි දේවල් සිදු නොවෙනවාද? කියන සහතිකය ලබාදීමත් වැදගත් වෙනවා. මේ දත්ත වෙන වෙනම ලැබුණාට කවුරුත් දන්නවා මේ ටෙස්ට් කිට් කොපමණ ආවාද පරීක්ෂාවට යොදාගත්තාද කොපමණ අපතේ ගියාද කියන කාරණාවත්. ඒ විනිවිදභාවය තිබීමත් මේ වගේ කාරණාවකදී ඉතා වැදගත්. රජයේ වෛද්‍ය නිලධාරීන් එලෙස කියන්නේ දත්ත රුස් කරන්නන් වාලේ රැස් කිරීම නොව ඒවා විද්‍යාත්මක විශ්ලේෂණය මගින් කොවිඩ් අනතුරේ ව්‍යාප්තිය හඳුනාගෙන ඒ සඳහා ඉක්මන් පිළියම් යෙදීම මේ මොහොතේ අනවශ්‍ය වගකීමක් ලෙස ඉදිරිපත්ව ඇති නිසාය.
රජයේ රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයද මේ ප්‍රතිදේහජනක ඉක්මන් පරීක්ෂාව ඉක්මණින්ම රටට ගෙන ආ යුතු බවට මුලසිටම බලකර සිටි කණ්ඩායමකි. ඔවුන් දැන් කියන්නේ මේ පරීක්ෂාවන් නිසි ලෙස කළමනාකරණය කර පවත්වාගෙන යන්නට අවශ්‍ය නිසි පියවර තාමත් ගෙන නැති බවයි. එහි සභාපති රවි කුමුදේශ් අපට කීවේ ප්‍රතිදේහජනක ඉක්මන් පරීක්ෂාව මගින් ලබාගත යුතු ඵලදායීත්වය ලබාගන්නට තවමත් සෞඛ්‍ය අංශ අපොහොසත්ව ඇති බවයි. තමන්ට අවශ්‍ය කරන පහසුකම් සලසා ඇත්තේ නම් 2200කට ආසන්න සිය කාර්ය මණ්ඩලය නිසි කළමනාකාරීත්වයකින් යුතුව භාවිත කර වඩාත් ඵලදායී සේවාවක් ලබාදෙන්නට හැකි බව ඔහු කියයි. දැන් සිදුවන්නේ මේ පරීක්ෂාවන් මගින් කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමට කටයුතු කරනවාට වඩා කොවිඩ් රෝගීන් වාර්තාගත කිරීමට එය යොදාගැනීම බව ඔහු පෙන්වා දෙයි.
ඉක්මන් ක්ෂේත්‍ර පරීක්ෂාවන් සඳහා පහසුකම් ලබාදී එයින් හඳුනාගන්නා ආසාදිතයන් ඉක්මණින් ඉවත්කර ගැනීමට කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි. නමුත් දැන් සිදු නොවන්නේද එය බව ඔහු කියයි.
ඇන්ටිජන් පරීක්ෂාවේදී හඳුනාගන්නේ ආසාදිතයකු බවට පත්වෙලා දින 4-7ත් අතර ඉන්න අයව. මේ කණ්ඩායම හඳුනාගැනීම ඉතාම වැදගත්. මොකද මේ අයගේ වෛරස් සාන්ද්‍රණය ඉහළයි. ඒ නිසා ඒ අයගෙන් අන් අයට බෝවීම ඉහළයි. ඔවුන් ඉක්මණින් හඳුනාගන ඉවත්කර ගත යුතුයි. ඇන්ටිජන් පරීක්ෂාව ඵලදායීව යොදාගත හැක්කේ මේ සඳහායි. මෙතැනදී පොසිටිව් නොවන රෝගීන් සඳහා පී.සී.ආර්. කළ යුතුයි. ඉන්පසු එයින් බලාගන්න පුළුවනි තවදුරටත් වෛරසය සහිත අය ඉන්නවාද කියන එක. මේක වඩාත් විධිමත් ආකාරයට ඵලදායි ආකාරයට කරන්නට නම් අපි මාර්තු මාසයේ සිටම ඉල්ලීමක් කළා උපකරණ ආම්පන්න සහිත බස් රථ 10ක් ලබාදෙන්න කියලා. අපි අවදානම් සහිත කලාපවලට ගිහින් රෝගීන් හඳුනාගැනීම සිදු කරන්නම් කියලා.
අපි ඉල්ලුවේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සමග ස්ථානීය පී.සී.ආර්. යන්ත්‍ර සහිත ජංගම බස් රථ. එහෙම අවස්ථාවක අපට පුළුවනි ඕනෑම තැනක පූර්ණ ලෙස පරීක්ෂාවක් කරලා ඇන්ටිජන් පොසිටිව් නොවන අයත් එතැනදීම පී.සී.ආර්. පරීක්ෂා කරලා සියලුම ආසාදිතයන් හඳනාගන වෙන්කර ගන්න. නමුත් මේ සඳහා පහසුකම් දෙන්න කටයුතු කළේ නෑ තවමත්. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ මේ පරීක්ෂාව පමණක් කිරීමෙන් ඵලක් නෑ.
ඒ වගේම අපි ඉල්ලීමක් කළා අපට වෙන්කර දෙන්න සෑම රෝහලකම අඩි 4යි 4 වගේ පුංචි පරීක්ෂණාගාරයකට අවශ්‍ය ඉඩක් කියලා. එතකොට අපට පුළුවනි රෝහලට එන හැමදෙනාම රෝහල තුළට යන්නට පෙර පරීක්ෂා කරන්න. ඒ මගින් වෛරස සහිත උදවිය රෝහල තුළට ගොස් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන්ට ආසාදනය පතුරවන එක වළක්වා ගන්න හැකියි කියලා අපි පෙන්වා දුන්නා. නමුත් සමහරු ඉන්නවා මේ විධිමත් ක්‍රියාවලියට එරෙහි වන ඔවුන් රෝහල් තුළ වාට්ටු තුළ පී.සී.ආර්. කරන්න තමන්ගේ උදවිය යොදාගන්න හදන අය. සමහර විශේෂඥයන් ඉන්නවා මේකට විරුද්ධ. මේ අයට ඔය ඇන්ටිජන් ටෙස්ට් කිට්වලින් පවා කොමිස් යනවා. ඉතින් මේ කියන සමහර උදවිය බයයි මේ ක්‍රියාවලිය විධිමත් වුණොත් තමන්ට ලැබෙන කොමිස් නැතිවෙයි කියලා. ඕක තමා ඇත්ත. ඉතින් ඇන්ටිජන් පරීක්ෂණ කොච්චර කරනවාද එයින් කොච්චර පොසිටිව් වුණාද, ටෙස්ට් කිට් කොච්චර භාවිත වුණාද වගේ සංඛ්‍යාලේඛන නිවැරදිව ලැබෙන්නෙත් නෑ.
එහෙම වුණාම හිතුමතයේ මේ ටෙස්ට් කිට් තොග ගෙන්වන්න පුළුවන්. මේ ඇන්ටිජන් ටෙස්ට් එක කරලා හඳුනාගන්න උදවිය වෙන්කරගන ඉන්පසු එයින් හඳුනාගන්නට බැරිවූ අයට පී.සී.ආර්. කරලා එතැනත් ඇති ආසාදිතයන් හඳුනාගෙන ඉවත් කරගෙන හුදෙකලා කරලා විධිමත්ව සමාජය තුළින් වෛරසය පැතිරීම පාලනය කළ හැකිව තියෙනවා. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළාම එයට කැමැති නෑ. මොකද තමන්ට ලැබෙන ලාභය නොලැබෙන නිසා. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා ඇන්ටිජන් ටෙස්ට් එකෙන් බලාපොරොත්තු ඵලදායිතාව රටට ජනතාවට ලැබෙන්නේ නෑ.
සුගත් පී. කුලතුංගආරච්චි