2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ජනාධිපතිගේ මල්ලීත් රස්සාවෙන් දොට්ට දැමූ සභාපති

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 478

එදා 1978 වසරේ මුල් භාගයේ පැහැබර දිනයකි. කොළඹ 7 වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවසේ පුස්තකාල කාමරයේ යමෙක් බලාපොරොත්තුව ජනාධිපතිවරයා අසුන්ගෙන සිටියේ කල්පනා බරවය. හරියටම උදේ 10.00ට ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුත් ප්‍රියමනාප තරුණයෙක් කාමරයට ඇතුල් විය. ඔහු තම පියාණන් වෙත කැඳවාගෙන ආ ජනපති පුත් රවි ජයවර්ධන පියාගේ රාජකාරිය කරන්නට ඉඩ දී බැහැරට ගියේය. ඉන්පසුව ඇතිවූ කතා බහ මෙසේය.

“කොහොමද තරුණ මහත්මයා?”

“හොඳින් ඉන්නවා සර්...”

“දන්නවා නේද මම එන්න කියූ කාරණාව. ලී ක්වාන් යූ අගමැතිතුමා (එවකට සිංගප්පූරුවේ අගමැති) ඔබට පැහැදිලි කරන්න ඇති. මගේ හිතේ?”

“ඔව් සර් ටිකක් කිව්වා. ඉතුරු ටික සර් කියාවි කියලත් කීවා.”

“රක්ඛිත ‍දන්නවානේ මම එයාර් සිලෝන් එක (එවකට මෙරට තිබූ ගුවන් සමාගම) වැහුවා කියලා. ඒ එක්කම මේ රටට අලුත් ගුවන් සමාගමක් පටන් ගන්න තීන්දු කළා. ඒ වැඩේ මම බාරදෙන්න යන්නේ කාටද දන්නවද?”

“නෑ සර්...”

“කාටවත් නොවේ තරුණයා ඔබටයි...”

“අනේ මන්ද සර්...”

අප මේ සටහන් කළේ මහ දිග කතාවක සරල කෙටිකතා වස්තුවයි. ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට රාජ්‍ය නායක වංශකතාවේ අමුතුම නායකයෙකි. ඔහුගේ එක් සුවිශේෂ ලක්ෂණයක් වූයේ යමක් පහසුවෙන් අමතක නොකිරීමයි. 1977 වසරේ මහ මැතිවරණයට පෙර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ එවකට නැවතී සිටි සිය පුත් රවි ජයවර්ධනගේ සුවදුක් බලන්නට ගොස් ඔහු නැවතත් කොළඹ බලා එමින් සිටියේ එයාර් සිලෝන් ගුවන් යානයකිනි. ශ්‍රී.ල.නි.ප. එ.ජා.ප. දේශපාලන උණුසුම හොඳටම නැඟ තිබූ මේ කාලයේ ගුවන් යානා කාර්ය මණ්ඩලය එදා විපක්ෂ නායක වූ ජේ.ආර්.ව ඒ හැටි ගණන් ගත්තේ නැත. ඔහුගේ බඩු බාහිරාදිය පවා ඔවුහු ගුවන් තොටුපළේදී අනවශ්‍ය පරීක්ෂාවන්ට ලක් කළහ. ඔහු කොළඹට එනවිට විදේශ විනිමය වංචාවක් ගැන චෝදනා නගා ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය පවා අත්අඩංගුවට ගන්නට සැලසුම් කර තිබිණි. මහමෙර හිසමත කඩා වැටුණත් කෝප නොගන්නා ජේ.ආර්. බෙහෙවින් කෝපයට පත්ව සිටියේය. එයාර් සිලෝන් කාර්ය මණ්ඩලයට මෙන්ම ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගන්නට ආ අයට ජේ.ආර්. හොඳ දෙකක් ඉංග්‍රීසි බසින් කියා දැමීය.

තමන් ඉදිරි මහ මැතිවරණයෙන් පසු රට භාර ගත්විට එයාර් සිලෝන් ආයතනය වසා දමන බවටද සපථ කළේය. එදා කී දේ ඒ විදිහටම කළ ජේ.ආර්. ඉන්පසු සැරසුණේ රටට නව ගුවන් සේවාවක් ආරම්භ කරන්නටයි. ඒ සඳහා ඔහු උදව් පැතුවේ සිය හිතමිතුරු සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ගෙනි. නව ගුවන් සමාගම පටන් ගන්නට කළමනාකාර  අධ්‍යාක්ෂකවරයෙක් සොයා දෙන්නායි ජේ.ආර්. ලී ක්වාන් යූ ට කී විට ලී ක්වාන් කීවේ තමන්ගේ සිංගප්පූරු ගුවන් සමාගමේ ප්‍රධාන නියමුවකු වන රක්ඛිත වික්‍රමනායක ශ්‍රී ලාංකිකයකු බවත් අති දක්ෂ ගුවන් නියමුවකු නිසා තමන් ඔහුගේ සේවාව ලබාගන්නා බවත්ය. ඕනෑම නම් ටික කලකට ජේ.ආර්.ට රක්ඛිත ණයට දෙන්නටද ලී ක්වාන් යූ පොරොන්දු විය. එහෙත් ලී ක්වාන් ජේ.ආර්.ට තවත් උපදෙසක්ද දුන්නේය. &දැන් මහ විශාල වියදමක් දරා නව ගුවන් සේවාවක් පටන්ගන්නවාට වඩා රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට ප්‍රමුඛතාව දීම වැදගත් නොවේදැයි මේ දුරදක්නා අගමැති ජේ.ආර්.ගෙන් විමසීය. එහෙත් ජේ.ආර්. පහසුවෙන් පසුබසින කෙනෙකු නොවේ. තමන්ගේ නව ආර්ථික පිම්ම සාර්ථක කරගන්නට හොඳ ගුවන් සේවාවක් අවශ්‍ය නිසා උදව් කරන්නැයි ලී ක්වාන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. ඉන් සති කිහිපයකට පසුව රක්ඛිත වික්‍රමනායක ජේ.ආර්. හමුවේ පෙනී සිටියේය. අප කියන මේ රක්ඛිත වික්‍රමනායක කොළඹ 7 ලොකු පවුලක පුත්‍රයෙකි. ඔහුගේ පියා 1953-1956 සර් ජෝන් කොතලාවල රජයේ අධිකරණ අමාත්‍ය පදවිය දැරෑ රාජ නීතිඥ ඊ.බී. වික්‍රමනායකය. එසේම රක්ඛිත කුඩා කල පටන් ජේ.ආර්.ගේ පුත් රවි ජයවර්ධන සමග රාජකීය විද්‍යාලයේ එක පන්තියේ උගත් පන්ති සගයෙකි. දැන් අපි නැවතත් ජේ.ආර්. හා රක්ඛිතගේ දෙබසට කන්දෙමු.

"ඔබට මේක කරන්න පුළුවන්. මම පසුපසින් ඉන්නව. ඉක්මණින් වැඩේ පටන්ගන්න...."

"සර් මගේ නෝන දරුවො සේරම ඉන්නෙ සිංගප්පූරුවෙ. එයාල එක්කත් කතා කරන්න ඕන. ඔබතුමා මට යෝජනා කරන තනතුර මොකද්ද?"

"ඔබ තමයි නව ගුවන් සේවයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු දෙකම ඔබට."

"ඇහුවට සමාවෙන්න සර්... මගේ වැටුප?"

"පුතා අපි තවමත් දියුණු වෙන රටක්. ඒත් මම ඔබට දෙනව ජනාධිපතිට පමණක් දෙවැනි වන ඉහළම පඩියක්..."

"කීයක් විතරද සර්...."

"මාසෙකට රුපියල් පන්දාහක්..."

"අනේ සර්... ඒ ගණන මගේ දරුවන්ගෙ මාසික ඉස්කෝල කාසි ගෙවන්නත් මට මදිනේ. මම එහේ ඊට වඩා ලොකු පඩියක් ලබනව. පහසුකම් තිබෙනවා."

"කීයද එහේ පඩිය."

"ඒක සර් පළමු පන්තියේ ගුවන් නියමුවකුට ගෙවන වැටුප ලංකාවේ මුදලින් මාසෙකට රුපියල් පනස් දාහකටත් වැඩියි... ඒකයි මට තිබෙන ප්‍රශ්නය..."

රක්ඛිත වික්‍රමනායකගේ ප්‍රශ්නය වටහාගත් ජේ.ආර්. අර්බුදයකදී කරන්නා සේ සිය පුළුල් නළල් තලය හා නහය අතගාමින් කල්පනා කරන්නට විය."ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. මම අගමැති ලී එක්ක කතා කරන්නම්... ඔබ වැඩ කටයුතු ටික සැලසුම් කරන්න." ජේ.ආර්. රක්ඛිතට කීය. ඉන්පසු සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ අමතා තමන්ගේ ජාතික ගුවන් සේවය සඳහා රක්ඛිත වික්‍රමනායක නිදහස් කරදෙන මෙන් ඉල්ලීය. ඒ සමඟ ඔහු ඉල්ලන වැටුප ශ්‍රී ලංකාවේ ගෙවිය නොහැකි නිසා ඒ වනවිට සිංගප්පූරුව ඔහුට ගෙවූ වැටුප වසර තුනක කාලයකට රක්ඛිතට ගෙවිය හැකි නම් එය තමන්ට කරන විශාල උදව්වක් ලෙස සලකන බවත් ජේ.ආර්. කීය. ජේ.ආර්. වැනි ජ්‍යෙෂ්ඨ මිතුරකුගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බැවින් තමන් වසර තුනක් යනතෙක් සිංගප්පූරුවෙන් රක්ඛිතට වැටුප් ගෙවන්නට සූදානම් බවත් ගුවන් සේවාවේ ආරම්භයට අවශ්‍ය නම් බෝයිං ගුවන් යානා බදු ක්‍රමයට ලබාදිය හැකි බවත් ලී ක්වාන් යූ ජේ.ආර්.ට කීය. ජේ.ආර්.ගේ හිසේ මලක් පිපුණි. ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවිය. රක්ඛිත වික්‍රමනායක මාස කිහිපයක් තිස්සේ සැලසුම් කළ ගුවන් සේවය 1979 ජනවාරි මස 10දා එයාර් ලංකා නමින් ආරම්භ කැරිණි. ඒ සඳහා සිංගප්පූරු නායකයා පොරොන්දු වූ පරිදි බෝයිං 707-312 වර්ගයේ සුඛෝපභෝගී ස්ටෙයාර්ලයිනර්ස් ගුවන් යානා දෙකක් සිංගප්පූරුවෙන් බදු ක්‍රමයට ලැබිණි.

රක්ඛිත වික්‍රමනායක එයාර් ලංකා මහ පුටුව හොබවමින් මහ ලොකු පඩියක් ගන්නේ මොකටදැයි එකල පාර්ලිමේන්තුවේදීත් විපක්ෂය ප්‍රශ්න කළේය. වේදිකාවලත් ප්‍රශ්න කැරිණි. රක්ඛිත ඒ කිසිවකට උත්තර දෙන්නට ගියේ නැත. ජේ.ආර්. ජයවර්ධන මහතා විදේශ ගත වූ සෑම අවස්ථාවකම ඔහු ගමන්ගත් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස රක්ඛිතම යානාව පැදවීය. එහෙත් ඔහු දේශපාලන ගැත්තෙක් නොවීය. ඒ නිසා ආණ්ඩුවේ සමහර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා රක්ඛිතට කොක්ක අදින්නට සූදානම් වූහ. ඒ සියල්ලන්ට ජේ.ආර්. රතු එළි දල්වා නිහඬ කළේය.

රක්ඛිත වික්‍රමනායක එයාර් ලංකා පාලනය කළ ආකාරය ගැන රස කතාද බොහෝය. ඒ බොහොමයක් ඔහු මා සමඟ පවසා තිබේ. එහෙත් මා මෙහි සටහන් කරන්නට ගන්නේ ඉන් එකම එක කතාවකි. එයින් රක්ඛිතගේත් ජේ.ආර්.ගේත් තරම මැනගන්නට ඔබට පිළිවන.

රක්ඛිත වික්‍රමනායක සභාපතිවරයා යටතේ ක්‍රියාත්මක වූ එයාර් ලංකා කේටරින් ආයතනයේ ප්‍රධානියා වූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ එක කුස උපන් බාල සහෝදරයෙකි. රටේ ලොක්කාගේ මල්ලී වීම නිසා ඔහු සිටියේ එයාර් ලංකා ලොක්කාටත් වඩා ඉහළිනි. ටික කලක් යනවිට ඔහුගේ (මියගොස් ඇති නිසා නම සඳහන් නොකරමි) පාලන කටයුතු ගැන මෙන්ම ගනුදෙනු ගැනත් හැසිරීම ගැනත් රක්ඛිත වික්‍රමනායකට පැමිණිලි ලැබෙන්නට විය. පැමිණිලි රුසක්ම ලැබුණු පසු රක්ඛිත ජේ.ආර්.ගේ මල්ලී කැඳවා මේ ගැන කරුණු විමසා සුළු අවවාදයක් කළේය. එහෙත් එය කිසිසේත්ම ගණන් නොගත් ඔහු තිබුණාටත් වඩා ලොකු ලොකු ජරමරවලට පැටලුනි. එවර රක්ඛිත වික්‍රමනායක කළේ අවවාදාත්මක ලිපි යැවීමයි. මෙලෙස ලිපි තුනක්ම යවා බැරි තැන තවදුරටත් වැරදි සිදුවන බැවින් කිසිදු බියකින් තොරව රක්ඛිත ජේ.ආර්.ගේ මල්ලීගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් යැවීය. රටේ ලොක්කාගේ මල්ලීගෙන් එයාර් ලංකා සභාපතිවරයා නිදහසට කරුණු විමසීම ගැන පරල වූ ජේ.ආර්.ගේ මල්ලී එම ලිපියත් රුගෙන රක්ඛිතගේ කාර්යාලයට පැමිණ ඔහුට බැණ වැදුණේය. නිර්භය පුද්ගලයකු වූ ඔහු තවදුරටත් වැරදි කළහොත් දැඩි විනය පියවර ගන්නා බව ජේ.ආර්.ගේ සොහොයුරාට කීය. ඔහු කෝපයෙන් පුපුරමින් ගොස් තමන්ගේ ක්‍රියාකලාපය සුපුරුදු ලෙස වැරදි පාරේම ගෙන ගියේය.

බැරිම තැන රක්ඛිත වික්‍රමනායක වෙන දෙයක් වෙද්දෙන් කියා තීන්දුවක් ගත්තේය. ඔහු තමන් මෙම තනතුරට පත්කළ රටේ විධායක ජනාධිපති ජේ.ආර්.ගේ මල්ලී සේවයෙන් පහකළ බව දන්වා ලිපියක් යවනු ලැබීය. එම ලිපිය ලද ජනපති සොයුරා කෝපයෙන් පුපුරා හැලෙමින් රක්ඛිතගේ කාමරයට කඩා වැදී ලියුම රක්ඛිත ඉදිරිපිටදී හරතට ඉරා ගුලිකොට සභාපතිවරයාගේ මුහුණට දමා ගැසීය. ඉන්පසු සැර පරුෂ බසින් බැණවැදී තර්ජනය කරමින් කීවේ &හෙට උදෑසන වනවිට තමන් රැකියාවෙන් ඉවත් කිරීමේ ලිපිය ඉල්ලා අස්කර නොගතහොත් අනිද්දා උඹ ඔය අසුන්ගෙන සිටින පුටුවේ වාඩිවෙන්නේ වෙන කෙනෙක්* කියාය. රක්ඛිත ඔහුට කීවේ තමන් ඒ ගැන සතුටු වන බව පමණි.

එදා ඒ සිද්ධිය අමතක කොට ඔහු තමන්ගේ රාජකාරි කරගෙන ගියේය. සවස 4.00ට පමණ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවසින් රක්ඛිතට දුරකතන ඇමතුමක් විය. දුරකතනයේ අනෙක් කෙළවර සිටියේ ජනාධිපති ජයවර්ධනය. &පැයකින් ඇවිත් මාව හම්බුවෙන්න පුළුවන්ද?* ජනාධිපතිවරයා කීවේ එපමණකි. "හොඳයි සර් මම එන්නම්." කියූ රක්ඛිත වැඩේ පත්තු වී ඇති බව දැනගත්තේය. ඔහු හරියටම සවස 5.00ට ජනාධිපති නිවසේ ආලින්දයට ගොඩවූයේ ජේ.ආර්.ගේ සහෝදරයාගේ පෞද්ගලික ලිපි ගොනුවද රැගෙනය.

ඒ සැණින් රක්ඛිත වික්‍රමනායක ජේ.ආර්.ගේ කාර්යාල කාමරයට කැඳවීය. ජේ.ආර්. සිටියේ බැරෑරුම් මුහුණිනි. වහෙන් ඔරෝ කතා නැති ජේ.ආර්. කෙළින්ම කතාවට බැස්සේය.

"ඈ රක්ඛිත මොකද මේ මගේ මල්ලිව අස්කළේ..."

අපේක්ෂිත ප්‍රශ්නය ජේ.ආර්. ඔහුට යොමු කළේය. එතැන් සිට විනාඩි 10ක පමණ කාලයක් තිස්සේ රක්ඛිත සියලු සිදුවීම් කෙටියෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාට පැවසීය. සහෝදරයාගේ හැසිරීම ක්‍රියා කලාපය ගනුදෙනු ආදිය ගැන විස්තර කළ හෙතෙම "සර් මේ ෆයිල් එක කියවල බලන්න එතකොට සේරම තේරේවි..." යයි කියා ලිපි ගොනුවක් ජේ.ආර්. අතට දුන්නේය. එය අතට ගත් ජනාධිපතිවරයා විනාඩි දහයක් පහළොවක් ලිපිගොනුව පරීක්ෂා කොට හිස එසවූයේය. ඒ සමඟ නැවතත් කටහඬ අවදි කළ රක්ඛිත වික්‍රමනායක &සර් මම වැරදි නම් ඉල්ලා අස්වෙන්න සූදානම්. මම මගේ අස්වීමේ ලියුමත් අරගෙනයි ආවේ. මෙන්න සර් ඒක භාරගන්න." කියා තමන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දුන්නේය. ඒ වනවිට සාවධානව සිටි ජනාධිපතිවරයා කවුද කිව්වෙ ඔයා වැරදි කියල. මේක බැලුවම මට තේරෙනව මගේ සහෝදරයයි වැරදි කියලා... ඔයා හරි ඔයා ඔයාගෙ වැඩ දිගටම කරගෙන යන්න. මම සහෝදරයාට වෙන මොනව හරි හොයල දෙන්නම්... අපි යමු තේ එකක් බොන්න..."

කතාව එතැනින් හමාරය. රටේ පූර්ණ බලැති විධායක ජනාධිපතිගේ සහෝදරයාව රස්සාවෙන් අස්කළ රක්ඛිත වික්‍රමනායක ඉන්පසු 1986 දක්වාම එයාර් ලංකා සභාපති ධුරය දැරීය. තමන්ගේ අතිජාත මිත්‍ර රවි ජයවර්ධන සමඟ ශ්‍රී ලංකාවේ භාවිත කළයුතු ගුවන් යානා වර්ගය ගැන ඇතිවූ මතබේදයක් නිසා රක්ඛිත වික්‍රමනායක 1986 වසරේදී තනතුරුවලින් ඉල්ලා අස්විය. ඉන්පසු වෙනත් ආයතන ගණනාවක උසස් තනතුරු දැරෑ හෙතෙම පසුකාලයේ විශ්‍රාම ගෙන කොළඹ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ පදිංචි විය. 

මේ සතියේ සිය දිවිසැරිය නිමාකළ රක්ඛිත වික්‍රමනායකයන් සමඟ ඉරිදා ලංකාදීපය වෙනුවෙන් මෙයට වසර 20කට පමණ පෙර මා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය වූ කරුණුවලින් සොච්චමක් මෙම ලිපිය පොහොසත් කළේය. එදා බොහෝ දෙනෙකුගේ විවේචනයට පාත්‍රවූ බැනුම් ඇසූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යුක්තිය හා සාධාරණය විනිශ්චයේදී තමන් අප්‍රමාණ නායකයකු බව පසක් කළේ එසේය. එහෙත් ජේ.ආර්. ඒවා අණබෙර ගසා රටට කියන්නට ගියේ නැත. මම මේ ටික රක්ඛිත වික්‍රමනායකගෙන් අසාගත්තේද වදෙන් පොරෙන් බොහෝ පෙරුත්ත කිරීමෙන් පසුවය. මෙවන් අපූරු මිනිස්සු අද නැත. සමාජය පිරිහෙමින් තිබේ. අවාසනාව එයයි.

 රංජිත් ආනන්ද ජයසිංහ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03