2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

මාර්තුවට කල්ගිය ඕ ලෙවල් විභාගය

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

ඉදිරි වැඩ තකා ඇල්මෙන් අකුරු උගනින්නටත් පමා නොවී අකුරට යන්නටත් අද පාසල් දරුවාට පහසු නැත. මතු රැකෙන්ට ඇති ශිල්පය මනාකොට ඉගෙන ගන්නට ඇති බාධා අප්‍රමාණය. කොවිඩ් රකුසා විසින් අධ්‍යාපන කෙරෙහි ඇතිකළ බලපෑම ගණනය කොට පියවා ගත හැක්කක් නොවේ. එක් පසෙකින් මෙරට පැවැත්වෙන දැවැන්තම සහ තීරණාත්මක විභාගය වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාස තුනකින් කල් ගොස් තිබේ. තවත් පසකින් එම දරුවන් විභාග මුහුණදීමට පෙර ලැබිය යුතු විධිමත් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාලව තිබේ. මෙම තත්ත්වය පිළිබඳ විමසීම රටක් ලෙස අපගේ පරම යුතුකමක් මෙන්ම වගකීමකි.

උසස් පෙළ විභාග කෙලෙස හෝ පැවැත්වීමට මෙරට අධ්‍යාපන බලධාරීහු සමත් වූහ. එහෙත් සා/පෙළ සම්බන්ධව තත්ත්වය භයානක විය. අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසන බව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඊට අනුව කියැවුණේ ජූනි මාසය වනවිට සා/පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමටද බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ජූලි මාසය වනවිට එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට හැකි බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට තීරණය වී ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01 සිට 11 වැනි දින දක්වා පැවැත්වීමටයි. කෙසේ වෙතත් විභාග අපේක්ෂකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගනිමින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ හැකියාව සොයාබැලීම තවදුරටත් සිදුවෙමින් පවතීයි. නිශ්චිත දින නියම වුවද අවසානයේ තත්කාලීන රටේ පවතින තත්ත්වය මත බලධාරීන්ට තීරණ ගැනීමට සිදුවනු ඇත. පෙරදී නිවේදනය කර තිබුණේ සා/පෙළ විභාගය ජනවාරි මාසයේ 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමටයි. එහෙත් වර්තමාන වසංගත තත්ත්වය මත විභාගය පැවතීම අපහසු බව බලධාරීන්ට කියා සිටියේය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ 1-15 දක්වා වූ ප්‍රදේශය තුළ පමණක් විභාග ශාලා 154ක් ස්ථාපිත කිරීමට නියමිත ඇති බවයි. එසේම එම විභාග මධ්‍යස්ථාන තුළ අපේක්ෂකයන් 24,600ක් විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව ඒ මහතා කියා සිටින්නේ ජනවාරියේ විභාය පැවත්වීමට නොහැකි වන්නේ කොළඹ පවතින තත්ත්වය බවයි.

කෙසේ වෙතත් ලැබී ඇති තොරතුරු අනුව 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වනවිට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එම නිසාම සියලු පාසල් ආරම්භ කර අධ්‍යාපන යථා තත්ත්වයට පත්වූ පසුව විභාගය පැවත්වීමට අධ්‍යාපන බලධාරීහු උනන්දු වෙති. එහෙත් පාසල් ආරම්භය සම්බන්ධව ඇත්තේ තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකය.

හය ලක්ෂ විසිදහක පමණ අපේක්ෂකයන් පිරිසක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීමට සූදානමින් සිටිති. දෙසැම්බර් සිට ජනවාරි දක්වාත් ජනවාරි සිට මාර්තු දක්වාත් විභාගය කල්යාම ඔවුන්ගේ ජීවිතය කෙරෙහි මේ වනවිටත් සෘජු බලපෑමක් එල්ල කර තිබේ. කෙසේ වෙතත් පාර්ශ්ව කිහිපයක් අප මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ කර ගතිමු.

අධ්‍යාපන ඇමැති එක එක දවසට වෙන වෙන කතා කියනවා
ජෝසප් ස්ටාලින් - ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්

අපි මුල ඉදන්ම කිව්වේ සාමාන්‍ය පෙළ විභාගය පවත්වන් කියලා. ඊටපස්සේ බස්නාහිර පළාතේ දරුවන්ට නැතුව සෙසු පළාත්වලට දරුවන්ට පසල් විවෘත කරන්න බලධාරීන් තීරණය කළා. කොහොම වුණත් බස්නාහිර පළාත් පාසල් විවෘත වෙනකල් විභාගය පවත්වන්න බෑ. කොහොම වුණත් අපේ යෝජනාව වුණේ විෂය මාලාවේ බස්නාහිර පළාතේ දරුවන්ට ආවරණ වුණ කොටස සැලකිල්ලට අරගෙන ඒ කොටස් ආවරණය වන විදිහට විභාගය පවත්වන්න කියලා.

තවත් පසෙකින් පළමුවර විභාගය පෙනී සිටින දරුවන්ට සියලු විෂය කොටස් ආවරණය නොවුණත් දෙවැනි තුන්වැනිවර පෙනී සිටින අපේක්ෂකයන්ට සියලු විෂය කොටස් ආවරණය වෙනවා. නමුත් බස්නාහිර පළාතේ විභාගයට පෙනී සිටින පාසල් ළමයි පනස් පන්දහක් විතර ඉන්නවා. ඉතින් ඒ අයට අසාධාරණයක් වන නිසයි අපි අර වගේ යෝජනාවක් ගෙනාවේ. ජනවාරි මාසේ කොවිඩ් ව්‍යාප්තියක් නැත්නම් ඇත්තටම විහාගය පවත්වන පුළුවන් මේ විදිහට විෂය ආවරණය වෙන පරිදි.

නමුත් අධ්‍යාපන අමාත්‍යවරයා එක අවස්ථාවකදී කිව්වා දවස් දහයකින් ප්‍රකාශයට පත් කරනවා කියා. විභාගය ගැන ආයේ දවස් දෙකෙන් කියනවා කියලා කිව්වා. ඊටපස්සේ එක සැරේම කිව්වා විභාගය තියන්නේ මාර්තු මාසේ කියලා. ඒ හරහා පෙනී යනවා මේ කල් දැමීම සැලසුම් විරහිතව තමා වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි කියනවා හය ලක්ෂ විසිදහසක් ළමයින් පෙනී සිටින මේ විභාගය සම්බන්ධව වගකීම් සහගතව කටයුතු කරන්න. අනික් අතට ජනවාරි මාසේ පාසල් විවෘත කරනවා කිව්වට ඒ සඳහාත් නිසි ක්‍රමවේදයක් නෑ.

10 ශ්‍රේණියේ විෂය කොටස්වලට මූලික තැනක් දීම සුදුසුයි
තිරංජය ගම්ලත් - සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මාධ්‍ය ඒකක ප්‍රධානී

ඕනෑම විභාගයක් කල් දැමීම විභාගයට හොඳින් සූදානම් වුණු දරුවන්ගේ මානසිකත්වයේ බිඳවැටීමකට හේතුවන කාරණාවක්. සාමාන්‍ය පෙළ දරුවෝ අවුරුදු දෙකක් පුරා මහන්සිවෙලා වැඩ කරන්නේ දෙසැම්බර් මාසයේ විභාගය පැවැත්වෙයි කියන පූර්ව නිගමනය යටතේ. පසුගිය කාලේ විභාග කල්යෑමේ අත්දැකීමක් දරුවන් තුළ නොවන නිසා ඔවුන් තුළ ඉච්ඡාභංගත්වයක් ඇතිවීම වළක්වන්න අපහසුයි. එහෙත් ගෝලීය වසංගතයක් තුළ ජීවත්වීමේ පවා අවදානමක් ඇතිවුණ අවස්ථාවක විභාගය කල්යෑම කියන්නේ තවත් එක් සරල කාරණාවක් පමණයි.

මාර්තු මාසය දක්වා විභාගය කල් දැමීම දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා පිළිබඳවම හිතලා ගත්ත තීරණයක් කියලා පෞද්ගලික විශ්වාස කරනවා. එහෙම වුණත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන ජීවිතයට තෙවරක් බාහිර බාධාවන් ඇතිවුණා. 2019 දී පාස්කු ප්‍රහාර නිසා මාස දෙකකට අධික කාලයක් මේ දරුවන්ගේ අධ්‍යාපන අඩාල වුණා. ඒ මේ දරුවෝ 10 ශ්‍රේණියේ ඉන්න කාලේ. පස්සේ දරුවෝ 11 ශ්‍රේණිය දක්වාම මේ වසරේ මාර්තු මාසේ 12 වැනිදා ඉඳලා අගෝස්තු මාසේ මුල දක්වා කොවිඩ් වසංගතය නැවතත් නිසා අධ්‍යාපන අඩාල වුණා. දැන් ආයේමත් කොවිඩ් දෙවැනි රැල්ල නිසා මේ දරුවන් පීඩාවට පත්වෙලා.

ඒ නිසාම අපි විශ්වාස කරනවා ප්‍රශ්නපත්‍ර සැකසීමේ දී 10 ශ්‍රේණි‌ෙය් විෂය කොටස්වලට මූලික තැනක් දීලා ප්‍රශ්නය සකස්වෙනවා නම් හොඳයි කියලා. ඒක දරුවන්ගේ පැත්තෙන් සාධාරණය සාධනීය තත්ත්වයක් වෙයි. තවත් කාරණාවක් තමයි ඕනෑම විභාගය කල්යාමකදී හොඳින් සූදානම් වූ අයට අයහපත් වෙනවා වගේම හොඳයි සූදානම් නොවූ අයට යම් වාසියක් සැලසෙනවා.


ටීචර්ස්ලත් හරියට දන්නේ නෑ
විභාග අපේක්ෂිකාවක් - මහරගම අධ්‍යාපන කොට්ඨාසය

විභාගය තියෙනවා නම් හොඳයි. කල්දාන එක එපාවෙලා තියෙන්නේ. පාඩම් කරලා ඉවරයක් නෑ. ඔන්ලයින් උගන්වනවා ඉස්කෝලේ වගේම ටියුෂන් සර්ලාත්. ඒත් පන්තියේ ඉගෙන ගන්නව වගේ නෙවෙයි. 11 වසරේ පාඩම් සමහර ඒවා කරලා නෑ. මේ පාරේ විභාගෙට ඔක්කොම පාඩම්වලින් එන්නේ නෑ කියනවා. ඒත් අපි දන්නේ නෑ හරියටම මොන මොන පාඩම්වලින්ද පේපර් හදන්නේ කියලා.

විභාගය මාර්තු මාසේ තියෙනවා නම් විද්‍යාව ගණිතය වගේ විෂයන්ගේ හරි විභාගය එන පාඩම් ප්‍රමාණය හරිය කියන්න ඕනෑ. ටීචර්ස්ලා ගෙන් ඇහුවට ඒයාලත් හරියට දන්නේ නෑ. එක එක අය එක එක කතා කියනවා. අපිට තමා ගොඩක්ම අසාධාරණ වෙන්නේ මේ පාර විභාගෙන්. මෙහේ ඉස්කෝලේ තිබුණේ නැති වුණාට ඔය අනික් පළාත්වල ඉස්කෝවල ළමයිට උගන්නවාලු. ගිය අවුරුද්දේ බෝම්බ ගැහුවාමත් ඉස්කෝලේ නැති වුණා. මේ අවුරුද්දේ හරියට ඉස්කෝලෙ ගිහිල්ලාම නෑ.

සමහර ළමයි නම් කැමතියි විභාගය කල් යනවට. එයාලට විභාගේ තිබුණේ නැතත් කමක් නෑ. අපිට තමා පාඩුව. පාඩම් කරපුවා මතක නැතිවෙයිද දන්නේ නෑ. ආයේ මාස තුනක් ඉන්න ඕනැනේ. විභාගේ ලේසි කරන්න විභාගෙට එන පාඩම් මොනවාද කියලා කලින් කියන්න කියලා තමා ඉල්ලන්නේ.

 සටහන - චමිඳු නිසල් ද සිල්වා