කොවිඩ් දෙවැනි රැල්ල වැඩියෙන්ම බලපෑවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටය එම දිස්ත්‍රික්කවල ගම් බිම්, නගර, පොලිස් වසම්, ග්‍රාම නිලධාරි කොට්ඨාශ රැසක් වරින්වර හුදෙකලා කිරීමට බලධාරීන් පියවර ගත්තේ ඒ අනුවය. ඇතැම් ප්‍රදේශ කඩිනමින් යළි විවෘත කළද තවත් ප්‍රදේශ දීර්ඝ කාලයක් වසා දැමීමට සිදු වූයේ එම ප්‍රදේශවලින් දිනපතා කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙනි. පසුගිය සතිය පුරාම වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹිනි. රටේ සමස්ත ආසාදිතයන් පිරිසෙන් 30 ඉක්මවූ පිරිසක් වාර්තා වූයේ කොළඹ නගර සභා සීමාවෙනි. එහෙයින් කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වෑකන්ද, වනාතමුල්ල, වැල්ලවත්ත, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය, මෝදර කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මට්ටක්කුලිය, මරදාන, වත්තල, හේකිත්ත, කුරුඳුහේන, ඇවරියවත්ත, පෑලියගොඩ වැනි ප්‍රදේශ රුසක් හුදකලා බවට පත් කිරීමට බලධාරීන්ට සිදුවිය. ඇතැම් ප්‍රදේශ යළි විවෘත කෙරුණද තවත් ප්‍රදේශ ගණනාවක් තවමත් විවෘත කර නොමැත.
නගරයෙන් බැහැර ප්‍රදේශ හුදෙකලා කළ අවස්ථාවේ ඔවුනට ආහාර පිළිබඳ එතරම් ගැටලුවක් ඇති නොවූයේ තම වත්ත පිටියේ වගාකර ඇති දෙයකින් හෝ එදා වේල සපයාගත හැකි වූ බැවිනි. එහෙත් කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට එසේ නොවීය. කොළඹ නගරාශ්‍රිත ප්‍රදේශ හුදෙකලා කිරීමෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූයේ මහල් නිවාස, පේළි නිවෙස්වල හා වතු ආශ්රිත ජනතාවය.
දින ගණනක් පුරා හුදෙකලා කිරීම මත තමන්ට ආහාර පාන සපයා ගැනීමට නොහැකි වී ඇතැයි පවසමින් කොළඹ අවට ප්‍රදේශවල සහ මහල් නිවාසවල වෙසෙන ජනතාව පසුගිය දිනවල විරෝධතාවල නිරත වූහ. එම ජනතාව කියා සිටියේ තමන්ට රුපියල් 5000 දීමනාව හිමිවුවද අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාවක් නොමැති නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි. අපිට රුපියල් 5000ක් දුන්නට අපි කනවද බොනවද කියල බලන්න කවුරුත් නැහැ. ලොක් ඩවුන් නිසා කෑම ගන්න එළියට යන්නත් බැහැ. යනුවෙන් ඔවුහු පැවසූහ.
වසා දමා ඇති ප්‍රදේශවල භාණ්ඩ අලෙවි කෙරුණේ ගිනි ගණන්වලටය. ඔවුන් ප්‍රකාශ කළ පරිදි පොල්තෙල් බෝතලයක් රුපියල් 500කි. හාල් කිලෝව රුපියල් 200කි. ඇතැම් පවුලවල සාමාජිකයන් හත් අට දෙනා සිටිති. රුපියල් 5000 ලැබුණේ මුළු පවුලටමය. එවැනි පවුලකට ලැබුණ 5000 දින දෙකකින් පමණ අවසන් වී තිබිණි.. තමන්ට සතොසෙන් භාණ්ඩ ලබා ගැනීමට ක්‍රමවේදයක් හෝ වියලි සලාක මල්ලක් ලබා දීමට කටයුතු කරන ලෙසට ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ. බොහෝ විට පොලිසිය ප්‍රාෙද්ශීය ලේකම්වරුන්ට දැනුම් දී ඔවුනට විසඳුම් ලබා දීමට කටයුතු කරනු දැකිය හැකි විය.
කොළඹ මෝදර ප්‍රදේශයේ ජනතාව මෙන්ම බ්ලූමැන්ඩල් ජයමග සෙවණ නිවාස සංකීර්ණයේ ජනතාවද ආහාර ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූයේ පසුගිය නොවැම්බර් 21දාය. ඔවුහු අලුත්මාවත ප්‍රදේශයට රැස් වී තමන්ට ආහාර ද්‍රව්‍ය ලබා දීමට රජයේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති යැයි පවසමින් තම විරෝධය පළ කළහ. අපි දැන් සති දෙකක් ලොක් ඩවුන්. කෑම ගන්න අතේ සල්ලි නැහැ. අපේ ළමයි බඩගින්නේ. අපිට දහදහක සහන මල්ලක් ලබා දෙන්න. සහන මල්ලක් දෙන්න බැරිනම් අපිට පාර ඇරල දෙන්න එළවළු ටිකක් හරි විකුණල ළමයින්ට කන්න මොනවහරි ගෙනත් දෙන්න යන්න ඔවුන්ගේ ඉල්ලීම විය.
තමන්ට උපකාර කිරීමට කිසිවකු නොමැති බව පවසමින් ඇතැම් කාන්තාවෝ හඬා වැටුණාහ. ඇතැම් පිරිස් සඳහන් කළේ ආහාර නොමැති කමින් ඇතැමුන් ක්ලාන්ත වන බවයි. තත්ත්වය සමනය කිරීම සඳහා අදාළ ප්‍රදේශයන්හි පොලිසිවලට මැදිහත් වීමට සිදු විය. ඇතැම් පිරිස් කියා සිටියේ තමන්ට රුපියල් 5000 දීමනාව හිමි වුවද මේ වන විට එය අවසන්ව ඇති බවයි. පළමු කොරෝනා රැල්ලට ප්‍රදේශ ලොක් ඩවුන් කළ අවස්ථාවේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ඡන්ද අපේක්ෂකයන් බලෙන් පැමිණ තමන්ට උපකාර කළ බවද දැන් මැතිවරණය අවසන් බැවින් තමන් පිළිබඳ කිසිදු සොයාබැලීමක් නොකරන බවටද ඔවුහු චෝදනා කළහ. මිනිස්සුන්ට මිය යන්නට සිදුවන්නේ කොරෝනාවෙන් නොව හාමතින් යැයි ඔවුහු පැවසූහ..
මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේ ජනතාවටද අත්ව තිබුණේ එම ඉරණමය. එම විරෝධතාවද සමතයකට පත් කිරීමට සිදු වූයේද පොලිස් නිලධාරින්හටය. විමල් වීරවංශ ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ පිරිස් දැඩි කෝපයකින් කතා කළහ. එක ඇමැතිවරයෙක් කියනවා පන්දහක් දුන්නේ සුමානෙන් කාල ඉවර කරන්න නෙමෙයි කියලා. අද කාලේ පන්දහෙන් මොනවද කරන්න පුළුවන්? එක ගෙදරක පහ හය හත ඉන්නවා. ඒ කාටවත් රස්සාවට යන්න බැහැ. අඩුගානේ සතියකට සැරයක්වත් ආහාර මල්ලක් ලබා දෙන්න ඕන. නැතිනම් රස්සාවට යන්න දෙන්න ඕන. උදේට කෑවොත් රූට කන්නේ නැහැ. රූට කෑවොත් උදේට කන්න නැහැ. අපි එක වේලක් කාල ඉන්නවා ළමයින්ට එහෙම ඉන්න බැහැනේ ඒ ඔවුන්ගේ හඬය.
ඒ වනවිටත් එම නිවාසවල ජනතාවගේ පීසීආර් පරීක්ෂණ සිදු කර තිබිණි. එහි ප්‍රතිඵල අනුව එම ප්‍රදේශ යළි විවෘත කරන බවට පොලිසිය ඔවුනට ප්‍රකාශ කළේය. දිසාපතිවරයා සමඟ සාකච්ඡා කොට සුදුසු පියවර ගැනීමට පොලිසිය කටයුතු කරන බව ප්‍රකාශ විය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද කතාබහට ලක් විය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ පක්ෂ භේදයකින් තොරව ජනතාවගේ මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු බවටය. ජනතාවට සහනයක් ලබා දිය නොහැකිනම් ලොක්ඩවුන් ඉවත් කරන ලෙසට ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
මෙම ජනතාව මුහුණ පා තිබූ අර්බුදය වටහා ගත් කොළඹ මහ නගර සභාව රුපියල් තුන් දහසක් පමණ වටිනා ආහාර මලු ලක්ෂයක් පමණ බෙදා දීමට පියවර ගෙන තිබිණි.. රජයෙන් රුපියල් දසදහසක වියළි ආහාර මල්ලක් ලබා දුන්නේ ආසාදිත පවුල්වල සාමාජිකයන්ට පමණි. කොළඹ නගරයේ හුදෙකලා කළ ප්‍රදේශවල විශාල පිරිසක් වාසය කරති. ඔවුන්ට කිසියම් සහනයක් ලබා දීමේ අරමුණින් කොළඹ නාගරික් මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙම කාර්යයට අතගසා තිබුණාය. දෙසැම්බර් 9 දා වනාතමුල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ ජනතාවට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ටෙලිකොම් ආයතනයේ සහය ඇතිව බෙදා දෙනු ලැබීය.
කොළඹ මහල් නිවෙස්වල වැසියන් අතර මාසික වැටුප් ලබන්නන් සිටින්නේ අතලොස්සකි. වැඩි පිරිසක් දෛනික ආදායම් ලබන පිරිසකි. ඇතැමුන් වෙළහෙළඳාම් හෝ වෙනත් සේවා සැපයීමෙන් එදිනෙදා තම ජිවිතය ගැටගසා ගන්නා පිරිසකි. මොවුන්ගෙන් වැඩි දෙනෙක් දිනකට රුපියල් 3000ක් පමණ උපයති. කොවිඩ් 19 හේතුවෙන් හුදෙකලා කිරීම මත ඔවුන්ගේ සියලු ආදායම් මාර්ග ඇනහිට තිබේ. කොළඹ නගරයේ ජනතාවට සහන සැලසීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට මිලියන 2600කට අධික මුදලක් ලබා දී තිබේ. ජනතාවට රුපියල් පන්දහස බැගින් ලබා දුන්නේ මෙම මුදලිනි. එහෙත් දෙතුන් දෙනකු සිටින පවුලකට රුපියල් 5000 දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නොවේ.. ජනතාවට මේ වන විට අවශ්‍යව ඇත්තේ රජයේ දීමනාව නොවේ. ඔවුනට අවශ්‍ය තම රුකියාව කර ගැනීමට අවසරය පමණි. එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සියලු දෙනා මුහුණ පා ඇත්තේ උභතෝකෝටික ප්රශ්නයකටය.
දෙමටගොඩ මිහිඳුසෙන් පුර මහල් නිවාවල වෙසෙන ජනතාවටද ආහාර හිඟය බලපා තිබිණි. ඔවුන්ගේ ඉල්ලීම වූයේද රජයෙන් දෙන සහන හෝ බඩු මල්ල අනවශ්‍ය බවයි. තමන්ට උපයාගෙන කෑමට හැකි බවත් ලොක්ඩවුන් ඉවත් කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
බොරුල්ල මෙත්සර උයන මහල් නිවාසයේ වෙසෙන ජනතාවද විරෝධතාවක නිරත වූයේ තමන්ට ආහාරපාන සපයා ගැනීමට නොහැකි වී ඇතැයි පවසමිනි. එම මහල් නිවාසයේ 500කට ආසන්න පිරිසක් වාසය කරන බවද ඔවුන්ගෙන් කොටසකට ආහාරපාන ලැබී ඇති මුත් අනෙක් පිරිසට කිසිවක් නොලැබුණු බව පවසමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
ඇතැම් මහල් නිවෙස්වල වැසියන්ට විවිධ පිරිස් යම් යම් පරිත්‍යාග ලබාදුන් බැව් වාර්තා විය. බොරුල්ල සිරිසර උයනේ නිවාස සංකීර්ණයේ වැසියන්ට එලෙස පෞද්ගලික ව්‍යාපාරිකයකු විසින් ලබා දුන් ආහාර මලු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් විසින් බෙදා දෙනු ලැබීය. නියෝජ්‍ය පොලිස්තිවරයා ප්‍රකාශ කළේ අපහසුතාවට පත්ව සිටින පුද්ගලයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරයා විසින් රුපියල් 10000ක බඩු මල්ලක් දෙවරකට ලබා දීම ආරම්භ කර ඇති බවයි.
කැලණිය වනවාසල ප්‍රදේශයේ ජනතාවද පසුගිය 3 වැනිදා පෑලියගොඩ අධිවේගීමාර්ග පිවිසුම අසල විරෝධතාවක නිරත වූහ. ඔවුන්ගේද ඉල්ලීම වූයේ කුසගින්නේ හඬන තම දරුවන්ට ආහාර ටිකක් ලබා දීමට කටයුතු කරන ලෙසටය. බොරුල්ල ප්‍රදේශයේ පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූයේ තමන්ට ලබා දුන් ආහාර නිසි ප්‍රමිතියෙන් තොර බව පවසමිනි. ගුල්ලන් ගැසූ සහල්, කඩල, පරිප්පු ලබා දී ඇතැයි ඔහු බලධාරීන්ට දෝෂාරෝපණය කළහ.
පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේ ජනතාවද දෙසැම්බර් 5 දින විරෝධතාවක නිරත වූහ. ඔවුන්ගේ විරෝධතාවට හේතු වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමීම නිසා තමන් අසරණ බවට පත්ව ඇතැයි පවසමිනි. දියව් දියව් කන්න දියව් කියමින් ඔවුන් විරෝධතාවේ නිරත වනු දැකිය හැකි විය. එම ප්‍රදේශයේ තවත් පිරිසක් පසුගිය 7 දා උද්ඝෝෂණයක නිරත වනු පෙනිණි. දින 45කට අධික කාලයක් තම ප්‍රදේශ හුදේකලා ඇති බැවින් රුපියල් 5000 හිමි වුවද තමන්ට ආහාර සපයාගැනීමට ක්‍රමයක් නොමැති යැයි ඔවුහු පැවසූහ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලෙන් රෝගීන් හමු වූ බැවින් පසුගිය කාලයේ පෑලියගොඩ ප්‍රදේශවාසීන් කිසිවකු සේවයට බඳවා නොගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් තමන් දැඩි ආර්ථික හා ආහාර අර්බුදයකට මුහුණ පා ඇතැයිද ඔවුහු කියා සිටියහ. තමන් දෛනිකව ඉතා හොඳ ආදායමක් ඉපැයූ පුද්ගලයන් බවත් මේ වනවිට අන්ත අසරණභාවයට පත්ව ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති. ඔවුන්ද ඉල්ලා සිටියේ තම ප්‍රදේශ විවෘත කර තමන්ගේ රුකියා කරගැනීමට අවස්ථාව සලසන ලෙසටය. ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති මහින්ද විල්ලෝරආරච්චි මහතා ඉදිරිපත් විය. සෑම නිවෙසකටම සහන බඩු මල්ලක් ලබා දෙන බවට ඔහු එම අවස්ථාවේ පොරොන්දු විය. දැන් ඒ අයගේ ගැටලුව විසඳිලා. අපි මේ මිනිස්සුන්ට පුළුවන් විදිහට උපකාර යුතුයි. එදා උද්ඝෝණය වෙලාවේ මම පොරොන්දු වුණා ඔවුන්ට සවස් වන විට බඩු මල්ලක් ලබා දෙන බවට. මගේ මිත්‍රයන්ට කතා කරලා පවුල් 750කට පමණ ආහාර මලු ලබා දීමට කටයුතු කළා. ඉන්පසුව දිසා ලේකම්තුමා දැනුවත් කළා. එතුමා අවශ්‍ය ස්ථානවලට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට කතාකරලා ඔවුන්ට ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කළා. යනුවෙන් ප්‍රකාශ කළේය.
පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරන ආකාරයට මේ වන විට උප දිසාපතිවරුන් හා ග්‍රාමනිලධාරිවරුන් මගින් මෙම ගැටලුවට මුහුණ පා සිටින පිරිසට රුපියල් 2500ක අගයකින් යුතු ආහාර මල්ලක් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. පෑලියගොඩ පොලිස් වසමේ පවුල් 16,000කට පමණ මෙම සහන මල්ල හිමිව තිබේ.
හුදෙකලා කෙරුණු මහල් නිවාස සහිත ප්‍රදේශවල හුදෙකලා කාලය අවසන් කිරීමට සෞඛ්‍ය බලධාරීහු මේ වනවිට පියවර ගනිමින් සිටිති. දීර්ඝ කාලයක් ඒවා හුදෙකලා කිරීම නිසා ඒවායේ වසන ජනතාව විවිධ ගැටලු වලට මුහුණ පෑවද මේ වන විට ඒවායින් හමුවන රෝගීන්ගේ අඩුවක් දැකිය හැකියැයි වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. එම තත්ත්වය යළි සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරියේදී ක්‍රමානුකූලව මෙම ප්‍රදේශ හුදෙකලාභාවයෙන් ඉවත් කිරීමට පියවර ගන්න බව පවසයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා