කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟය. දෙසැම්බර් 11 වැනිදාට එය ආරම්භ වී දින 68කි. කොවිඩ් පළමු රැල්ල අවසාන වන විට වාර්තා වූයේ මරණ 13ක් පමණක් වුවද දෙසැම්බර් 11 දින වන විට මරණ 146ක් වාර්තා වී තිබිණි. ඒ අනුව දෙවැනි කොවිඩ් රැල්ල මිනිස් ජීවිත 127ක් ගතවූ මාස දෙක තුළ බිලිගෙන තිබේ. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ නගර සීමාව තුළිනි. මේ වන විට 29500කට ආසන්න පිරිසක් ආසාදිතයන් බවට පත්ව තිබේ
දෙවැනි කොවිඩ් රැල්ලත් සමග මිනුවන්ගො බ්‍රැන්ඩික්ස් පොකුර, පෑලියගොඩ පොකුර, පොලිස් පොකුර, බන්ධනාගාර පොකුර වශයෙන් විවිධ පොකුරු මතුවන්නට විය. එම පොකුරු අතර නවතම පොකුර බවට පත්ව ඇත්තේ බණ්ඩාරගම අටලුගම පොකුරය. පළමුවරට අටලුගමින් ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ පළමු කොවිඩ් රැල්ලෙනි. එම රැල්ල පාලනය කළද දෙවැනි වරට පසුගිය නොවැම්බර් අගභාගයේ අටලුගමින් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම මත එම ප්‍රදේශයේ ගම්මාන අටක් හුදෙකලා කිරීමට පියවර ගැනිණි. හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අටලුගම ප්‍රදේශයේ සිව් දෙනකු ආසාදිතයන් බවට හඳුනා ගැනීම නිසා එම ප්‍රදේශයේ අහඹු පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට බලධාරීහු කටයුතු කළහ. එදින කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 21 දෙනකු හඳුනා ගැනුණු අතර ඉන් 17 දෙනකුම හමුවූයේ එම ප්‍රදේශයෙනි.
අටලුගම වෙසෙන ජනයාගෙන් වැඩි පිරිසක් හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල නිරතවූවන් බැවින් හොරණ ප්‍රදේශයේ වෙළෙඳසල්ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. පසුගිය 26 වැනිදා වනවිට අටලුගමින් ආසාදිතයන් 164ක් හඳුනාගෙන තිබිණි. දෙසැම්බර් 02 දින කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 106 දෙනකු හඳුනා ගැනුණු අතර. ඉන් 98ක්ම අටලුගම ප්‍රදේශයෙන් විය. අටලුගම කොවිඩ් පොකුර ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබිණි. දෙසැම්බර් 7 වැනිදා වනවිට එම ප්‍රදේශයෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 504කි. එම ප්‍රදේශයේ ග්‍රාමසේවක වසම් හතක වාසය කරන සමස්ත ජනගහණය 15973කි. දෙසැම්බර් 10 වැනිදා වනවිට එම ප්‍රදේශයේ ආසාදිතයන් සංඛ්‍යාව 541ක් විය.
අටලුගම කොවිඩ් 19 වෛරසය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය නිමේෂා රත්නවීර ප්‍රකාශ කළාය. සංචරණ සීමා පැනවූවද රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතයේ ඉහළ යෑමත් පවතින බවත්, එහෙයින් රෝගය වැළැක්වීම සඳහා ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ඇය කියා සිටියාය. අටලුගම ග්‍රාමසේවා වසම් හතක් තිබේ. එවායින් තවමත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කොට ඇත්තේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ සහ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පමණි. ඉදිරියේ මෙම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් හමුවිය හැකිබව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම ගම්මානයේ පවුල් විසිදහසක් පමණ වාසය කරති. මොවුන් අතුරින් පිරිසක් තවමත් පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන බවද, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිළි නොගන්නා බවද වාර්තා වේ.
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා බොහෝ පුද්ගලයන් ඉදිරිපත් නොවීමත්, ඉදිරිපත් වූ අයගෙනුත් කොටසක් ව්‍යාජ නම්, ලිපින හා දුරකථන අංක ලබාදී තිබීමත් නිසා බණ්ඩාරගම, අටලුගම කොරෝනා පොකුර පාලනය කර ගැනීමට අපහසු වී ඇතැයි කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා සඳහන් කරයි.
අටලුගම ප්‍රදේශවාසීන්ගේ පී.සී.ආර්. මඟහැරීමේ ක්‍රියාවලිය මේ වනවිට වෙනත් ප්‍රදේශවලටද පැතිර යමින් තිබේ. මේ වන විට වැලිගම ගල්බොක්ක, බේරැවල සහ තිහාරිය වැනි ප්‍රදේශවලද පී.සී.ආර්. ප්‍රතික්ෂේප කරන බව පැවසේ.
ඩ්‍රෝන කැමරා මගින් එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී බොහෝ පිරිස් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම් ගණනකට නොගෙන කටයුතු කරන අයුරුද දැකගත හැකි විය. තැන තැන රොක්වී සිටින පිරිස් මෙන්ම ක්‍රීඩාවල නිරත වන පිරිස්ද ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය විය.
කොරෝනා ආසාදිත රෝගියකු රෝහල් ගත කිරිම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරැන් පිරිසක් අටලුගමට ගිය අවස්ථාවේ එම රෝගියා ඔවුනට බැණවැදී කෙළ ගැසීම හේතුවෙන් එම මහජන සෞඛ්‍ය නිලධාරීන්ට නිරෝධායනයට ලක්වීමට සිදු විය. මහජන සෞඛ්‍ය පරික්ෂකවරැන් රෝගියාට කලින් දී ඔහු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් රැගෙන අටලුගම ඔහුගේ නිවෙස අසලට ගිය අවස්ථාවේදී එම ගැටලුවට මුහුණ පා තිබිණි.
එහි ප්‍රතිඵලය වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් අටලුගම ප්‍රදේශයේ සිදුකරන සෞඛ්‍ය කටයුතුවලින් ඉවත්වීමට තීරණය කිරීමය. අවසානයේ කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දෙසැම්බර් 17 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
අටලුගම ප්‍රදේශයේ උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් හරි අඩක් වත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. මෙම පිරිස ව්‍යාජ තොරතුරැ ලබාදී සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නොමඟ යවමින් සිටින බවද මෙවැනි තත්ත්වයක් යටතේ හුදෙකලා කාලය දීර්ඝ කිරීමට සිදු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය 10 වැනිදා බණ්ඩාරගම අටලුගම මාරාව ග්‍රාම නිලධාරි වසමේ 400 දෙනකුට පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර තිබුණද එදින ඒ සඳහා ඉදිරිපත් වූයේ 22නකු පමණක් බව බණ්ඩාරගම අතිරේක සෞඛ්‍ය නිලධාරිනී ශ්‍රීමාලි අමරසිංහ මහත්මිය මාධ්‍යයට අනාවරණ කළාය.
අටලුගම ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අපහසු වී ඇත්තේ ජනතා සහයෝගය අවම බැවින් වන හෙයින් සෞඛ්‍ය නීතිවලට අවනත නොවන පුද්ගලයන් සිටින එම ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් පමණක් නොනැවතී තාවකාලිකව පොලිස් ඇඳිරි නීතිය පනවන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.
එම ප්‍රදේශයේ මෙතෙක් කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් 50%ක් පමණ ආසාදියන් ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ සඳහන් කළේය. අවසාන වරට කරන ලද පී.සී.ආර් පරීක්ෂණ 450කට අධික ප්‍රමාණයකින් 230ක් පමණ ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. එක් ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය බැව් ඔහු ප්‍රකාශ කරයි. මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කොට ක්ෂණික තීන්දු ගැනීමට සිදුවී තිබේ. මේ අතර මරණ සංඛ්‍යාවේද ඉහළ යෑමක් දැකිය හැකිය. ආසන්න දින කිහිපයක් තුළ එම ප්‍රදේශයේ මරණ කිහිපයක්ම සිදුවී තිබේ. පීසීආර් පරීක්ෂණ මගින් අටලුගම ප්‍රදේශයේ පවතින අවදානම තවමත් තක්සේරැ කර නැහැ... කළුතර දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම තවමත් පවතින්නේ අසතුටු දායක තත්ත්වයකයි. එම දිස්ත්‍රික්කයට පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා රසායනාගාරයක් නැහැ. ඒ නිසා පීසීආර් පරීක්ෂණ ප්‍රමාද වෙනවායි ඔහු ප්‍රකාශ කළේය.. මෙලෙස යළිත් පොකුරැ ව්‍යාප්ත වීමට හේතු වී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණ නිශ්චිත මොහොතේ නොලැබීම නිසා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයියාද ප්‍රකාශ කරයි.
පසුගිය දිනවල සාමාන්‍යයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පරීක්ෂණ 13,000ක් පමණ සිදු කෙරිණි... මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණ රසායනාගාර 24ක 14000කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. දෙසැම්බර් මස අවසානය වන විට එම ප්‍රමාණය දිනකට 20,000 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. නව පී.සී.ආර් යන්ත්‍ර 5ක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති අතර පරිත්‍යාගශීලීන් විසින් පී.සී.ආර්. යන්ත්‍ර 7ක් ලබා දීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය නොහොත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මගින් විනාඩි 20ක පමණ කාලයක් තුළ වෙනත් පුද්ගලයකුට වෛරසය බෝකළ හැකි පුද්ගලයන් හඳුනා ගැනීමට හැකිය. එමගින් ආසාදියන් නොවන පුද්ගලයන් පී.සී. ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් වැඩිදුරටත් රෝගීන් හඳුනාගැනීමට හැකිවේ.
අටලුගම ප්‍රදේශයේ සංචරණ පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ට අමතරව පොලිස් නිලධාරීන් 150–200ත් අතර සංඛ්‍යාවක්ද ඊට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇතැයි වාර්තා වේ.
මේ අතර දෙවැනි කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භය හඳුනාගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සීදුව රමාඩා හෝටලයේ නවාතැන් ගත් යුක්‍රේන ජාතික ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයකුට කොවිඩ් 19 ආසාදනය වී තිබූ බැව් සොයා ගැනුණු අතර පසුව එම හෝටලයේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනකුටද එම රෝගය වැළඳී තිබූ බැව් අනාවරණ වූ බවයි. මෙම පිරිස හා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් අතර සම්බන්ධකම් පැවැති බවත් ඒ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට මොවුන්ගෙන් රෝගය ව්‍යාප්ත වී ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා