කොවිඩ් - 19 වෛරසය වැළඳුණු ආසාදිතයකු මෙරටින් මුල්ම වතාවට වාර්තා වී රට තුළ මෙම වසංගතය වර්ධනය වීමත් සමඟ පීඩාවට මුලින්ම පත්වූ මිනිසුන් අතරේ කලාකරුවෝද සිටිති. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම වසංගතය මෙරටින් වාර්තා වීමත් සමඟ ජනතාව එක්රැස්වන සංගීත සංදර්ශන, එළිමහන් ප්‍රසංග මෙන්ම විදෙස් සංචාර සියල්ලම නතර වීමය. මාර්තු මස ප්‍රථම රෝගියා වාර්තාවීමත් සමඟ විශේෂයෙන් සිංහල අලුත් අවුරුදු සමයේ වෙන වසරවලදී කාර්යබහුල වූ කලාකරුවන් මෙවර නිවෙසට කොටුවීමට සිදුවුණි. තවමත් එහි වෙනසක් නැත. ආර්ථික ප්‍රශ්න ඔවුන්ට එමටය. මෙලෙස කොටු වූ කලාකරුවන් වෙනුවෙන් තම අදහස් දේශයට පළ කළේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා නම් කලාකරුවාය.
“කොවිඩ් - 19 මෙරටින් වාර්තා වූ මුල්ම අදියරේදීත් ගායක ගායිකා සංගමය, සංගීත කණ්ඩායම්, නළු නිළියන් ඇතුළු සියලුම කලාකරුවන් කලාකාරියන් වෙනුවෙන් ජනාධිපතිතුමන් අගමැතිතුමන්ගෙන් යම් සහනයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කළා. එයට යම් සහනයක් සැලසුවා. නමුත් අපේ කලා ශිල්පීන්ගේ අතට ඒ ණය සහනය ලැබුණාද කියලා මම හරියටම දන්නේ නැහැ. ඇතැමුන්ට ලැබිලා තිබුණා. මුලින්ම ඔවුන්ට ඒ ණය සහනය ලබාදීම සම්බන්ධව අපි ස්තූති කරනවා. නමුත් මේක අපි කවුරුවත්ම නොහිතපු වාතාවරණයක්. මේක අපිට විතරක් ඇතිවුණ තත්ත්වයක් නොවේ. රටවල් බොහෝමයක් අදටත් මේ තත්ත්වයට මුහුණ දෙනවා. අපේ රටේ තියෙන තත්ත්වය අනුව හැමෝටම සහන ණය දිදී යන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඊළඟට තිබෙන ප්‍රශ්නය වන්නේත් ලබාදුන් ඒ සහන ණය ගෙවාගන්නේ කොහොමද කියලායි.”
නලීන් පෙරේරා කලාකරුවෙකි. සංගීත කණ්ඩායමක නායකයෙකි. ඒ සියල්ල පසෙකලා ඔහු මේ රටේ පුරවැසියෙකි. මෙම ව්‍යසනයට මුළු රටේම ජනතාව මුහුණ දෙද්දී පුරවැසියකු ලෙස සැමියකු, පියකු ලෙස ඔහුද අනෙකා මෙන් මේ ගැටලුවට මුහුණ දෙයි. නමුත් ජීවත්වන්නට නම් තම වෘත්තිය කළ යුතුය. නලින් පෙරේරා වෘත්තීය කලාකරුවෙකි. එසේ නම් වෘත්තීය කලාකරුවකු මෙම ගැටලුවේදී මුහුණදී ඇති අන්දම අපි කතාකළ යුතුමය. කලාකරුවකු සේම අනෙකාගේ දුක සංකාව නලින් පෙරේරාට හොඳහැටි තේරේ.
කලාකරුවා සහ කුලීකරුවා අතරේ වෙහෙස වී ආදායම් ඉපැයීමේදී වෙනසක් නැත. කලාකරුවා යම් නිර්මාණයක නියැලුණහොත් එයට සරිලන මුදලක් ඔහුට ලැබේ. කලාකරුවන්ට මාසික වැටුපක් නැත. රජයේ සේවකයන් මෙම කොරෝනා වසංගතයේදී යම් ලෙසකින් වාසනාවන්තයෝ වෙති. වසංගතය තිබුණද රජයේ සේවකයන්ට මාසය අවසානයේදී ඒ නියමිත වැටුප ලැබේ. නමුත් කලාකරුවන් මෙම වසංගතය හමුවේ බොහෝවිට ඇත්තේ නිවාසවලය.
“සමහර කලා ශිල්පීන් මාර්තු මාසයේ සිට තවමත් සිංදුවක් කියනව තියා වේදිකාවකටවත් ගොඩවෙලා නැහැ. වැඩක් නැතිම වෙලා තියෙනවා. මේ තත්ත්වය හරිම ඛේදනීයයි. අපි කිසිම මොහොතක අයුතු දේ ඉල්ලන්නේ නැහැ. මම කලාකරුවෙක් වීමට පෙර මේ රටේ පුරවැසියෙක්. ඒ නිසා පුරවැසියෙක් විදිහට රජයෙන්, ආරක්ෂක අංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ කොවිඩ් එක නැතිවෙනතුරු අපි ගෙවල්වලට වෙලා ඉන්න එක උත්තරයක් නෙමෙයි කියලා අපි කියන්නේ. අපේ දෛනික වැඩ ටික කරගෙන යන්න යම් ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. අපිට මේ කොවිඩ් එක්ක තව කාලයක් ජීවත් වෙන්න වෙනවා.”
නලීන් පෙරේරා දේශයට අදහස් දක්වමින් පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ වර්තමානයේ පවතින වාතාවරණය තුළ ඔවුන්ගේ කලා කටයුතු වෙනුවෙන් දොරටු විවෘත කිරීමටත්, සුළු වශයෙන් හෝ තම කලා කටයුතු ආරම්භ කිරීමටත් අවස්ථා ලබාදෙන ලෙසය. රෝගියකු වාර්තා වීමෙන් ඒ තැනට අදාළව තීරණය ගන්නවා මිසෙක මුළු රටත් වසාගෙන, ගමත් වසාගෙන මේ දේවල් කළ නොහැකිය.
“අද මිනිසුන්ට කොවිඩ් 19 නෙමෙයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එදා වේල හොයාගන්න, බඩගින්න නැති කරගන්න දඟලන්න වෙලා තියෙනවා. ඒකයි අද ලොකුම ප්‍රශ්නේ. පිටරටකදී ඒ රටම වහලා Lockdown කරලා මාස් පතා මිනිසුන්ට සල්ලි ගෙවමින් ඒ රටවල් පවත්වාගෙන ගියා. නමුත් අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ. එහෙම කරන්නත් බැහැ. ඒ නිසා මිනිසුන්ට වැඩකරගෙන යන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වෙන විදිහට සැලසුම් වෙන්න ඕනේ. පනස් දෙනෙක් එක්ක විවාහ උත්සවයක් ගනිද්දී ඒ මිනිස්සු සංගීත කණ්ඩායමක්, නැටුම් කණ්ඩායමක් මුදල් ගෙවලා ලබාගන්නේ නැහැ. අඩුම ගණනේ එකසිය පනහකට, දෙසීයකටවත් වෙඩින් එකක් කරන්න ඉඩහරින්න. එතකොට සංගීත කණ්ඩායම්වලට, නැටුම් කණ්ඩායම්වලට අවස්ථා ලැබේවි. මේක ප්‍රායෝගික ඇසින් බලන්න. කලාකරුවා පමණක් නෙමේ මේ රටේ උදේ ඉඳන් හවස් වෙනකන් හිඟමන් යදින හිඟන මනුස්සයාත් අද අනාථ වෙලයි ඉන්නේ. අද අපි හරි අසරණ වෙලා සල්ලි තියෙන මනුස්සයාත් මේ ආර්ථික ප්‍රශ්නයි නිසා රුපියල් පනහක් එළියට ගන්න දෙපාරක් හිතනවා. ඒ නිසා මේ රටේ මේ ප්‍රශ්නය මාසික වැටුප ගන්න අයටත් වඩා එදිනෙදා කීයක් හරි හොයාගන්න අයට දැඩිව බලපාලා තිබෙනවා.” යැයි නලීන් පෙරේරා වැඩිදුරටත් පැවසීය.
සංගීත කණ්ඩායම්වල ශිල්පීන්, ගායක ගායිකාවන් දෛනික මුදල් සොයන අය වෙති. ඔවුන්ට නියමිත වැටුපක් නැත. මේ බොහෝ කලාකරුවන් ජීවත්වන්නේද කුලී නිවාසවලය. සුපිරි නිවාස සංකීර්ණවල ජීවත් වුවද, සුපිරි වාහනවල ප්‍රසංගවලට ගියද ඔවුන් ඒ සියල්ලටම මාස්පතා මුදල් ගෙවිය යුතුය. ඒ මාස්පතා ගෙවන මුදලද සුළුපටු නොවේ. නමුත් මාස කිහිපයක් ඒ ගෙවීම කරගෙන යන්නට බැරිවුණු කලාකරුවෝ අද මේ සිදුවන්නේ කුමක්දැයි දස අතේ කල්පනා කරති. අතට මුදල් නොලැබුණද මාස්පතා කුලී නිවාස හිමියන්ට කුලී මුදල ගෙවිය යුතුය. වාහනයට පෙට්‍රල් ගැසිය යුතුය. ඒ සියල්ලම පසෙකලා අඩුම තරමේ මේ ඇතැම් කලාකරුවන්ට වේල් තුන කාලා ජීවත්වන්නට අද මුදල් නැත. එහෙයින් දේශපාලන, වෛද්‍ය, ආරක්ෂක අංශ ඇතුළු සියලු බලධාරීන් එක්ව මේ සඳහා ස්ථීරසාර විසඳුමක් ලබාදිය යුතු බව නලීන් පෙරේරා පැවසීය.
“හෝටලයක ප්‍රශ්නයක් ඇතිවුණොතින් ඒ අදාළ හෝටලය ගැන පමණක් සලකලා බලලා තීරණය ගත්තාට කමක් නැහැ. ඒ හැර එක හෝටලයක් නිසා සමස්ත හෝටල් පද්ධතියම වසා දැමීම ඒකට සරිලන උත්තරයක් නෙමේ. කොවිඩ් තිබුණත් ඡන්ද තියෙන කාලවලදී මේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දේශපාලනඥයන්ගේ මළගෙවල්වල මේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒවාට සීමා මායිම් තිබුණේ නැහැ. එහෙම වුණේ ඇයි? එහෙම වෙන්න බැහැ. මේ හැම මිනිහෙක්ම එකම විදිහේ සැලකීමක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නය දිහා බොහෝම මානුෂික මට්ටමින් බලලා හැකි ඉක්මණින් විසඳුමක් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. දෙසැම්බර් මාසය කියන්නේ කලාකරැවන්ට කාර්යබහුල කාලයක්. අද ඒ සියල්ලම මිරිඟුවක් වෙලා. සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන්, නැටුම් ශිල්පීන්, බෙර වාදකයෝ විතරක් නෙමේ අෂ්ඨක කියන අය, විවාහ උත්සව සංවිධායකවරු, හෝටල් ආදී බොහෝ ක්ෂේත්‍රයන් අද අසරණ වෙලා. අද හෝටල්වල ලොකු කාර්ය මණ්ඩලයක් තියාගෙන කරකියා ගන්න දෙයක් නැතිව මේ යන්නේ. පුදුමාකාර විදියට මේ ක්ෂේත්‍ර ලොකු කඩා වැටීමකට ඇවිත් තියෙන්නේ. රුපියල් පන්දහසක දීමනාවකින් මේ රටේ මිනිසුන්ට ජීවත්වෙන්න පුළුවන්ද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ප්‍රායෝගික යාන්ත්‍රණයකට සැලසුම් හොයන්න ඕනේ...” ඔහු වැඩිදුරටත් පැවසීය.
කලාකරුවන් වටා තවත් පිරිසක් ජීවත් වෙති. සංගීත ප්‍රසංගයකදී ශබ්ද පරිපාලනයේ සිට වඩේ වෙළෙඳාමේ යෙදෙන සුළු වෙළෙන්දා දක්වා මේ ජීවත්වන චක්‍රය අද කඩා වැටී ඇත. මේ අතර සංගීත කණ්ඩායම්වල ඇතැම් ශිල්පීන්ගේ විවාහ යෝජනාද කඩාකප්පල් වෙමින් තිබෙන බවද ඇතැමුන් සංගීත කණ්ඩායම් නතර කර ඇති බවද නලීන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.
දිශානි ජයමාලි කරුණාරත්න