2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

කොළඹවරායේ බටහිර-නැගෙනහිර ජැටි අවුල

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකා, ඉන්දීය සහ ජපාන රජයන් අතර 2019 මැයි මාසයේදී සහයෝගිතා ගිවිසුමක් [Memorandum of Cooperation) අත්සන් කෙරිණි. මෙම රාජ්‍ය අතර ඇතිකරගත් එම එකඟතාව ගැන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය නිල වෙබ් අඩවියෙහි 2019.05.27 වැනි දින ප්‍රකාශයට පත්කර තිබුණි. එහි දැක්වුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බවය. එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සිදුකිරීමට ඇති කරන පර්යන්ත මෙහෙයුම් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 51ක් ශ්‍රී ලංකාව සතු වන අතර ඉතිරි 49ක් ව්‍යාපාර අදාළ හවුල්කරුවන්ට හිමිවන බවය.

කොළඹ වරායේ ජයබහලු පර්යන්තය (JCT) ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (South Asia Gateway Terminals (SAGT) සහ කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය Colombo International Container Terminals (CICT) හි මෙහෙයුම්වලින් 15ක් පමණක් මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතී. මේ වනවිට ජයබහලු පර්යන්තයේ සවිකර ඇති දොඹකර වසර 30ක් පමණ පැරණි බවද වරාය සේවකයෝ පවසති. එබැවින් විශාල නැව් හසුරවමින් වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමේ අරමුණින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය East Container Terminal (ECT) ඉදි කෙරිණි. මෙම නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18කි.

වරාය අධිකාරියේ කළමනාකාරීත්වය මත මෙහෙයුම් සිදු කිරීමට අදියර 05 නමින් කුඩා පර්යන්තයක් සෑදීමේ සැලැස්මක් පසුගිය කාලයේ ක්‍රියාත්මක විය. ඒ සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් ශ්‍රී ලංකාව ඉල්ලුම් කර තිබූ අතර පසුගිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ එම දොඹකර තුනය. මෙම ගැන්ට්‍රි දොඹකර පළමුව සැලසුම් කර තිබුණේ අලුතින් සාදන පර්යන්ත අධියර 05 හි සවිකිරීම සඳහාය. මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුව බාර ගන්නා විට එම ගිවිසුම අවලංගු කළ නොහැකි නිසා එම ගැන්ට්‍රි දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට හැකිවන පරිදි නැවත වෙනස් කිරීමකට ලක් කරන ලෙස අදාළ සමාගමෙන් ඉල්ලා සිට ඇත. ඒ අනුව සවිකිරීමේ පහසුවට වෙනස් කළ ගැන්ට්‍රි දොඹකර තුනක් ජුනි 20 වැනිදා ශ්‍රී ලංකාවට රුගෙන ආ බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම සඳහන් කළේය.

එහෙත් 2015 වර්ෂයේ ජනවාරි මාසයේදී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුවූයේ යැයි පවසා මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටවූ අතර, ගිවිසුමද අවලංගු කෙරිණි. ඉන් නොනැවතුණු යහපාලන ආණ්ඩුව මේ පර්යන්තය ඉන්දියාවට හා ජපානයට ලබාදීමට සුදානම් වූ අතර, එහිදී ඇති වූ සේවක විරෝධතාවත්, ජනාධිපතිවරයාගේ විරෝධතාවත් හේතුවෙන් එම වැඩපිළිවෙළ මඳ කලකට ප්‍රමාද විය. පසුව එම පර්යන්තයට යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීම සඳහා උත්සාහ කළද ලැබූ මිල ගණන් මුල් අවස්ථාවට වඩා 25-30 ප්‍රමාණයකින් මිල වැඩි වීම නිසාත්, ලබාගැනීමට සැලසුම් කළ පොලිය 5-6 අතර පැවති නිසාත් එය ව්‍යර්ථ විය. යහපාලන ආණ්ඩුවේ මෙම අදූරදර්ශී තීරණය නිසා වරාය අධිකාරියට පමණක් නොව රටටද විශාල පාඩුවක් සිදු විය.

උත්තර නැත්නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු 
සංජය කුමාර වැලිගම

වරාය නැගෙනහිර පර්යන්තයෙන් දිනකට රුපියල් මිලියන 27 ආදායමක් ලැබෙනව. එලෙස වාසි සහගතව තිබෙන වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදුදීම අවාසි සහගත තත්ත්වයක් ලෙස තමයි අපි දකින්නේ ඒ නිසා යම් දේශපාලන තින්දු මත ලාබ ලැබෙන වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවට වඩා වරාය බටහිර ජැටිය ඉන්දියාවට දෙනවට අපේ විරෝධයක් නැහැ එතකොට රජයන් අතර හිත් අමනාප කමක් ඇතිවෙන්නෙත් නැහැ. 

මේ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරාදීම ගැන අපි ජනාධිපතිවරයා, විෂයභාර අමාත්‍යවරයා සහ සභාපතිවරයා සමග සාකච්ඡා කරන්න අවස්ථා ගණනාවක් ඉල්ලුවා නමුත් මේ වනතෙක්ම ඒවට නිසි ප්‍රතිචාර ලැබිලා නැහැ. තවදුරටත් ඔවුන් මේකට ලබාදෙන විසඳුම ගැන කියන්නේ නැත්තම් අපි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වුණත් පසුබට වෙන්නේ නැහැ.

 

 හසිත් අංජන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03