
කොවිඩ් -19 වයිරසයේ දරුණුම බලපෑම වාර්තා වෙමින් තිබේ. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර අවිනිශ්චිත ස්වභාවයකය. චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ පළමු රෝගියාගේ රෝග ලක්ෂණ අනුව මෙතෙක් සොයා නොගත් වයිරසයක් බව තහවුරු විය. දිගින් දිගටම පැතිරී ගිය වයිරසය ප්‍රාන්තය වසා දමන තැනට පත් කළේය. ජාත්‍යන්තර මාධ්‍ය චීනයේ අවසානය ගැන කතා කරමින් සිටිය දී ලෝකයේ නොයෙක් තැන් වලින් කොවිඩ් පොකුරු නිර්මාණය වෙමින් තිබුණි. චීන වයිරසය යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු ජනාධිපතිවරයා වරක් ප්‍රසිද්ධියේ හඳුන්වන ලද අතර ඇමරිකාවේ සිදුවන සමාජ හා ආර්ථික හානියට චීනය වන්දි ගෙවිය යුතු බවට තර්ජනය කළේය. චීනය කොවිඩ් වයිරසයේ සාර්ථක පාලනයක් කරා ගමන් කර තිබේ. ඇමරිකාව ආසාදනය හා ජීවිතක්ෂයට පත්වන පිරිස සම්බන්ධ ඉලක්කම් අතර පළමු තැනට පත්ව සිටී.
යුහුසුළුව ප්‍රතිකාර සොයා බලන ලද
පර්යේෂයන්ගේ අනුමාන සාර්ථක වී තිබේ. රටවල් ගණනාවක වෛද්‍ය
පර්යේෂකයෝ එන්නත් සොයා ගත්හ. එය ලෝක ප්‍රජාව ගිලෙමින් තිබුණ අන්ධකාරය තුළ දිලිසෙන ආලෝක පුංජයක් විය. නැවතත් බලාපොරොත්තු ඇති කරන තත්ත්වයකට හැරිණ. සංචරණය නතර කර ලෝක ආර්ථිකය ආපසු හැරෙමින් තිබුණ අවස්ථාවක ප්‍රතිකාර ගැන අහන්නට ලැබෙන තොරතුරුවලට ජාත්‍යන්තර මාධ්‍යයේ විශාල ඉඩක් ලැබුණි. කොවිඩ් පර් යේෂණ වලට සම්බන්ධ සමාගම්, ඒවා අලෙවිය හා බෙදාහැරීම කරන අංශවල පමණක් නොව මුල්‍ය ක්ෂේත්රයද කොටස් මිල ගණන් ඉහළ යන්නට පටන් ගැණින. මුළු මනුෂ්‍ය සංහතිකයම ව්‍යසනයෙන් ගැලවෙන දිනය ගැන සාකච්ඡා කරන අවස්ථාව එළැඹ තිබේ.
• භයානක ස්වභාවයේ අවසානයකට කලින්
වසංගත තත්ත්වය පාලනයකින් ගිලිහී කරකියාගත නොහැකි තැනට ලෝකය පත්වනු ඇති බවට තිබුණ අනතුර පහවී තිබේ. එහෙත් හතරවැනි රැල්ලක් ගැන තොරතුරු වාර්තා වෙයි. හොංකොං නගරයේ බලධාරීහු එහි නැගී එන වයිරසයේ හතරවැනි රැල්ල පාලනය කිරීම සඳහා උපරිම උත්සාහ යොදවමින් සිටිති. පසුගිය අඟහරුවාදා එහි සමාජ දුරස්ථකරණය නැවත පැනැවීය. සියලුම අවන්හල් හා භෝජන ශාලා ධාරිතාවයෙන් හරි අඩකට පමණක් සේවය කළ යුතු බව නියම කළේය. තවත් තැන්වල නිදහසේ ආහාර ගැනීම තහනම් කළ අතර පිසූ ආහාර මිලට ගෙන වහා නික්ම යා යුතුය. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් වහාම ආරක්ෂිත කඳවුරු හා හෝටල්වලට පිටත්කර යවන ලද අතර නගරයේ පෝලිම් වලට එකතුවීමේ අවසරය තිබුණේ රෝගය වැළඳී ඇත්දැයි බලන්නට කරන ලද පරීක්ෂණවල ප්‍රථිඵල එන තෙක් පමණකි. හොංකොං හි තත්ත්වය එබඳුව තිබිය දී ප්‍රංශයේ හා බි්රතාන්යයේ ඇතැම් තැන්වල ජනයා නගර ලොක්ඩවුන් කිරීමට එරෙහිව විරෝධතා පැවැත්වූ බව වාර්තාවෙයි. ආසියාවේ බොහෝ රටවල පළමු හා දෙවැනි රැල්ලකින් රෝගීන් වාර්තාවන අතර වාරයේ හොංකොං හි හතරවැනි කොවිඩ්-19 වයිරසයේ රැල්ලක් හඳුනා ගැනීම ඉමහත් භීතියකට හේතු වී තිබේ.
ලෝකය පුරා කොවිඩ් -19 වයිරසයට ගොදුරුවූවෝ ලක්ෂ හයසිය හැත්තෑව ඉක්මවා සිටිති. ලක්ෂ එකසිය පනහක් මියගොස් ඇත. සමහර රටවල් එක වටයකින් ගැලවෙන අතර තවත් රටවල් අලුත් වටයකට ඇතුළු වෙමින් සිටී. සෑම රටකම පාහේ අතිවිශාල වියදමක් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වෙන්කර ඇත. ආණ්ඩුවල හා පෞද්ගලික අංශයේ සේවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නැත. සංචාරක හා විනෝදාත්මක අංශ වැඩිම බලපෑම එල්ල වූ අංශයකි. ආදායම් මාර්ග අවහිර වී ඇති අතර මිලියන ගණනින් රැකියා අහිමි වී තිබේ. සෑම රටකම පාහේ එම රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක සිට පහළොව දක්වා ධනස්කන්ධයක් සහන වෙනුවෙන් වැය කරන්නට සිදුවී ඇත. මිලියන සංඛ්‍යාත පිරිසක් දුප්පත් භාවයට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 2015 වන විට ලෝකයේ දරිද්‍රතාවය හරි අඩකින් අඩු කරන පියවර සඳහා බලවත් පරිශ්‍රමයක් දරන ලද අතර විශේෂ කොමිසමක් පිහිටුවා වෙනස්කම් කළ යුතු නීති රීති සම්බන්ධ වාර්තාවක් නිකුත් කළේය. ඒවායේ ප්රතිලාභ ලැබෙන්නටත් කලින් සියලුම රටවල ජනයා අතරින් සෑහෙන කොටසක් එදා වේල සපයා ගැනීමේ ගැටලුව අභිමුවහි සිටින බව අනාවරණය වන කරුණකි. කෙසේ වෙතත් වසංගතය තිබිය දී නිෂ්පාදනය, සේවා, බැංකු හා මුල්‍ය කටයුතු අඛණ්ඩව කරගෙන යන වෑයම අත් හරින්නේ නැත. තාක්ෂණය හා දියුණු සන්නිවේදනය එයට ඉවහල් විය. සමහර රටවල් රොබෝ තාක්ෂණය යොදා ආහාර සහ බෙහෙත් බෙදා හරිමින් ජනතාව ගලවා ගැනීමට ප්රයත්න දැරූහ.
• දශකයකින් නිමා කළ යුතු පර්යේෂණ මාස දහයකින් පසුබිම එසේ තිබියදී රටවල් ගණනාවක
පර්යේෂණ කණ්ඩායම් කොවිඩ් ප්‍රතිශක්තිකරණය ඇතිකරන එන්නත් සොයා ගැනීමට සමත් ව තිබේ. කණ්ඩායම් දෙසීයයකට අධික ප්‍රමාණයක් එහි නිරත වූහ. ස්වේච්ඡා සංවිධාන හා ධනවත් ව්‍යාපාරිකයෝ පරීක්ෂණ සඳහා ධනය පරිත්‍යාග කළහ. වෛද්‍ය විද්‍යා විශේෂඥයන් දක්වන පරිදි අලුත් ඖෂධයක් සොයා ගැනීමට වසර දහයක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගතවෙයි. එය දැවැන්ත කාර්ය භාරයකි. වට ගණනාවක පරීක්ෂණ තත්ත්ව වලට ලක් කරයි. සායනික මට්ටමේ දී පවා ඉතා සියුම් නිරීක්ෂණයන්ට යටත්වෙයි. කෙසේ නමුත් කොවිඩ්-19 ප්රතිශක්තීකරණය ඇති කරන එන්නත වෙනුවෙන් වැයකර ඇති කාලය මාස දහයකි. එය විශාල ජයග්‍රහණයක් සේ සැලකෙයි.
ඇමරිකාව, චීනය, රුසියාව, දකුණු කොරියාව හා සිංගප්පූරුව කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සාර්ථකත්වයට පත්ව ඇති බව නිල වශයෙන් ප්‍රකාශ වී ඇත. රුසියාවේ ජනාධිපතිවරයාගේ සමීප පුද්ගලයන් එන්නත ලබාගත් බව නිවේදනය වූයේ මාස ගණනකට කලින්ය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙකු එනම් බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්. බුෂ් හා බැරක් ඔබාමා සතියකට කලින් නිව්දනය කළේ ජනතාවගේ විශ්වාසය ජනිත කරනු සඳහා මාධ්‍ය කැමරා ඉදිරියේ කොවිඩ් එන්නත ලබාගැනීමට අපේක්ෂා කරන බවය. ඇමරිකානු සමාගම් නිෂ්පාදනය කරන ලද නමුත් එය සාමාන්‍ය ක්‍රියා පටිපාටියට බැහැරව යමින් කඩිමුඩියේ නිපදවන ලද එකක් බැවින් තමන් භාවිතයට ගන්නේ නැති බව ඇතැම් ඇමරිකානුවන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර තිබුණි. රට තුළ විශාලතම ආසාදිතයන් ප්‍රමාණයක් හා ලෝකයේ වැඩිම මරණ වාර්තා වන පසුබිමක එම මතවාදය වගකිවයුතු අංශ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපතිවරු සම්බන්ධවෙන්නේ එවැනි පසුබිමකය.
• මාග්‍රට් හා විලියම් ශේක්ෂ්පියර් නැවතත් ඉතිහාසයට
මාග්‍රට් හා විලියම් ශේක්ෂ්පියර් යන ප්‍රකට නම් නැවත වතාවක් ඉතිහාසයට එකතු වී තිබේ. බ්‍රිතාන්‍ය කොවිඩ් -19 වළක්වන එන්නත මහජනතාවට නික්ෂේපනය ආරම්භ කර ඇත. එය ලබාගත් සායනික අත්හදා බැලීම් නොවන පළමු හා දෙවැනි පුද්ගලයෝ ඔවුහුය. අනූ හැවිරිදි මාග්‍රට් කීනෑන් ඉකුත් දෙසැම්බර් 08 වැනිදා ලන්ඩනයේ කොවැන්ටි්ර නගරයේ රෝහලක දී එන්නත ලබාගත් අතර ඇය මාධ්‍යයට කියා සිටයේ දින හතකට පසු එළැඹෙන ඇයගේ අනූඑක් වැනි ජන්ම දිනය සඳහා හොඳම ත්‍යාගය කලින් ලැබුණ බවය. දෙවැන්නා ගේ නම විලියම් ශේක්ෂ්පියර් වීම පුදුමයකට කරුණකි. හෙතෙම අසූ හැවිරිදිය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ෆයිසර් සහ බයෝ එන් ටෙක් සමාගමේ එන්නත ඉක්මනින් පුරවැසියන්ට නිකුත්කරන පියවරක සිටී.
ෆයිසර් සමාගම සිය කොවිඩ් වළක්වන එන්නත සාර්ථක බව ප්‍රකාශයට පත්කරන්නේ පසුගිය නොවැම්බර් 09 වැනිදාය. එයින් පැය විසි හතරකට පසු තවත් ඇමරිකානු සමාගමක් වන මොඩෙර්නා සිය අත්හදා බැලීම්ද සාර්ථක අතර වානිජ වශයෙන් නිශ්පාදනය අරඹා ඇති බව නිවේදනය කළේය. ෆයිසර් සමාගම සොයාගත් එන්නත රටවල් හයක සායනික අත්හදා බැලීම් හතළිස් හතරකට භාජනය කර තිබේ. සාර්ථකත්වය අතින් ඉහළ බව දක්වයි. එම සායනික අත්හදා බැලීම් වලින් සියයට පහක කොටසක් ආසියාවට වෙන්කර තිබුණි. ජපානයේ දී එය කරන ලද බව සඳහන්ය. අධිශීත තත්ත්වයක ප්‍රවාහනය හා ගබඩා කළ යුතු එන්නත භාවිතා කරන තෙක් ශීතකරණයක තබා ගැනීම ප්‍රායෝගික අපහසුතාවයක් බව දැක්වෙයි. කෙසේ වෙතත් මොඩෙර්නා සමාගමේ සහ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයා ගත් එන්නත් සාමාන්‍ය උෂ්ණත්වයේ තැබිය හැකිවීම විශේෂත්වයකි. සොයා ගෙන ඇති එන්නත පවා තව දුරටත් වැඩි දියුණු කරමින් සිටින අතර නුදුරු කාලයේ දී මිල අඩු සහ භාවිතය පහසු තරමට වෙනස්කම් කළ හැකි වෙතැයි සැලකේ.
• එන්නත ගැනීමට බලකරන්නට පුළුවන්කමක් නැත
ලෝක සෞඛ්‍ය සංවිධානය අලුතින්ම දක්වන පරිදි කොවිඩ් එන්නත්කරණය බලහත්කාරයක් නොවේ. එය ජනතාව තුළින් පැන නැගිය යුතු අවශ්‍යතාවයකි. සෞඛ්‍ය බලධාරීන් සහ ආණ්ඩු එය ඉලක්ක කරගෙන දැනුම්වත් කිරීමේ වඩසටහන් ඇරඹිය යුතුය. එන්නත සූදානම් කරන අතරවාරයේ මුළු ලෝකයටම අවශ්‍ය කරන තරම් සිරින්ජ නිෂ්පාදනය ද පහසු කාර්යයක් වූයේ නැත. ඒඩ්ස් අවදානම හෙයින් සියලු එන්නත් සිරින්ජ එකවරක් භාවිතා කර විනාශ කරයි. දැනට සාමාන්‍යයෙන් එදිනෙදා සිදුකරන එන්නත් වලට අමතරව මුළු ලෝක වාසීන් සඳහාම අලුත් සිරින්ජ ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ෆයිසර් සමාගමේ එන්නත එක පුද්ගලයකුට තෝරා ගත් කාලසීමාවක් තුළ දෙවරක් ලබා දිය යුතුය. ලෝක ජනගහනය මෙන් දෙගුණයක් සිරින්ජ නිෂ්පාදනය හා අලෙවිය ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කළේය. වහාම මිලියන 520 ක සිරින්ජර තොගයක් එක්රැස් කරන්නට තීරණය කළේය. බල නොකරන නමුත් මෙය ලෝක ඉතිහාසයේ කිසිදා සමකළ නොහැකි ආකාරයේ රෝග වළක්වන එන්නත්කරණයක් විය හැකිය.
එන්නත බල කළ නොහැකි බව දක්වන අතරවාරයේ එය ලබා ගැනීමට අපේක්ෂා කරන සියලු රටවලට වහාම බෙදාහැරීමට ගුවන් යානා අට දහසක බලඇණියක් අවශ්‍ය වනු ඇති බව ලෝක ගුවන් ගමන් සංවිධානය නිවේදනය කළේය. වහාම යැවිය යුතු හා අධිශීත තත්ත්වයේ ප්‍රවාහනය කළ යුතු හෙයින් මෙය ලෝක ඉතිහාසයේ වඩාත්ම වේගවත් හා සංකීර්ණතම බෙදාහැරීමේ අත්දැකීම වනු ඇති බව දැක්වෙයි. එන්නත මිල දී ගැනීමට ධනය අඩු සමාජ තෝරා ඒවාට ආධාර කරන වැඩ පිළිවෙළක්ද ඇරඹී තිබේ. ධන කුවේරයන් සහ දානපතියන්ගේ අරමුදල් එහි උපකාරයට ඉදිරිපත්ව සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ෂිකව එන්නත් බිලියන දෙක බැගින් මිල දී ගන්නා අතර ඒවා අඩු ආදායම් රටවල දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන සඳහා රටවල් සියයකට බෙදා හැරේ. එය කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩ පිළිවෙළට සමාන කළ නොහැකි තරමට ඉතාම සුළු ව්‍යායාමයක් වන ලකුණු පහළ වී තිබේ. මුළු ලෝකයම අදිසි පියවර වලින් අවදි වී ඇති අවස්ථාවක මිත්‍යාමත හා කිසිම විද්‍යාත්මක පර් යේෂණයකින් සනාථ වී නැති කොවිඩ් මැඩ පවත්වන බව කියන දියර අලෙවි කිරීම වෙනුවෙන් මෙරට බුද්ධිමත් ජනතාව සැදී පැහැදී කැළඹී සිටීම පුදුම සහගතය.
ගාමිණී සරත් ගොඩකන්ද