2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

දිගටම වැඩිවෙන කොළඹ අවදානම

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

කොවිඩ් වසංගතය දැන් මිනිසුන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ආරම්භයේදී එකා දෙන්නා හමුවන විට අම්මෝ අයියෝ ගෑ ඇතැමුන් අද දවසට දහසකට ආසන්නව හමුවන බව දන්නේද නැත. කෙසේ වෙතත් දැන් 30,000 කට එහා රෝගීන් වාර්තා වෙමින් මරණ 150 කට ආසන්න වී ඇත. ඒ සියල්ල දෙවැනි කොවිඩ් රැල්ලත් සමඟ සිදුවූ තත්ත්වයන්ය.

මෙහි බරපතළම ඛේදවාචකය විඳින්නේ කොළඹ මහල් නිවාසවල ජීවත්වන ජනතාවය. ඔවුහු දැන් දින 50 කටත් එහා සිට ඒ මහල් නිවාසයේ, නිවාසවල කොටුවී ජීවත් වෙති. දින 50 කට එහා මෙලෙස ජීවත් වීම අසීරුය. එහෙත් පවතින අවදානම හමුවේ කරන්න වෙනත් දෙයක් නැත. කෙසේ වෙතත් පසුගියදා රැස්වූ කොවිඩ් රැස්වීමේදී සියලු දෙනාගේම මාතෘකාව වූයේ මේ මහල් නිවාස ගැනය. එහිදී මහල් නිවාස සති අන්තයේ සිට නිදහස් කිරීමට යෝජනා විය.

එහෙත් එය නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකළ යුතු බව හැමදෙනාගෙම මතය විය. ඒ අනුව එම නිවෙස්වල පදිංචි වී සිටින සෑම නිවාසකම එක් පවුලකින් එක් පුද්ගලයකු බැගින් ගෙන පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඉන් ලබාගන්නා සහතිකය මත නිදහස් කිරීමට එහිදී තීරණය විය. ඒ අනුව අදාළ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.

• අටලුගම බේරන්න ඉස්ලාම් පූජකවරු පෙරමුණ ගනිති

අටලුගම කෝවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ එහි ජනතාව පීසීආර් පරීක්ෂණ මග අරින බව මාධ්‍යයෙන් වාර්තා විය. එපමණක් නොව එහි වැඩකටයුතු සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට පහරදීමට ගොස් කෙළ ගසාද තිබුණි. මේ හේතුවෙන් ඔවුන් අටලුගම හතර මායිමේ නොයාමට තීරණය කළේ තමන්ගේ ආරක්ෂාව සඳහාය. මේ නිසාම එන්න එන්න තත්ත්වය බරපතළ වන නිසා ආරක්ෂක අංශ පවා තීරණය කළේ අටලුගමට දැඩි ආරක්ෂාවක් යොදා තත්ත්වය පාලනය වන තෙක් හුදකලා කර තැබීමටය.

එහෙත් තත්ත්වය වටහාගත් ඉස්ලාම් පූජකවරු වහාම රැස්ව තීරණය කළේ මේ සම්බන්ධයෙන් මැදිහත් වීමටය. ඒ අනුව අටලුගම වැසියන් දැනුවත් කර සෞඛ්‍ය අංශ වෙත සිය කටයුතු සිදුකිරීම සඳහා අවකාශය සකසා දීමට ඔවුහු එකඟ වූහ. එපමණක් නොව අදාළ සෞඛ්‍ය පුරුදු නිසි ලෙස සිදුකිරීම සම්බන්ධයෙන් තම ප්‍රජාව දැනුවත් කිරීමටත් ඔවුන් එහිදී තීරණය කර තිබුණි.

මේ ආකාරයෙන්ම තත්ත්වයක් නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේද සිදුවෙමින් පවතින බව පසුගියදා මාධ්‍යවල ප්‍රචාරය විය. ඒ එහි සමහරුන්ද පීසීආර් පරීක්ෂණ මග හරින බවය. එහෙත් අප සොයා බැලීමේදී හෙළිවූයේ එවැනි තත්ත්වයක් තවම සිදුවී නොමැති බවත් එම ප්‍රදේශයේ ජනතාව කැමැත්තෙන් අදාළ පරීක්ෂණ සඳහා සහභාගී වන බවත්ය. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය විසින් ඇතිකරන අනියත බිය නිසා අද බොහොමයක් ප්‍රශ්න කෙන්ද කන්ද වී ඇති බවද සඳහන් කළයුතුමය.

• කොවිඩ් මළසිරුරු අතහැර යති

මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත තවත් ප්‍රශ්නයක් උද්ගත වී ඇත. එනම් කොවිඩ් නිසා මරණයට පත්වන අයගේ මළසිරුරු ඥාතීන් විසින් අත්හැර දමා යාමය. එක් පිරිසක් ඉස්ලාම් ආගමට අනුව භූමිදානයට අවසර නැති නිසා එසේ මළසිරුරු අතැර දමා ගොස් ඇත. තවත් පිරිසක් අවසන් කටයුතු සිදුකිරීමට මුදල් නැති නිසා මළසිරුරු අතැර ගොස්ය. තවත් අය හිතාමතාම අත්හැර දමා ඇත. කෙසේ වෙතත් එකී මළසිරුරු මෘත ශරිරාගාරයේ ශීතකරණවල තැන්පත් කරමින් ඥාතීන් එනතුරු රඳවාගෙන ඇත. එහෙත් එය භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවා සඳහන් කරයි.

• කොළඹ රෝගීන් ඉහළට

කොළඹ රෝගීන් දිනෙන් දින ඉහළ යන අතර මේ වනවිට දැනටමත් රෝගීන් දිනකට 500කට එහා හමුවෙන තැනට පත්ව ඇත. එය කෙතරම් අවදානමක්ද යත් දිනකට රටෙන් හමුවන රෝගීන්ගෙන් 2/3ක්ම කොළඹ රෝගීන් බව වාර්තා වෙයි. ඒ නිසා කොළඹ තත්ත්වය සුළුපටු නොවේ.

කෙසේ වෙතත් මේ සියලු අවදානම මැද කොළඹ දෛනික රාජකාරී සියලුම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන අතර එකී ආයතනවලින් හමුවෙන රෝගීන්ද විශාලය. ඒ නිසා එකී ආයතන මේ දිනවල වැඩ කරන්නේ දැලි පිහියෙන් කිරිකනවා හා සමානවය. විශේෂයෙන් එකී ආයතනවලට තම සේවකයන්ගේ පීසීආර් පරීක්ෂණ පවා සිදුකරන්නට වී ඇති අතර එහි වියදමද ආයතන විසින්ම දරන්නට සිදුවී ඇත. පෞද්ගලික රෝහල් හරහා සිදුකෙරෙන මෙම පීසීආර් පරීක්ෂණ සඳහා ඇතැම් අවස්ථාවල 6500 සිට 12,500 දක්වා අතර මුදලක් අය කරගනී.

එහෙත් සැබවින්ම රජය මගින් ඇන්‍ටිජන්, පීසීආර් පරීක්ෂණ නොමිලේ කරන මොහොතක පෞද්ගලික ආයතනවලට ඉතාම අඩු මුදලකට හෝ අදාළ පරීක්ෂණ සිදුකරන්නේ නම් එක් පැත්තකින් එය රජයට ආදායමකි. ඒ නිසා පෞද්ගලික රෝහල් අමු අමුවේ රෝගීන්ගෙන් මෙකී පරීක්ෂණ හරහා සූරාකන මොහොතක ඊට සහනයක් ලෙස රජය මගින් යම් මුදලකට ආයතන වෙනුවෙන් කෝවිඩ් පරීක්ෂණ සිදුකරන්නේ නම් එය එකී ආයතනවලට විශාල සහනයක් වනු ඇත. තවත් පැත්තකින් රජයට ආදායමකි.

• දිනකට පීසීආර් ගොන්නක්

මේ වනවිට ඉතාම සාර්ථක අන්දමින් දිනකට පීසීආර් පරීක්ෂණ 15,000 කටා ආසන්න සංඛ්‍යාවක් සිදුකරගෙන යනු ලබයි. මෙය ඉතාම සැලකියයුතු වර්ධනයක් වන අතර ඒ හරහා කඩිනමින් රෝගීන් හඳුනා ගැනීමේ අවස්ථාවත් ඔවුන් නිරෝගී රෝගීන්ගෙන් වෙන්ම තබා ගැනීමටත් හැකියාව උදාවනු ඇත. පසුගිය බදාදා දින පමණක් සිදුකළ සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 14336 ක් විය.

කෙසේ වෙතත් බදාදා වාර්තා වනවිට දත්ත අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 26512 කි. එකී රෝගීන්ගෙන් 18392 ක් සුව වී තම නිවෙස් කරා ගොස් සිටිති. මේ අතර තවත් රෝගීන් 9000කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

• බල ඇත්තෝ පිස්සු නටති

පසුගියදා මෙකී අවදානම ඉහළ යමින් තිබූ මොහොතක ධම්මික වෙද මහතාගේ පැණිය ගන්නට මිනිස්සු දහස් ගණනින් පොර කෑහ. රජයේ කිසිම අනුමැතියකින් තොරව සිදුකළ මෙම ක්‍රියාවට පොලීසිය මැදිහත්ව ආරක්ෂාව ලබාදුන්නා විනා එය විසුරුවා හැරීමට ක්‍රියාකළේ නැත. එහෙත් සියල්ල සිදුවු පසුව පොලීසිය වාර්තා සකසමින් අදාළ සිද්ධියට හේතු හොයන්නට උත්සාහ දරමින් සිටී. එය විහිළුවකි. එපමණක් නොව වසංගත රෝග සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරිය පවා පවසා ඇත්තේ එය සහතික කරන තෙක් පානය නොකර ලෙසය. එය අශ්වයා පැනගොස් කල්පයකට පසුව ඉස්තාලය වසා දැමීමට තීරණය කිරීමකි.

මේ අතර ඊට එහා ගොස් කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි එක්තරා හෝටල් දාමයක නත්තල් සැමරුම් පාටියක්ද තිබී ඇත. කිසිදු නිරෝධායන නීතියක් අනුගමනය නොකරමින් සිදුකළ මෙම ක්‍රියාවට ඔවුන්ගේම ආයතනය හරහා ප්‍රසිද්ධියක් සමාජ මාධ්‍ය හරහා ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් එල්ල වුණු ජනතා විරෝධය හමුවේ ඔවුන් අදාළ ඡයාරෑප සඟවා තිබිණි. එහෙත් ඒ වනවිටත් සමාජ මාධ්‍ය පුරා එය සංසරණය වී හමාරය.

දැඩි අවදානම් කොළඹ ප්‍රදේශයේ පවා මේ ආකාරයෙන් අදූරදර්ශී ක්‍රියා සිදුකෙරෙනවා නම් එය මෙම මර්දනය සඳහා ජීවිත ඇප කැපකරමින් වැඩටයුතු කරන සමස්ත පිරිසටම සිදුකරන නින්දාවකි. අපහාසයකි. යම් යම් පුද්ගලයන්ගේ බලය අනුව මෙවැනි වැඩකරන්නට තවදුරටත් ඉඩදෙනවා නම් කෝවිඩ් මෙහෙයුම වෙනුවෙන් කැපවෙන බොහෝ දෙනාගේ වෑයම වතුරේ යන බව හැමෝටම දැනෙනු ඇත.

• පොලිස් පොකුර පරයා බන්ධනාගාර පොකුර ඉහළට

2500 කටත් එහා ඉක්මවා ගොස් සිටින පොලිස් පොකුර මේ වනවිට ඉතාම තීරණාත්මක මොහොතකට එළඹ ඇත. එනම් පොලිස් මූලස්ථානයට පවා මේ වනවිට කොවිඩ් වෛරසය රිංගා විශාල පිරිසකට ආසාදනය වී ඇත. බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආ හැටි පරීක්ෂණ කරන්නට ගිය රහස් පොලීසියේ 20ක්ම කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇත. එපමණක් නොව පොලිස් මූලස්ථානයේ තත්ත්වය කෙතරම් බරපතලද යත් පොලිස්පතිවරයාගේ රියදුරුටද කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස්පතිවරයාද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. 

එහෙත් මේ සියල්ල යටපත් කරමින් කොවිඩ් වෛරසය බන්ධනාගාරය පද්ධතිය පුරාම පැතිරෙන්නට පටන් ගෙන තිබේ. දවසකට සීයකට එහා පිරිස් පසුගිය සතියේ වාර්තා විය. පසුගියදා මහර බන්ධනාගාරයේ සිදුවීම මෙකී වෛරසයේ අවදානම නිසා සිදුවූ බව රජය විසින් පත්කළ කමිටු විසින් පවා තීරණය කර ඇත. බන්ධනාගාරවල අධික තදබදය මේ අවදානමට මූලික හේතුව වී ඇත. එහි ප්‍රතිපලය වන්නේ දිනෙන් දින බන්ධනාගාර පද්ධතිය පුරා තවදුරටත් කොවිඩ් වෛරසය පැතිර යාම පමණි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් කාටත් හොරා අද වනවිට කෝවිඩ් වසංගතයට ගොදුරු වූවන් 30,000ත් ඉක්මවා ගොස් ඇත. එය හෙට තව තවත් වැඩි වනවාද නැතහොත් අඩුවනවාද යන්න තීරණය කළ හැක්කේ සියලුදෙනා තම තමන්ගේ වගකීම වටහාගෙන ජීවත් වූවොත් පමණි.

 ගයාන් ගාල්ලගේ