2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

කොවිඩ් හේතුවෙන් බඩේපාර වැඳුණු කලාපේ බිස්නස්

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

කොවිඩ් 19 නව කොරෝනා වයිරසය ජනතාව රෝගී කරනවාට අමතරව මෙරට සමස්ත ජාතික ආර්ථිකයම රෝගී කරන්නටද සමත් වී තිබේ. මෙරට පමණක් නොව ලෝකයේම ආර්ථිකය කොවිඩ් නිසා බිඳ වැටෙද්දී මෙරට ජාතික ආර්ථිකයට බිලියන ගණනින් විදෙස් විනිමය ආදායම උපයා දුන් ඇඟලුම් කර්මාන්තයටද කොවිඩ් වයිරසය මේ වනවිටත් මාරාන්තික ප්‍රහාර එල්ල කරමින් සිටියි. මෙරට ජාතික ආර්ථිකය වඩාත් ශක්තිමත් කරමින් හා ඒ ආර්ථිකයට ජීවය පිඹිමින් ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 44% උපයා දෙන රෙදිපිළි හා ඇඟලුම් නිපැයුම් නිර්මාණය, නිෂ්පාදනය සහ අපනයනය මූලික වූ ඇඟලුම් ක්ෂේත්‍රය මෙරට විශාලතම කර්මාන්ත කීපය අතරින් ප්‍රමුඛතම කර්මාන්තයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම වෙළඳාම හා ආයෝජන හිතකාමී පරිසරය හේතුවෙන් ඉන්දියාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා විකල්පයක් ලෙස 1980 දශකයේ මුල් භාගයේ සිටම ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සැලකිය යුතු වර්ධනය වීමට පටන් ගත්තේය.

2019 පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඩොලර් බිලියන 5.6 ක අපනයන ආදායමක් ඇඟලුම් ක්ෂේත්‍රය අප රට වෙත උපයා දී ඇත. රටේ ශ්‍රම බළකායෙන් 15% ක් පමණ වූ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට සමත් වූ පසුගිය දශක කීපය පුරාම ශ්‍රී ලංකාවට වැඩිම අපනයන ආදායමක් උපයා දුන් ඉතාම සුවිශේෂී ක්ෂේත්‍රයක් ලෙසද හැඳින්විය හැකි මෙම ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව සෘජු සේවකයන් 400,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වී සිටින අතර මිලියන දෙකකට වැඩි තවත් විශාල පිරිසක් මේ ක්ෂේත්‍රය හා වක්‍ර ලෙස බැඳී සිය ආදායම් මාර්ග නිර්මාණය කර ගෙන තිබීමද විශේෂත්වයක් වේ. මේ අතර මෙරට ආර්ථික වර්ධනය පිළිබඳව අදහස් පළ කරන විවිධ ආර්ථික විශ්ලේෂකයන්ගේ මත දැක්වීම්වලට අනුව ඉදිරි දශක කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදනය බවට වර්ධනය වනු ඇත්තේද ඇඟලුම් කර්මාන්තයයි.

මෙරට තුළ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලා වලින් වැඩි ප්‍රමාණයක් කටුනායක, බියගම, කොග්ගල යන නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිතව ස්ථාපිත කර ඇති අතර ප්‍රධාන වශයෙන්ම හොරණ, ඉංගිරිය, මොරගහහේන, පානදුර, අගලවත්ත, කහතුඩුව, රත්මලාන, වැලිසර, කුලියාපිටිය, පින්නවල වැනි ප්‍රදේශ ආශ්‍රිතවත් දිවයිනේ අනෙකුත් සෑම ප්‍රදේශයකමත් මෙම ඇඟලුම් කර්මාන්ත ශාලා ස්ථාපිත කර ඇත. කොවිඩ් පළමු රැල්ලේ බලපෑමට ලක් වුවද ඉතා කෙටි කලක් තුළ ශක්තිමත්ව යළි දෙපයෙන් නැඟී සිටි මෙරට ඇඟලුම් කර්මාන්තය මෙම දෙවන කොවිඩ් රැල්ලත් සමඟම බරපතළ දුෂ්කරතා රැසක් වෙත තල්ලු වී තිබේ.

කෙසේ වුවත් කොවිඩ් 19 තර්ජනය හමුවේ මේ වනවිටත් එසේ මෙරටට ලැබුණු බොහෝ ඇඟලුම් ඇණවුම් නතර වී ඇතැයි දැන ගන්නට ඇත. ඇඟලුම් කර්මාන්තශාලා හිමියන් මෙන්ම සෘජුව හා වක්‍රව එම කර්මාන්තය තුළ සිය ජීවන පැවැත්ම තහවුරු කරගත් ලොකු කුඩා සියලුම පාර්ශ්වයන් වෙත ඒ නිසාම සිදුව ඇත්තේ ඉතිහාසයේ අන් කවරදාකවත් අත් නොවිදී බරපතළම දුෂ්කරතාවකට මුහුණ දීමටයි.

 කටුනායක ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු

"නිදහස් වෙළඳ කලාපයේ කටයුතු මේ වෙනකොට සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා. සේවයට පැමිණෙන සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ආයතන තුළින් වගකීමක් අරගෙන කටයුතු කරනවා. ඒ වගේම පසුගිය වසරට සාපේක්ෂව මේ වෙනකොට අපේ නිෂ්පාදන කටයුතු සියයට 25කින් පමණ බැස තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ අපේ ඇඟලුම් කර්මාන්තශාලා වෙත ලැබුණු ඇතැම් නිෂ්පාදන මේ වෙනකොට දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ කොවිඩ් වසංගතය එක්ක. කෙසේ නමුත් අපි සාමන්‍ය පරිදි මේ වෙනකොට වැඩ කටයුතු සිදුකරගෙන යනවා. කර්මාන්තය කඩා නොවැටී තියාගැනීම සඳහා රජයේ යම් සහායක් අපට අවශ්‍යයි."

ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙවැනි තීරණාත්මක අවස්ථාවක් රට තුළ නිර්මාණය වී ඇති මොහොතක ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනය වළක්වා ගැනීම සඳහා ඇඟලුම් ව්‍යාපාරිකයින් රජයේ අනුග්‍රහය හා සහය සිය කර්මාන්තය සඳහා අඛණ්ඩව ලබා දෙන්නැයි වගකීම් උසුලන සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇති අතර බැංකු ණය, මූල්‍ය ආධාර, බදු සහන වැනි එකී ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වන ආකාරයේ අනුග්‍රහයක්, සහායක් සහ මැදිහත් වීමක් නොලැබේ නම් මෙවර ඇඟලුම් කෂේත්‍රය තවත් ලොකු අර්බුදයක් වෙත ගමන් කරනු ඇති බවද ඔවුන් සියලුදෙනා රජය වෙත අවධාරණය කර තිබේ. අවාසනාවකට හෝ එවැනි අර්බුදයක් වෙත අප ගමන් කළ හොත් මෙතෙක් ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා කළ සියල්ලන්ටම සිය ආදායම් මාර්ග අහිමි වී යනු ඇති අතර ඇණවුම් නොලැබීම නිසා කර්මාන්ත ශාලා රැසක්ද වසා දැමීමට සිදුවනු නිසැකය.

 සටහන: හසිත් අංජන