2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

දකුණු ආසියාවේ මුල්ම පදිංචිකාරයෝ අපියි

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 452

ප්‍රාග් ඉතිහාසය හෙවත් සාමාන්‍ය කතාබහට අනුව බලංගොඩ මානවයන් ජීවත් වූ යුගය ගැන අප කා තුළත් ඇත්තේ කුතුහලයකි. ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුග මානවයා ගැන මුලින්ම 1940-50 දශකවල කැණීම් කළේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය පී.ඊ.පී. දැරණියගලගේ මෙහෙයවීමෙනි. ඊටපසුව 1968දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය පිහිටුවීමෙන් පසු වඩාත් විද්‍යාත්මක කැණීම් ඇරඹිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා ඒ ගැන පැවසුවේ මෙලෙසයි.

මුල්ම කැණීම් සහකාර කොමසාරිස්වරයා වූයේ ආචාර්ය ශිරාන් දැරණියගල. ඔහු කැණීම් සැලැස්මක් පිළියෙල කරනවා. එහි එක් පියවරක් තමයි පාහියංගල ලෙන් කැණීම්. 1986 දී මුලින්ම පාහියංගල කැණීම් ආරම්භ කරන කොට සහකාර කොමසාරිස් විදිහට හිටියේ ඩබ්ලිව්.එම්. විජේපාල මහතායි. ඔහු තමයි ආචාර්ය දැරණියගලගේ උපදෙස් මත පාහියංගල කැණීම් මෙහෙයවූයේ.

1986 සිට 88 දක්වා කැණීම් වාර කිහිපයක් කළා. අවුරුද්ද පුරාම කැණීම් කරන්නේ නෑ. මාසයක් විතර තමයි කැණීම් කරන්නේ. ඉතිරි කාලයේ කරන්නේ ලැබුණු ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම. කැණීම් කියන්නේ කිසියම් විනාශයක්. ඒ නිසා ඉතා සියුම්ව තමයි එය කළයුතු වන්නේ. කැණීමේ වැදගත්ම දේ තමයි, හදවත තමයි පස් තට්ටු අනුපිළිවෙල. ක්ෂේත්‍රයේ ඉන්න පුරාවිද්‍යාඥයා දැනගත යුතුයි පස් තට්ටු පෙළගැස්විය යුතු ආකාරය. කැණීමක් කරන්නේ පිහිටි පොළොව දක්වා පමණයි. පුරාවිද්‍යාඥයා අතීතය හදාරන්නේ පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය පදනම් කරගෙනයි. ඒවාට පුරාවස්තු කියල කියනවා. පිහිටි පොළොවෙන් පසු අපි කැණීම් කරන්නෙ නැහැ.

පස් තට්ටු පිළිවෙළට පෙළගස්වන විට පස් තට්ටු අවුල් වී ඇති අවස්ථා හමුවෙනවා. ඒක ලේසි නැහැ. එච්.ඩබ්ලිව්. විජේපාල මහතා පස් තට්ටු අනුව පාහියංලෙන කාල නිර්ණය කළා අවුරුදු 37,000 සිට 14,000 දක්වා කාලයකට අයත් බවට.

එලෙස පාහියංලෙන කැණීම්වලදී අදින් වසර 40,000කට එපිට දක්වා ජීවත් වූ නවීන මානවයාගේ (Homo Sapiens Sapiens) යැපීම් ක්‍රම, අභිචාර විධි, තාක්ෂණය පිළිබඳ සවිස්තරාත්මක ඇත්ත රාශියක් ලැබුණි. ඊටපසු 1986 කළ පාහියංලෙන කැණීමේ තොරතුරු වඩාත් නවීන තාක්ෂණය මත යාවත්කාලීන කිරීමට 2007දී යළිත් කැණීම් ඇරඹුණි. එම කැණීම් මෙහෙයවූයේ එවකට නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරාය. ඔහු තම කැණීම් අත්දැකීම් මෙසේ විස්තර කළේය.

මේ කැණීම්වලින් අපට අවස්ථාව ලැබුණා පාහියංලෙන ආදිම පස් තට්ටුව අදින් අවුරුදු 40,000කට කාල නිර්ණය කිරීමට. එහි පුරාණ ජනාවාසය අදින් අවුරුදු 47,000කට කාල නිර්ණය කිරීමට එහිදී හැකියාව ලැබුණා. මේ ස්ථානය දකුණු ආසියාවේ පැරණිම නවීන මානවයාගේ ජනාවාසය බවට අඟුරුවලින් කාල නිර්ණය කිරීමෙන් හෙළිවුණා.

එම කැණීම් තොරතුරු පදනම් කරගෙන තවත් විවිධ පර්යේෂකයන් පර්යේෂණ කරනවා. කැණීමක් කියන්නේ විශාල පිරිසකගේ සාමූහික උත්සාහයක්. මම කැණීම් අධ්‍යක්ෂ වුණා කියලා මට තනියම කැණීමක් කරන්න බැහැ. ඒක බහු විෂයයික ප්‍රවේශයක්. මම 2000 දී තමයි කැණීම් අංශයේ අධ්‍යක්ෂ වුණේ. මම දැනගත යුතුයි කැණීමට අවශ්‍ය මානව සම්පත්, මූල්‍ය සම්පත් තිබෙනවාද ඒවා යොදා ගැනීමෙන් කැණීම් කළ හැකිද යන්න. පාහියංගල පස් තට්ටු හඳුනා ගැනීමට ආර්.ඒ. ද මැල් කියන පුරාවිද්‍යා නිලධාරියාගේ සේවය අපි ලබාගත්තා. සමන් කුමාර ඇරූගම, සම්පත් ගුරුසිංහ, පාලිත වීරසිංහ යන අයගේ සේවයත් අපි එහිදී ලබාගත්තා. මම එහිදී විදේශීය ආයතන සමඟත් සම්බන්ධ වුණා. අපට සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට පහසුකම් නෑ. එක් විශ්ලේෂණයක් තිබෙනවා සතුන්ගේ දත්වලින් ඔවුන් කුමන ද්‍රව්‍ය ආහාරයට ගත්තාද කියලා හඳුනාගත හැකි. සියුම් පාංශු අධ්‍යයනය කියලා තවත් විශ්ලේෂණයක් තිබෙනවා. ගල් ලෙන නිර්මාණය වුණේ කෙසේද එහි පස් තට්ටු ඇතිවුණේ කෙසේද කියලා ඒ මගින් කළ හැකියි.

විවිධ පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කළද දකුණු ආසියාවේ පැරණිම නවීන මානවයන් ජීවත්වූයේ අපේ රටේ බව පාහියංගල ලෙන් කැණීම්වලින් හෙළි විය. ඒ අනුව දකුණු ආසියාවේ මුල්ම පදිංචිකාරයන් අපි බව පවසමින් ආඩම්බර විය හැකිය.

ආචාර්ය නිමල් පෙරේරා ආචාර්ය උපාධි පර්යේෂණය කළේ ඕස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයේය. එම පර්යේෂණ නිබන්ධය Pre Historic Sri Lanka – Late Pleistocene Rock Shelters and an open Air site නමින් කෘතියක් ලෙස පළ කෙරුණි. එම පොත කියවූ ඕස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයිකල් පැට්සාලේ පාහියංගල කැණීම් ද්‍රව්‍ය සියුම් විශ්ලේෂණයට එකතු විය.

මුලින්ම 1986දී කැණීමෙන් පස් තට්ටු හතරක් හඳුනාගන්නා ලද අතර ඒවා වඩාත් සියුම් විශ්ලේෂණයට ලක් කිරීමෙන් ස්තර අනූ ගණනක් දක්වා හඳුනා ගැනීමට ආචාර්ය නිමල් පෙරේරාගේ කැණීම්වලදී හැකියාව ලැබුණි. පරාග විශ්ලේෂණය, ක්ෂුද්‍ර ශිලා මෙවලම් අධ්‍යයනය, ශිලා මෙවලම් නිෂ්පාදන තාක්ෂණය, සත්ව අවශේෂ විශ්ලේෂණය මෙහිදී සිදුවිය.

කැණීමක් කියන්නේ විශ්වවිද්‍යාලයක ඒ.සී. කාමරයක පුටුවක් උඩ ඉන්නවා වගේ වැඩක් නෙවෙයි. මදුරුවෝ තලමින් පින්නට ලක්වෙමින් කරන වැඩක්. අපි කලබල වෙන්න හොඳ නෑ. කලබල වුණොත් දත්ත පැටලෙනවා. දත්ත විශ්ලේෂණය කරන්න ඕනෑ සියුම්ව. දැන් ඉන්න සමහර පුරාවිද්‍යාඥයො කරන දේවල් ගැන ලැජ්ජයි. ඔවුන් දත්ත හරියට අර්ථකථනය කරන්නෙ නැහැ. සමහරු සුරංගනා කතා මවනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විධිමත් කැණීම්වලින් ලද ප්‍රතිඵල නිසා තමයි අදත් ඒවායෙන් විවිධ පර්යේෂණ කළ හැකිව තිබෙන්නේ.

අස්ථි මෙවලම් පිළිබඳව පුරාවිද්‍යා කැණීම් රාශියකින් සාධක ලැබී තිබෙනවා. ඒවා විදීමට භාවිත කළ ඒවා. සත්ව ඇටකටු පලා ගල්වල අතුල්ලා උල් කරගෙන විවිධ කාර්යයන්වලට භාවිත කර තිබෙනවා. ඒක අලුත් සොයාගැනීමක් නොවෙයි. සමහර ඇටකටු තනි පැත්තේ උලක් සහිතව හෝ සමහර ඒවා පැති දෙකේම උල සහිතව ලැබි තිබෙනවා. 1956 බෙල්ලන්බැඳි පැලැස්ස කැණීම්වලින් පී.ඒ.පී. දැරණියගල මහතාට අස්ථි මෙවලම් ගණනාවක් හමුවුණා. ආචාර්ය නිමල් පෙරේරා වැඩිදුරටත් කීවේය.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03