රට පුරා දැනුම බෙදන “සෘජු සන්නිවේදන චන්ද්‍රිකාවක්” නාරාහේන්පිට මැනිං ටවුන් මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ ස්ථානගත කර තිබේ. ඉන් සිදුකෙරෙන්නේ දිවයිනේ සතරදිග්භාගයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට - ගුරු භවතුන්ට - සරසවි ඇදුරන්ට - මහැදුරන්ට - රාජ්‍ය නිලධාරීන්ට - රාජ්‍ය සේවකයන්ට - පරිපාලන නිලධාරීන්ට - පර්යේෂකයන්ට - කලාකරුවන්ට ඔවුනොවුන් අභිමත ඒ ඒ විෂයබද්ධ දැනුම - තොරතුරු බෙදාහදා දීමයි.
දැනුම ප්‍රාග්ධන සේ සැලකෙන ලෝකයක, තවමත් ‘සංවර්ධනය වෙමින් පවතින’ සීමාව පැන ගැනීමට නොහැකි රටකට මෙබඳු ‘සන්නිවේදන චන්ද්‍රිකාවක්’ හිමිවීම වූකලි මෙරට ශාස්ත්‍ර පිපාසිතයන්ගේ මහත් භාග්‍යයක් නොවේද? අනෙක තොරතුරු සන්නිවේදන යුගයක වෙසෙන ශාස්ත්‍රාභිලාෂීන්ට මෙවන් ‘චන්ද්‍රිකාවක්’ නැතිවම බැරිය. මේ වනවිට පරම්පරා තුනකට මෙම චන්ද්‍රිකාව නොමසුරුව තොරතුරු සම්පාදනය කර ඇත.
උක්ත හැඳින්වීම වූකලී, මහා සමුද්‍රයේ ජලකඳ සිය අත්ලට ගෙනහැර දැක්වූ අගස්ති සෘෂිවරයා මෙන්, ‘විශ්ව ඥාන සම්භාරය’ දෝතට ගෙන හුදී ජනයාට බෙදා දෙන්නා වූ අපේ සන්නිවේදන සත්පුරුෂයා වන කලාකීර්ති රෝහණප්‍රදීප ආචාර්ය කරුණාරත්න විජයතුංග එඩ්වින් ආරියදාසයන් පිළිබඳවය.
ශ්‍රී ලංකාවේ අසහාය සන්නිවේදන අධ්‍යාපනඥයා ලෙසද - සන්නිවේදන සත්පුරුෂයා ලෙසද - සන්නිවේදන සම්පත්දායකයා ලෙසද ඔහු ප්‍රකටය. එකවිට රූපවාහිනියෙන් දැක ගන්නටත්, ගුවන්විදුලියෙන් අසාගන්නටත් - පත්තරයෙන් කියවා ගන්නටත් ලැබෙන්නේ එබැවිනි. ඔහුගේ අනෙක් විශේෂය වන්නේ අනාගතවාදී බවයි. ඔහු පරිසරය සහ පරිසර විද්‍යාව ගැන ‘නවයුගයෙන්’ කතා කළේ ලෝක පරිසර අර්බුදය හටගන්නටත් කලින් බව මගේ මතකයයි. ඔහු රූපවාහිනී තාක්ෂණය ගැන ලිව්වේ අප රූපවාහිනිය ලැබෙන්නටත් බොහෝ කලිනි. ඔහු අජටාකාශ විද්‍යාව ගැන ලියන්නේ අප ඒ ගැන සිහින දකින්නටත් පෙරාතුවය. න්‍යාෂ්ටික අවිහරණය බලශක්ති අර්බුදය - සමුද්‍රජීව විද්‍යාව - පරිගණක විද්‍යාව ඔහු ඉසිවර දෑසින් ලියූ දේ බඳුය. නාසා ආයතනයෙන් ශ්‍රී ලංකාවට එවන එකම පර්යේෂණ කෘතිය ලැබුණේ ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ට නම්, එහි දැනුම ඔහු පුවත්පත - ගුවන්විදුලිය - රූපවාහිනිය - සාකාච්ඡා - සම්මන්ත්‍රණ ඔස්සේ මුළු මහත් පාඨක - ශ්‍රාවක - ප්‍රේක්ෂක හැමදෙනා වෙතම විසිර යනු නිසැකය. ඔහු සැබවින්ම ජාතියට දැනුම බෙදාදෙන දවස් තුන්සිය හැට පහේදිම සතර මහ වාසල් ඇර තබන දන්සලකි. කිසිවක් පෙරළා නොඉල්ලන මල් සමඟ - ඵල සම්පත මෙන්ම සෙවණත් සලසන මහා නුග රුකකි.
සර් අයිවර් ජෙනිංග්සේ කොළඹ විශ්වවිද්‍යාලයට අවතීර්ණව, මහාචාර්ය E.F.C. ලුඩොවයික්ගෙන් ඉංග්‍රීසි උගෙන විශ්ව දැනුම ලැබූ ඔහු සැබෑ ‘හර - මානිස්’ කෙනෙකි. එදා සංකර ගතියට මුල් තැන දුන්, විශ්වවිද්‍යාල මහේසාකය්‍යන් ගමෙන් ආ බයියන්ට පරිභව කළේ ‘හරමානිස්’ යන වදනිනි. මා නම් කියන්නේ ඒ තුප්පහියන් අපේකමට කෙළගැසූ ‘හර-මනසක්’ නැති පුස්සන් පිරිසක් බවයි. ඒ නමුත් උගත් ඉංගිරිසිය කටු ඔටුන්නක් කර නොගත් ආරියදාසයන්, Plain Living – High Thinking තේමාව කොටගත් ප්‍රාඥයෙකි. එදා ‘විරාජමාන’ වූ ඒ පුස්සන් අද කෝ? ඔවුන් ගැන කතා කරන්නේ කවුද? අගය කරන්නේ කවුද? ඔවුන් ‘ඉහළට’ ගොස් හරිහම්බ කරගෙන සතා සීපාවා මෙන් කා බී කම්සැප විඳ කම්වූ පරිද්දෙන් මියැදෙන්නට ඇත. ඇතැම්විට අදත් අතපය වාරු නැතිව කය මනස දිරාපත්ව රුකඩ මෙන් ජීවත්ව සිටින්නට වුවද පුළුවන. එහෙත් එදා හර මනසක් තිබුණු එඩ්වින් ආරියදාස සුධීමත්හු 98 වැනි වසරට එළඹ සද්කීර්තිමත් සදාදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියකුව අපමණ බුහුමනට පාත්‍ර වෙති.
මේ ප්‍රාඥයා අදත් සිය විදුණැනින් අපරදිග සංස්කෘතියෙන් ගත යුතු හරය පෙරදිගට ප්‍රදානය කරයි. අපගේ සංස්කෘතියේ සාරාර්ථ සිංහල නොදත් අපරදිගුවන්ට ප්‍රදානය කරයි. ඒ අරභයා ඔහු විසින් කරන ලද අනර්ඝ ග්‍රන්ථ රත්නයක් වෙයි. ඒ Tresury Of Truth – Illustrated Dhammapada නමින් පළකළ ධම්මපද පරිවර්තයනයි. වේරගොඩ සාරද යතිවරයාණන් හා එක්ව කළ මේ කෘතියට ධම්මපදයේ වග්ග 26ම, උච්චාරණ විධි නියම ඇතිව ඉංගිරිසි අක්ෂරයෙන් පාලි පෙළ - අර්ථය ඉංග්‍රීසි පැදියෙන් - නිධාන කථාව හා විවරණය සම්පූර්ණ පුළුල් පිටුවක ගාථාවේ අර්ථ පිළිබිඹු කෙරෙන, චිත්‍ර ශිල්පි පී. වික්‍රමනායකගේ දාර්ශනික වර්ණ චිත්‍රයක් ද අන්තර්ගත වෙයි. සෙන්ටිමීටර් 30 x 22 ප්‍රමාණයේ පිටු 900කි.
මේ වූ කලී දඹදෙණි යුගයේ දි ජාතික පොත් වහන්සේ මඟුල් ඇතු පිට තබා බුහුමන් පිදුවාක් මෙන්, නූතන යුගයේදී බුහුමන් දැක්විය යුතු මහාර්ඝ සද්ධර්ම ප්‍රධානයකි. ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ ධර්මාවබෝධයේත් - ප්‍රඥාපාටවයේත් භාෂාපාටවයේත් මහිමයට මෙය කදිම නිදර්ශනයකි. මෙම ධර්ම ශාස්ත්‍ර දානයට ඔහුට බුද්ධරත්නයේ පරම ආශිර්වාදයම ප්‍රමාණවත් බව මගේ විශ්වාසයයි.
අධිකරණ ශාලාවක විනිශ්චයාසනය අරා සිටින විනිශ්චයකාරවරයකු හෝ පාර්ලිමේන්තුවේ කතානායකවරයකු සුදු කෙසින් පළඳනාවක් හිසින් දරා සිටී. ඉන් සංකේතවත් වන්නේ පරිණතභාවයයි, බුද්ධි පරිපාකයයි, සංයතභාවයයි, විනයගරුකභාවයයි, අපක්ෂපාතීත්වයයි.
පූර්වෝක්ත සියලු ගුණාංගයන්ගෙන් සැදුම් ලත් ආරියදාස සුධීන්ගේ ජීවිත මහිමයෙන්ම සුදෝ සුදු හිස කෙසින් යුතු නිත්‍ය හිස් පළඳනාවක් හිමි වී ඇත්තේ කිරුළකට වඩා එය ඔහුට බුහුමනක් වන බැවිනි.
තිලකරත්න කුරුවිටබණ්ඩාර