2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කට කතා මැද විසිහයදාහ පැන්නූ ලංකාවේ කොවිඩ් මීටරය

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

කොවිඩ් වෛරසය හේතුවෙන් මේ වන විට රටම එක කොවිඩ් පොකුරක් වී හමාරය. දිනකට එකා දෙන්නාගෙන් පටන්ගත් ආසාදිතයන් දැන් දිනකට 800ත් ඉක්මවා වාර්තා වේ. මෙතෙක් කල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වශයෙන් ආසාදිතයන් සොයාගත්තත් දැන් දැන් සමාජයෙන් අහඹු ලෙස ද කොවිඩ් රෝගීන් හමුවන්නට පටන්ගෙන තිබේ. ඒ නිසා දැන් රටම එකම කොවිඩ් පොකුරක් වී තිබේ.

මේ අතරින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටය. එයිනුත් කොළඹ විශේෂය. දැන් කොළඹ ආයතන පුරාවට පැතිරෙන කොවිඩ් වෛරසය නිසා ආයතනවල සේවය කරන සේවකයන්ගේ පවා ජීවිත අවදානමකය. එහෙත් ආයතන වසා දමා පිළිතුරු සොයාගැනීමේ හැකියාවක් නැත. එයට හේතුව නම් මේ වසර පුරාම ඇතිවූ ආර්ථික අර්බුදයයි. එනිසා කොවිඩ් මැද වුවත් ආයතන ඉදිරියට රුගෙන යාමේ අභියෝගය කොළඹ පිහිටි සියලුම ආයතන හමුවේ පවතී. එය කෙතරම් අවදානමක් වුවත් ඊට එහා විසඳුමක් එකී ආයතනවලට නොමැත.

කොළඹ ආයතන

මේ වන විට කොළඹ මහ නගර සභාව තුළ පමණක් එහි සේවය කරන සේවකයන් 45කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇත. ඒ සියල්ල සිදුවන්නේ අහඹු PCR පරීක්ෂණ හරහාය. එනිසා බොහෝ ආයතනවල සිදු කරන අහඹු පී.සී.ආර්. පරීක්ෂණ හේතුවෙන් එක් අයකු හෝ කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. එබැවින් කොළඹ නගරයේ අවදානම් ප්‍රදේශවල පවත්වාගෙන යන ආයතනවල අඩුම තරමින් පී.සී.ආර්. පරීක්ෂණ 100ක් හෝ සිදුකර රෝගීන් හඳුනා ගත යුතුය. එනම් කොළඹ නිසා නොව ඒ ආයතනවල සේවකයන් දිනපතා හෝ සතිපතා කොළඹින් තම ගම්රටවල් බලා පිටත් වන නිසාය. ඒ හරහා අඩුම තරමින් අනෙකුත් පළාත් හෝ ආරක්ෂා වනු ඇත.

බස් මගීන්ට PCR

මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අලුත් වැඩක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්වය. එනම් බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අහඹුව පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමය. එය ඉතාම සාර්ථක වැඩක් බව කිව යුතුමය. එවිට සැබවින්ම මේ රෝගය කෙතරම් සමාජගත වී ඇතිද යන්න තීරණය කළ හැක. එහෙත් එය කවදා ආරම්භ වන්නේද යන්න තවම තොරතුරක් නැත. එහෙත් ඉක්මනින් ආරම්භ වනවා නම් ඉතාම යහපත් වනු ඇත.

අටලුගම අවුල

මේ අතර වර්තමානයේ ලොකුම ප්‍රශ්නය පවතින්නේ කළුතර අටලුගම ග්‍රාමය තුළය. එය කෙතරම් බරපතළ ද යත් තවමත් එම ග්‍රාමයේ කොවිඩ් රෝගීන් ගණන නිශ්චිතව හඳුනා ගැනීමේ හැකියාවක් නැත. හේතුව නම් ඔවුන් සෞඛ්‍ය අංශ වෙත PCR පරීක්ෂණ සිදු කරන්නට ඉඩ නොදිමය. කෙසේ වෙතත් පසුගියදා ඉතාම අප්‍රසන්න සිදුවීමක් අටළුගමින් වාර්තා විය. එනම් එහි රාජකාරි කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිලධාරියකුට තර්ජනය කර ඔහු ගමන් ගත් වාහනය තුළට කෙළ ගැසීමය. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට සිදු කළ බාධාවකට වඩා අපහාසයක් ලෙස දැක්විය හැක. හේතුව නම් ඔවුන් කරන සේවයට කෙළ නොව මල් ඉසිය යුතු බැවිනි. කෙනකුගේ දෙන්නකුගේ මුග්ධකම අද වන විට සමස්ත මානව ප්‍රජාවටම නින්දා සහගත සිද්ධියකි.

අටලුගම ප්‍රදේශයේ ජනතාවගේ හිතුවක්කාර වැඩපිළිවෙළ නිසා දැනටමත් මහජන පරීක්ෂකවරුන් එම ප්‍රදේශයේ රාජකාරි කිරීම අත්හැර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ එම ප්‍රදේශය තුළ මුස්ලිම් ගම්මානයක් හේතුවෙන් යම් ගැටලුවක් ඇති වුවහොත් එය ජාතිවාදී ගැටලුවක් කරා යනු ඇති බවය. එනිසා අනවශ්‍ය ගැටුම් ඇති නොවන පරිදි  රජය හෝ එම ප්‍රදේශයේ දේවස්ථාන පූජකවරුන් මැදිහත් විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. එහෙත් කනගාටුව නම් කිසිවකු ඒ සඳහා සහාය ලබා නොදීමය. එබැවින් එම ප්‍රදේශයේ PCR  සිදු කිරීම මහජන පරීක්ෂකවරුන් නවතා දමා තිබේ.

අටලුගම ජනතාවගේ හිතුවක්කාර හැසිරීම සම්බන්ධයෙන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ තවදුරටත් එම ජනතාව සහාය ලබා නොදුනහොත් කොවිඩ් වෛරසය සුව වනතුරුම එම ප්‍රදේශය වසා තැබීමට සිදුවන බවය. ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියා සඳහා ඉඩ ලබා නොදිය හැකි බවත් ඔහු කීය. එහෙත් පුදුමය නම් තවමත් අටළුගම ජනතාව සෞඛ්‍ය අංශ වෙත සැබෑ තොරතුරු ලබා නොදීමය.

මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ ඔවුන්ගේ ආගමට අනුව මළසිරුරු භූමදානය නොකර ආදාහනය කිරීම සිදුවන නිසා මේ අනවශ්‍ය බිය මෙම පිරිස විසින් හදාගෙන ඇති බවය. එනිසා ඔවුන් කොවිඩ් රෝගියකු ලෙස සිතීම පවා ප්‍රශ්නයක් වී ඇති බව ලැබෙන ආරංචි මාර්ග අනුව සඳහන් වේ. මේ ප්‍රශ්නය විසදා ගත හැක්කේ ඔවුන්ගේ පල්ලිය තුළින් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

හොර වෙද්දු

මේ අතර තවත් කූට ජාවාරමක් මේ කොවිඩ් වෛරසයට සමගාමීව සිදුවෙමින් තිබේ. එනම් විවිධ දේශීය වෛද්‍යවරුන් බව කියාගන්නා උදවියගේ දේශීය බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය තුළ සංසරණය කිරීමය. දීර්ඝ ඖෂධ ලැයිස්තු එහා මෙහා කරමින් ඒවා පානය කළහොත් කොවිඩ්වලින් ආරක්ෂා විය හැකි බව ඔවුහු පවසති. පුදුමය නම් ඒවායේ ගණන් හිලව්ද අසන අය සිටීමය. එනිසා විශේෂයෙන් සඳහන් කළ යුත්තේ දේශීය බෙහෙත් පානය කරන්නේ නම් කාගේ හෝ වෛද්‍ය උපදේශවලින් තොරව සමාජ මාධ්‍යවල සංසරණය වන බෙහෙත් වට්ටෝරු අත්හදා නොබලන ලෙසය. යම් හෙයකින් ඒවා පානය කර වෙනත් රෝගයක් ඉස්මතු වුවහොත් එහි භයානක ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බැවිනි.

එපමණක් නොව තවත් චෞර කට්ටඩියන් තෙල් පවා මිනිසුන්ට දෙන්නේ ඒ හරහා කොරෝනා වෛරසයෙන් බේරිය හැකි බව දන්වමිනි. මෙය කියවන බුද්ධිමත් පාඨකයන් එවැනි ලණු නොකන පිරිසක් වීම අවශ්‍යය.

ගම්පහ නැවත හිස ඔසවයි

ගම්පහ ප්‍රදේශය පසුගිය කාලයේ කොවිඩ් වසංගතයේ මව් ප්‍රදේශය බවට පත්විය. චීනයේ වූහාන් හා සමානවය. බ්‍රුන්ඩික්ස්, පෑලියගොඩ, වත්තල, වැලිසර ආදී සියලු පොකුරු ආරම්භ වූයේ ගම්පහ ප්‍රදේශය හරහාය. එහෙයින් විශාල වශයෙන් රෝගීන් වාර්තා වුණු අතර පසුගිය සතියේ එහි අඩුවක් දකින්නට හැකිවිය. එහෙත් පුදුමය නම් පසුගිය දින කිහිපයේ සිට රෝගීන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමය. ඒ අතරට පසුගියදා බඩල්ගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ද එක්විය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් තවදුරටත් සිදු වුවහොත් තත්ත්වය බරපතළ වෙතැයි සෞඛ්‍ය අංශ පවා පෙන්වා දෙයි. එහෙත් ජනතාව නම් තවම ඒ ගැන කිසිදු මායිමක් නොකරන බව පෙනේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ 26,000කට එහා රෝගීන් වාර්තා වී ඇත. එයිනුත් 15,000ක් පමණ කොළඹ, පෑලියගොඩ පොකුරෙන් වාර්තා වී තිබේ. මේ අතර මරණ කාටත් හොරා සියය පැන ගොස් ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ලංකාවේ ජනගහනය අනුව වෛරස ව්‍යප්තිය වැඩිය. එසේම රෝගීන් හමුවීමද වැඩිය. සමාජය පුරා පැතිරීම ඉතාම බරපතළ තත්ත්වයක තිබේ. එහෙත් අපි තවමත් රෝගයට හොයාගත් පැණියක් අල්ලා ගනිමින් දෙපැත්තට බෙදී මරා ගනිමින් සිටිමු. ලෝකය තරගකාරී ලෙස මේ සඳහා ප්‍රතිකාර සොයන අතරතුර අපි තෙල් බෙහෙත්කාරයන්ගේ ලණු කා දුක් විඳිමින් සිටිමු. පුදුමය නම් මේ රටේ වෛරස සම්බන්ධයෙන් විශේෂඥයන් වූ මහාචාර්ය තිස්ස විතාරණ වැනි විද්වතුන් මේ සියල්ලෙන් ඈත්කර තැබීමය. එය අපේ කරුමය ද අනාගතයේ කරුමය ද යන්න සිතාගත නොහැක.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04