2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

වෛද්‍ය සභාව කනපිට ගැසීම

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

වසර 90කට වැඩි සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ඉකුත් සතියේ හටගත්තේ ආන්දෝලනාත්මක පෙරළියකි. විද්වත් වෘත්තිකයන්ගේ කීර්තිමත් ස්වාධීන ආයතනයක් වූ එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හතර දෙනෙකු  ඉවත්කර සෞඛ්‍ය ඇමැතිවරිය නව සභාපතිවරයෙක් නම් කිරීමත් සමඟ මේ පෙරළිය සිදුවිය. සමහර විද්වතුන් මේ හෙයියම්මාරුව අර්ථකතනය කරන්නේ ජනහිත සුව පිණිස නොව තම හිතසුව පිණිස සිදුකළ දේශපාලනික ඉත්තන් ඇදීමක් හැටියටය.

ඇමැතිවරියගේ මේ ක්‍රියාන්විතය හදිසියේ පණ ගැන්වූවක් නොවේ කරුණු සොයා යන කෙනෙකුට එය අඩු තරමේ මෙයට වසර 4-5කට එපිට සිට පණගැහෙන බල හෙයියම්මාරුවක වර්තමාන ප්‍රතිඵලය ලෙස කරුණු ඉදිරිපත්වනු ඇත.
1924 වසරේ වෛද්‍ය ආඥා පනත යටතේ පිහිට වූ පොදුජන යහපත සඳහා වූ වෛද්‍ය වෘත්තිමය උපදේශන සහ නියාමන කටයුතු භාර රෝගීන්ගේ අයිතිවාසිකම් සොයාබැලීම උදෙසා ක්‍රියාත්මක ආයතනයක් ලෙස හැඳින්විය හැකි මෙහි ස්වාධීන මෙහෙයුම් පථයට අයත් ප්‍රධාන වගකීම් 3ක් දැක්විය හැකිය.

ඉන් මුල් තැන ගන්නේ ප්‍රමිතිය උසස් වෛද්‍ය සේවාවක් තහවුරු කිරීම උදෙසා මෙරට සහ නොරට සුදුසුකම් සහිත වෛද්‍ය පීඨ ලියාපදිංචි කිරීමය. ඒ සඳහා ඇමතිවරයාට උපදෙස් දීමය.

දෙවැන්න එබඳු වෛද්‍ය පීඨවලින් පිටව එන පිරිසගේ සුදුසුකම් පරීක්ෂාකර ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමය. මේ කාරණා 2න්ම ඉහළ ප්‍රමිතියකින් යුතු වෛද්‍ය සේවාවක් රෝගීන්ට ලැබීම තහවුරු කරයි. තෙවැනි වගකීම රෝගී ප්‍රතිකාර සේවාවන් නියාමනය කිරීමය. රෝගීන්ගේ පැමිණිලි මත වෛද්‍යවරුන්ගේ ලයිසන් කැන්සල් කර දමන්නේ මේ බලය මතය. මෙබඳු ස්වාධීනත්වයක් ගාම්භීර බලයක් හිමි ආයතනයේ සභාපතිවරයා පත්වන්නේ ඒ වනවිට සිටින ‍සෞඛ්‍ය ඇමතිවරයාගේ අනුමැතිය යටතේය. නමුත් එය ස්වාධීන තනතුරකි. පසුගිය වසර 96ක කාලය තුළ එයට බලපෑම් එල්ල වූයේ නැත. එතෙක් දේශපාලනීකරණය නොවූ මේ පත්වීමටද අනවශ්‍ය  බලපෑම් එල්ලවන්නට වූයේ පසුගිය වසර 5ක පමණ කාලයේදීය.

මෙහි සභාපති තනතුර වසර 5ක කාලයකට බලපැවැත්වෙන එකකි. විෂය බාර අමාත්‍යවරයා පත්වීම ලබාදුන් පසු සභාපති ඉල්ලා අස්වුණොත් මිස ඔහු හෝ ඇය ඉවත් කරන්නට ප්‍රතිපාදන පනත තුළ නැත. මේ නිසා වසර 5ක් සිය ධුරයේ සිට ස්වාධීන තීන්දු ගැනීමට සභාපතිවරයාට හැකිය. එය ඒකාධිපති බලයක් බඳුය. නමුත් පසුගිය කාලයේ වසර හතරහමාරක කාලය තුළ සභාපතිවරුන් හතර දෙනෙකු වරින්වර පත්කළ වැරුදි පූර්වාදර්ශයක් ලැබී තිබුණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විද්වතාණන් පවා මේ තනතුරට පැමිණ මාස 6කට වඩා ගත කළේ නැත. ඒ දේශපාලන බලපෑම්වලට හිස නමන්නට අකමැති වූ නිසාය. ඒ පත්වීම් පෝලිම අවසන් වූයේ දැන් වත්මන් සෞඛ්‍ය ඇමතිනිය ඉවත් කරන්නට යෙදුණු සභාපතිවරයා පත්වීමත් සමගිනි. මේ සභාපතිවරයා සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන පසුගිය කාලයේ අසන්නට ලැබුණි. ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලුද මතුව තිබුණි. මේ නිසාම ඔහු ඉවත්කළ යුතුය යන බලවේගයක් ඉස්මතුව ආවේය. ඔහුට එරෙහි චෝදනා පත්‍ර අලුතෙන් පත්වූ ඇමැතිනිය වෙතද ළඟාවූ අතර ඇය මේ ගැන සොයාබලා උපදෙස් දෙන්නට යැයි කමිටුවක් පත්කළාය. ඒ කමිටු උපදෙස් ලැබුණෙ මීට සති 2ට පමණ පෙරදීය. අලුත් සභාපතිවරයෙක් නම් කිරීමට ඇය පියවර ගත්තේ ඒ අනුවය.

නමුත් ඇමැතිවරියගේ මේ කමිටුව ගැනත් එහි සංයුතිය ගැනත් බොහෝ විවේචන එල්ලවෙමින් පවතියි. සමහරු කියන්නේ එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් කියාය. මේ කමිටුවේ නුසුදුසු බව පිළිබඳ සිය මතය ඉදිරිපත්කර ඇති ප්‍රබලම විද්වත් වෘත්තික කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයයි. එම සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය අසෝක ගුණරත්න සිය සංගමයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කළේය.

“මේ ඇමැති කමිටුව ගැන අපිට ගැටලු තිබෙනවා. ඉවත් කළ සභාපතිවරයාට එරෙහිව චෝදනා ගොනුකළ ප්‍රධාන පාර්ශ්වයක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයයි. එතකොට ඇමැතිවරිය පත්කළ ස්වාධීන විය යුතු කමිටුවේත් එම සංගමයේ නියෝජිතයන් සිටිනවා. මේක වැරදියි. මෙතැනදී චූදිතයාම - විනිසුරු බවට පත්වෙලා. ඒක අසාධාරණයි. අපේ විරෝධය ඒ ගැනයි. සභාපතිවරයාට එරෙහිව චෝදනා  ඇත්නම් ඒවා සොයාබැලිය යුත්තේ අපක්ෂපාති වෘත්තිමය මට්ටමේ ස්වාධීන කමිටුවක් මගිනුයි. අපි ඉල්ලා හිටියා මෙ කමිටුවට වෛද්‍යවරුන්ව විතරක් නොව හිටපු විනිසුරුවරයෙක්, රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වගේ ස්වාධීන පත්වීම් කරන්න කියලා. නමුත් එහෙම වුණේ නෑ. ඒ වෙනුවට ඔවුන්ම චෝදනා ගොනුකරලා ඔවුන්ම නඩු අහලා ඔවුන්ට අවශ්‍ය කෙනෙක් පත්කර ගත්තා වගේ වැඩක් වුණේ. ඒ වගේම වෛද්‍ය සභාව කියන්නේ එකමුතු තීරණ ගන්නා පොදුවේ ක්‍රියාත්මක ආයතනයක්. එතකොට ඇයි මේ සභාපති ඇතුළු සාමාජිකයන් කිහිපදෙනෙක් විතරක් ඉවත් කරන්නේ. වැරදිනම් මේ හැමෝම ඒ තීරණ සඳහා වගකිව යුතුයි නේද? එහෙම බලනකොට මේ තීන්දු ගැනීමේ පරස්පර බවක් පෙනෙනවා නේද? මේ නිසා වෛද්‍ය සභාවට අයුතු පූර්වාදර්ශයක් ලැබුණා. වෘත්තිය සමීතියකට එහි බලය ඩැහැගන්න ලැබුණා. එහි ස්වාධීන බව නැතිවුණා. කාලාන්තරයක් තිස්සේ රුකගත් කීර්තියට හානිවුණා. අපි කියන්නේ පරීක්ෂණ පැවත්වීම වැරදියි කියලා නොවේ. පරීක්ෂණය හරියට කරන්න. විනිවිද භාවයෙන් යුතු අපක්ෂපාත නියෝජනයක් සහිත කමිටුවක් මගින් සිදුකරන්න කියන එකයි.

ඒ වගේම වෛද්‍ය සභාවේ  සංයුතිය ව්‍යුහය වෙනස් විය යුතුය කියන ස්ථාවරයේ තමා අපි ඉන්නේ. මේක පොදු ජන යහපත රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් ඇති  ආයතනයක්. මේ නිසා විවිධ විද්වත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පිරිසක් මෙහි මූලික කමිටුවට ඇතුළත් විය යුතුයි. අපි දැන් වෙනම විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ලියාපදිංචිය ලබාගෙන තිබෙනවා. මේ නිසා ඒ නියෝජනයත් තිබීම වැදගත්.”

වෛද්‍ය වෘත්තිය සමිතියක් හැටියට කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පෙරුළිකාර සිදුවීමේ මූලික කැරලිකාර කණ්ඩායමයි. මෙහිදී සිය සංගමය ගෙනගිය අරගලය සාධාරණ බව අපට පෙන්වා දුන්නේ එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේය. ඔවුන් කියන්නේ මේ තීන්දුව සහ පත්වීම නිවැරුදි බවයි.

“තමන්ට කැමති හිතවත් පිරිස වෛද්‍ය සභාවට පත්කළ, පසුගිය රාජිත යුගයේ අන්තිමට පැමිණි හිටපු සභාපතිවරයාට චෝදනා ගණනාවක්ම තිබුණා. ප්‍රධාන කාරණාවක් තමා මූලික සුදුසුකම් නැති, ඒ කීවේ උසස් පෙළවත් නැති පිටරට විශ්වවිද්‍යාලවලින් පැමිණි උදවිය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම. මේක කලින් සිට තිබූ විෂමතාවක් මේ සභාපතිගේ කාලෙත් ඒක එහෙමම වුණා. අපි ලැයිස්තු ඉදිරිපත්කර පෙන්වා දුන්නා. මූලික සුදුසු කම් සපුරා නැති 98 දෙනෙක් උන්නා. ඒ අතරින් 7 දෙනෙක් උසස් පෙළ වැඩ 3ම ෆේල් අය. තවත් 7ක් උසස් පෙළ ලියලාවත් නෑ. තවත් හතරක් හිටියා විශ්වවිද්‍යාල කිහිපයකට ගිහින් කොටස් වශයේන් උපාධිය කළ අය. අවම ප්‍රමිතිය හැටියට ආපු සි 2 එස් 1 නැති අය 98න් 45ක් හිටියා. අපි ඒ ගැන පෙන්වා දුන්නත් නිසි පියවරක් ගත්තේ නෑ.

දෙවනුව මේ සුදුසුකම් සියල්ල සහිතව පිටරට උපාධි අරගෙන ලංකාවට ආ වෛද්‍යවරුන්ට විවිධ පෞද්ගලික එදිරිවාදිකම් මත ඔවුන්ට මෙරට සේවයට බාධාවන පරිදි ඒ අයට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර ලබාදෙන විභාගය පැවැත්වීම වරින්වර විවිධ හේතු දක්වමින් කල් දමන්නට කටයුතු කර තිබුණා.

තුන්වැනි හේතුව කාටත් මතක ඇති රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික කැළඹීමකට පවා හේතුවිය හැකි ලෙස සිදුකළ ඇතැම් විදේශ විද්‍යාල උපාධි තහනම් කිරීම. ඒ සඳහා ඇමතිවරියට උපදෙස් ලබාදීම. මතකනේ ලුලුම්බා සරසවියත් තහනම් කළානේ. මේ ගැන ඇහුවාම පසුව කිව්වේ අත්වැරැදීමකින් එම ඉවත්වීම සිදුවුණා කියලායි. වෛද්‍ය සභාව වගේ තැනක සභාපතිට එහෙම අත්වැරැදීම් වෙන්න පුළුවන්ද? එදා තමා වෛද්‍ය සභාවේ වසර 96කට ආසන්න කීර්තිනාමය විනාශ වුණේ.
හතරවෙනුව වෛද්‍ය සභාවේ බලය අයුතු ලෙස අවභාවිතා කර තමන්ට මෙල්ල නොවන වෛද්‍යවරු දඩයම් කිරීම. මේ නිසා රෝගීන්ට ඇත්තටම සිදුවූ අසාධාරණ ගැන සොයා බලන්නට තිබූ අවස්ථාවත් නැතිව ගියා.

පස්වෙනුව වෛද්‍ය සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්දය ඇමති බලය භාවිතා කරලා කල් දැම්මා. වත්මන් ඇමතිනිය බලයට ආපසු වෛද්‍ය සභාවේ ඡන්දය පවත්වන ලෙස ඉල්ලා සිටියත් ඒ අවස්ථාවනුත් කල්දමමින් මඟහැරියා. මේ නිසා වෛද්‍ය සභාවේ සංයුතිය අවුල්වුණා. ඒකපාර්ශ්වීයව සභාපතිවරයාට හිතවාදීව කටයුතු කරන කණ්ඩායමක් සමග හිතුමතේ වැඩකළ හැකි පරිසරයක් ඇති වුණා. මේ නිසා වෛද්‍ය සභාවේ කාර්යක්ෂමතාවයවත් නැතිව ගියා. මේ පැමිණිලි 5ම අපි  දිගමට ප්‍රශ්න කළා. එළිදරව්කළා බැරිම තැන අලුත් ඇමතිනියට පැමිණිලි කළා. අපි විතරක් නොවේ තවත් මහජන සංගම්, අගතියට පත්වූ වෛද්‍ය සිසු මාපිය සංගම් චෝදනා ගොනුකර තිබුණා. මේ ගැන සොයන්න කමිටුවක් පත්කරන්නෙ ඒ අනුවයි. දැන් අලුත් සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. වෛද්‍ය මහාවාර්ය වජිර දිසානායක. ඔහු හොඳ වාර්තා ඇති මහත්මයෙක්. අපි සංගමයක් හැටියට ඔහුට සුබ පතනවා. ඉදිරියේදී මේ අක්‍රමිකතා ඉවත්කර වෛද්‍ය සභාවේ කීර්තිය නැවත ළඟාකර ගන්නට හැකිවේවායි පතනවා.

 සුගත් පී. කුලතුංගආරච්චි