2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

තිස්සමහාරාමයේ ඕකිඩ් වවා කප්ගැසූ චන්ද්‍රිකා

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 267

නුවර එළිය, බණ්ඩාරවෙල වැනි ශීත දේශගුණයේ වැඩෙන ඩෙන්ඩ්‍රෝබියන් ඇතුළු ඕකිඩ් ප්‍ර‍භේද රැසක් සහිත මහා පරිමාණ ඕකිඩ් වගාවක් අති දුෂ්කර තිස්සමහාරාම ඇල්ලගල වැනි ප්‍රදේශයක වගා කරමින් සිය ජීවිතය දිනූ දිරිය කතක් පිළිබඳ පුවතක් පසුගිය දින අපට තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයෙන් වාර්තා වීය. සැමියා ගෙනත් දෙන යමක් උයා පිහා කා කුසීත කමින් දිවි ගෙවීම වෙනුවට නිවසේ ආර්ථිකයට ශක්තියක් වු මෙම දිරිය කත මුළු මහත් කාන්තා පරපුරටම මහත් ආදර්ශයක් සපයා තිබේ. ඒ නිසාම මේ පිළිබඳව රටට කියන්නට අප ඇය සොයා තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයට ගියෙමු.

ඇය නමින් ජේ.එච්. චන්ද්‍රිකා ශාන්තිය. දරුවන් තිදෙනෙකුගේ මවකි. අද වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති විශාලතම ඕකිඩ් වගාවට හිමිකම් කියන්නේද චන්ද්‍රිකා මහත්මියම වීම විශේෂත්වයකි. නිවසේ ආර්ථිකය සරුකර ගැනීම සඳහා සිය සැමියාට ශක්තියක් වීමට තීරණය කළ චන්ද්‍රිකා මහත්මිය මිට වසර 15කට පෙර ඉතා කුඩාවට මෙම ඕකිඩ් මල් වගාව ආරම්භ කර තිබේ. ඇය මෙම ඕකිඩ් මල් වගාව ආරම්භ කළ මුල් කාලයේදී විවිධ කෘෂි කර්ම නිලධාරීන් හා මල් වගා කරුවන්ද මුණ ගැසී ඕකිඩ් වගාව පිළිබදව උපදෙස් පතා ඇතත් බොහෝ දෙනෙකුගෙන් චන්ද්‍රිකාට ලැබී තිබුණේ නම් එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නොවේ. බොහෝ දෙනෙකු චන්ද්‍රිකා මහත්මියට පවසා තිබුණේ ශීත දේශගුණයේ වැඩෙන ඕකිඩ් මේ කාෂ්ඨක අව්ව තියෙන තිස්සමහාරාමයේ වගාකළ නොහැකි බවයි. නමුත් චන්ද්‍රිකා මහත්මියගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ ඕකිඩ් වගාවෙන් සිය ජීවිතය ජය ගැනීමය. මුලින්ම චන්ද්‍රිකා මහත්මිය ගෙනවිත් රෝපණය කළ ඕකිඩ් පැළ විවිධ දිලීර රෝග හේතුවෙන් විනාශ වී ගියේය. එහෙත් උත්සාහය අත්නොහළ චන්ද්‍රිකා මහත්මිය නොපසුබට වීර්යයෙන් යුතුව මෙම අභියෝගය ජයගත යුතුය යන පරම අධිෂ්ඨානය ඇතිව ආරම්භ කළ මල් වගාව කෙසේ හෝ කරගෙන යා යුතු බවට තීරණය කළාය. ඇය විවිධ අත්හදා බැලිම් ඔස්සේ ඔක්ඩ් වගාව සිදුකරන්නට විය. ශීත දේශගුණයේ පමණක් පහසුවෙන් වැඩෙන මෙම ඕකිඩ් ශාක තිස්සමහාරාමය වැනි දුෂ්කර ප්‍රදේශයක වගා කිරීම අතිදුෂ්කර කාර්යයක් වුවත් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම නිසා ඇය සිය අභියෝගය ජයගනු ලැබුවේ තිස්සමහාරාමයේ මෙම ඕකිඩ් වර්ග වගාකළ නොහැකි බවට වහසි බස් දෙඩූ සියලු දෙනාද පුදුමයට පත් කරමිනි.

සිය ඕකිඩ් වගාව පිළිබඳව අදහස් දැක් වූ චන්ද්‍රිකා මහත්මිය,

“ගෙදරට වෙලා නිකම්ම කාලය ගත කිරිමට වඩා ඵලදායී දෙයක් වෙනුවෙන් හා ගෙදර ආර්ථිකය සරු කරගැනීමට හැකි යමක් වෙනුවෙන් කාලය කැප කිරීමට මට ඕන වුණා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කළ යුතුව තිබුණා. ඉතින් ඒ කටයුත්ත මහත්තයට විතරක් කරන්න අමාරුයි. ඒ නිසා තමයි මම තීරණය කළේ සියලුම දෙනාට වඩා වෙනස් දෙයක් කරන්න ඕනි කියලා. ඒ අනුව තමයි තීරණය කළේ ඕකිඩ් වර්ග වගා බිමක් ආරම්භ කරන්න. මුල් කාලයේදී මම විවිධ අයගෙන් මේ සඳහා උපදෙස් පැතුවා. නමුත් ඇත්තටම ඒ කිසිම කෙනෙක් මට උදව් කළේ නෑ. හැමෝම වගේ කිව්වේ මට පිස්සු කියලයි. මොකද ශීත දේශගුණයේ හැදෙන ඕකිඩ් වියලි කාලගුණයේ හදන්න අමාරු නිසා. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි අනිත් රටවල් වගේ නෙමේ ලංකාවේ දේශගුණික තත්වයන් ගොඩක් වෙනස්. අපිට ඕන ශාඛයක් ඒ ඒ දේශගුණයට සරිලන ආකාරයෙන් වගා කළ හැකියි. ඒ නිසා තමයි මේ අභියෝගය ජයගත්තේ.

බොහෝ දෙනෙක් මට කියා නොදුන් බොහෝ රහස් රැසක් මම ඕකිඩ් වගාව තුළින් අද වනවිට ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම ඕකිඩ් මල් වගාව කරන්න බලාපොරොත්තු වෙන අයට මට කියන්න තියෙන්නේ ඕකිඩ් වගාවට ඉතාමත් අවශ්‍ය සාධනීය කරුණු කිහිපයක්ම තියෙනවා. ඒ අතරට මව් ශාඛය ආරක්ෂා කර ගැනීම, පැළ අංකුර ලබා ගැනීම, දිලීරවලින් ශාඛය ආරක්ෂා කර ගැනීම, නිසි වෙලාවට මල් ලබා ගැනීම, නිසි පොහොර හා ජලය යෙදීම යන කරුණු ක්‍රමානුකූලව නිසි පරිදි සිදු කළොත් ඕකිඩ් මව් ශාඛය වසර 10කට වැඩි කාලයක් හොඳට මල් වැවෙමින් තබා ගැනීමට හැකියි.

අද වනවිට මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයත් ගොවිතැන් වැඩ කළේ. නමුත් අද අපේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා තියෙන්නේ මෙම ඕකිඩ් මල් වගාව. අද වන විට මට විශාල ආර්ථික ලාභයක් ලබා ගැනීමට මෙම වගාව උපකාරී වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන හොඳම ඕකිඩ් වගාව වගේම විශාලතම ඕකිඩ් වගාව තියෙන්නෙත් මට. ඒ සඳහා වන විවිධ සම්මාන සහතිකත් මට හිමිවෙලා තියෙනවා. මට ඇත්තටම මේ තැනට එන්න තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මැතිතුමා ගොඩක් උදව් කළා. අද මම කර්මාන්තයක් විදියටම මල් වගාව කරගෙන යන්නේ. මේ වනවිට විවිධ ප්‍රදේශවල අය මාව සොයාගෙන එනවා ඕකිඩ් මල් මිලදී ගැනීමට හා පැළ මිලදී ගැනීමට. මම අලෙවි කරන හැම ඕකිඩ් පැළයක්ම තත්ත්වයෙන් උසස් එකක් තමයි අලෙවි කිරීම කරන්නේ. ඒ නිසා පාරිභෝගික විශ්වාසය පළුදුවීමක් සිදුවෙන්නේ නෑ. අවසන් වශයෙන් මට සමස්ත කාන්තා පරපුරටම කියන්න තියෙන්නේ “බැහැයි කියලා දෙයක් නැහැ කියලයි” උත්සාහය හා කැපවීම තිබේ නම් ජයග්‍රහණය ස්ථිරයි .ගොඩක් අය මට කිව්වේ ශීත දේශගුණයේ හැදෙන ඕකිඩ් තිස්සමහාරාමයේ හදන්න බැහැ කියලයි. එදා මාත් ඒ වදන්වලට නතු වුණා නම් අද මට මේ විදියට ඕකිඩ් වගාවක හිමිකාරියක වෙන්න ලැබෙන්නේ නැහැ” යැයි ඇය පැවසුවාය.

දකුණු පළාතේ හොඳම ව්‍යවසායිකාවක් බවට පත්ව සම්මාන සහතික ලබන්න තරම් මෙම දිරිය කාන්තාව අද වනවිට සමත්ව ඇත්තේ මුළු මහත් කාන්තා පරපුරටම ආදර්ශයක් සපයමිණි. යන්තම් ගොවිතැන් කටයුතු කරගෙන දරැවන් තිදෙනාත් බිරිඳත් පෝෂණය කළ නිමල් රෝහණ මහතාට සිය බිරිඳගෙන් ලැබුණේ දැවැන්ත අත්වැලකි. දරැවන් තිදෙනෙකුගේ මවක් වන චන්ද්‍රිකා ඕකිඩ් මල් වගාවෙන් ලබා ගන්නා ආදායම සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගේම ගෘහ ජීවිතයේ දියුණුව වෙනුවෙන් කැප කර තිබේ. මේ තරම් දුරකට සාර්ථක ඕකිඩ් වගාවක් පවත්වාගෙන යන චන්ද්‍රිකාට මේ වනතෙක් මෙම ව්‍යාපාරය දියුණු කර ගැනීමට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලැබී තිබීමද පුදුමයට කරුණකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හෝ ඇයට නිසි උපදේශන සේවයක් හා අතහිත ලබා දීමක් සිදුකරන්නේ නම් ඇය මෙම ව්‍යාපාරය පිළිබඳව ප්‍රදේශයේ අනෙකුත් කාන්තාවන්ද දැනුවත් කිරීමට කටයුතු කිරීමටද සූදානම් බවයි චන්ද්‍රිකා අපත් සමග පැවසුවේ.

I සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04