අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දීඝවාපී දාගැබ නැගෙනහිර පළාතේ විශාලම දාගැබයි. ඉපැරණි රෝහණ රාජධානියට අයත්ව පැවති මේ දාගැබ පිහිටි භූමියට බුදුන් වහන්සේ ලංකාවට තෙවැනිවර පැමිණි ගමනේදී වැඩම කළ බව මහාවංශයේ සඳහන්ය. ගරාවැටී ගඩොල් ගොඩක් වශයෙන් පැවති මේ මහා දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන්නේ වර්ෂ ගණනාවකට පෙර සිටය. දාගැබ කැණීම් කිරීමෙන් අනතුරැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, එවිට දාගැබේ උස අඩි 256ක් වනු ඇත.
පසුගියදා දීඝවාපිය ගැන කාගෙත් ආවධානය නැවතත් යොමුවූයේ එහි දකුණු වාහල්කඩ ආසන්නයේ කැණීම් කිරීමේදී කරඬුවක් හමුවීමත් සමගයි. මෙම ශෛලමය කරඬුව ආරක්ෂිතව අම්පාර දිසාපති කාර්යාලයට රුගෙන ගියේය. එම ස්ථානයට පැමිණි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කරඬුව විවෘත කෙරිණි. එවිට කවුරැත් පුදුමයට පත් කරමින් සෙල්මුවා කරඬුව තුළ තිබී රනින් කළ කුඩා කරඬු හතරක් හමුවිය. පුරාණ දාගැබ්වල ආකෘතියට තනා තිබූ මේ කරඬු රන්පත්‍රවලින් තනා තිබුණි. නෙළුම් මල් හා සිරිපතුල් ලාංඡන ඒවායේ දැකගත හැකි විය. ඒ අතර පළිඟුවලින් කළ කුඩා කරඬුවක්ද විය.
ආචාර්ය සෙනරත් දිසානායක පවසන්නේ මේ කරඬුව දාගැබේ ධාතු ගර්භයේ තිබුණු එකක් බවත්, ගර්භයේ කොටසක් කඩාගෙන මළුවට ඇදවැටුණු අවස්ථාවේ කරඬුවද එහි තිබෙන්න ඇති බවත්ය. වාහල්කඩත්, කරඬුවත් අතර සම්බන්ධයක් නැති බව ඔහු පවසයි. කරඬුව ලැබුණේ නිධන් හොරු විසින් විනාශ කළ ස්ථානයකිනි. වාසනාවකට මෙන් ගඩොල් අතර සැඟව තිබුණු කරඬුව නිධන් හොරැන්ගේ ඇස ගැටී නැත. පස්වැනි සියවසට අයත් කළ හැකි දකුණු වාහල්කඩ අසල පොළොව තුළින් ගඩොල් ගොඩක් අතරිනි. ශෛලමය කරඬුව මතුවුණේ. එහි උස අඟල් 18ක් විය. කරඬුව පරීක්ෂා කිරීමේ කටයුතුවලට පුරාවිද්‍යා රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂ ගීතානි කුරැප්පුආරච්චි, පර් යේෂණ නිලධාරී ජනනී සෙනෙවිරත්න, දීඝවාපී කැණීම්භාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර කැණීම් නිලධාරිනි අනුරාධා ප්‍රියදර්ශනී යන අයද එක්වූහ.
රන් කරඬු හතර තුළ ධාතූන් වහන්සේ 6ක් දැකගත හැකි විය. දැනට පවතින කොරෝනා උවදුර මත කරඬු සහ ධාතූන් වහන්සේ අම්පාර දිසා ලේකම් කාර්යාලයේ විශේෂ කුටියක තැන්පත් කර තිබේ. ඒ සඳහා පුද පූජා පැවැත්වීමටද එහි සේවකයෝ කැපවී සිටිති.
මෙම එක් කරඬුවකින් බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ රන් සන්නසක්ද මතුවීම විශේෂත්වයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ භාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු එම සන්නස කියවා තිබේ. එහි සඳහන් වන්නේ මෙලෙසිනි.
සිධ මහනකරජ පුත මළිතිස රජහ සොවණ තුබෙ
එහි අර්ථය යහපතක් වේවා, මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිට්ඨතිස්ස) රජුගේ රන් කරඬුවයි.
කරඬුව පූජා කර තිබෙන්නේ මහල්ලක නාග රජුගේ පුත්‍රයාය. මහල්ලක නාග රජු ක්‍රි.ව. 135-141 දක්වා අනුරාධපුරයේ රජකම් කළ නරපතියෙකි. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා භාතික තිස්ස (ක්‍රි.ව. 141-164) වන අතර බාල පුත්‍රයා කණිට්ඨතිස්ස (164-192) ය. භාතිකතිස්සගෙන් පසු රජකම හිමිවූ කණිට්ඨතිස්ස මළතිස යනුවෙන් හැඳින්වේ. මේ රජු බුදුදහමට බොහෝ අනුග්‍රහය දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසය දෙස බලන විට පැහැදිලි වේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කණිට්ඨතිස්ස රජුට අයත් සෙල්ලිපි 17ක් සොයාගෙන තිබේ.
මෙයට පෙර 1986දී දීඝවාපියේ කැණීම් කළ අවස්ථාවේදී මේ රජුගේ රන් කරඬු තුනක් මතුවූ අතර ඒ සමඟ රන් සන්නසක්ද හමුවිය. එය හමුවුණේ දීඝවාපි ස්තූපයේ බටහිර වාහල්කඩිනි. නක මහරජුගේ පුත්‍ර මළතිස රජුගේ රන් දාගැබයි යනුවෙන් එහිද සඳහන්ව තිබුණි.
මේ රජු දාගැබ් ප්‍රතිසංස්කරණයට විශාල අනුග්‍රහයක් දක්වා ඇති බව ඒ රජුට අයත් රුවන්වැලි සෑ පුවරු ලිපි, සෝමාවතී සෑ පුවරු ලිපිය, අභයගිරි සෑ මළුවේ පුවරැ ලිපි හා අභයගිරි කරඬුවල ලිපි ආදියෙන් පැහැදිලි වේ. පුරාණ රෝහණයට අයත් නීලගිරි ස්තූපයේ ප්‍රතිසංස්කරණයටද මේ රජු දායක වී ඇති බව සෙල්ලිපිවලින් පැහැදිලි වී තිබේ.
රන් කරඬුවල ඇති සංකේත ලක්ෂණ අනුව මේවායේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන බවට සාධක පෙනී යතැයි පුරාවිද්‍යාඥයෝ පවසති. ඒ නෙළුම් මල සහ සිරිපා සලකුණු යොදාගෙන ඇත්තේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සඳහා බැවිනි.
දීඝවාපී දාගැබ ඉදිරියේදී තවදුරටත් කැණීම් කරනු ඇත. මෙහි ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් නිමවීමට තවත් වර්ෂ තුනක් පමණ ගතවන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. රන් කරඬු සහ ධාතූන් වහන්සේ ඉදිරියේ අනාගතයේදී දීඝවාපී රජමහා විහාරයේ විශේෂ කුටියක ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : අන්තර්ජාලයෙනි