කොවිඩ් 19 දෙවැනි රැල්ලේ ආසාදිතයකු මෙරටින් වාර්තා වීමත් සමඟ නැවතත් දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලැබිණි. එය රජය ගත් තීරණයකි.
එතැන් සිට බොහෝ විට පාසල් දරුවන් තම අධ්‍යාපනය ලැබුවේ online ක්‍රමයටය. නමුත් මෙය කොයිතරම් දුරකට සාර්ථක වූවාදැයි කිව නොහැක. බලන්න රෑපවාහිනියක් නොමැති විට, ශ්‍රවණය කරන්නට ගුවන් විදුලියක් නොමැති විට අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි පරිගණකයක් හෝ ඒ හා සමාන පහසුකම් ඇති ජංගම දුරකථනයක් නැති දුෂ්කර ජීවිත ගතකරන දරුවන් ඕනෑතරම්ය.
කෙසේවුවද නැවත වතාවත් තුන්වැනි පාසල් වාරය මේ මාස විසි තුන්වැනි සඳුදා විවෘත කිරීමට පසුගියදා තීරණය කර තිබුණි. ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර දිවයිනේ අනෙකුත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විවෘත විය. ඒ අනුව පාසල් 5100ක් පමණ තුන්වැනි වාරය සඳහා විවෘත වුණි.
මෙම පාසල් වැසීයාමත් සමඟ කබලෙන් ලිපට වැටුණ පිරිසක් වූයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන පිරිසයි. බස්නාහිර පළාත්වල හා හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල්වලට හැර සෙසු පාසල්වලට දරුවන් ප්‍රවාහන කටයුතු සිදු වුවද තවමත් ඒ පාසල්වල දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් පැසල්වලට නොයනා බවත් පාසල් යන දරුවන්ගෙන් වැඩි පිරිසක් තවමත් වෑන් ප්‍රවාහන සේවයෙන් පාසල් නොයනා බවත් එම සංගම් දේශයට පැවසීය.
බස්නාහිර පළාත්වල පාසල් විවෘත වුණේ නැතත් අනෙත් පළාත්වල පාසල්වලට ධාවනය වන පාසල් බස් රථවල තවමත් ළමයින් යන්නේ හරිම අඩුවෙන්. ආසන 26ක් වගේ තියෙන බස්රථවලත් අද ළමයින් යන්නේ පස්දෙනෙක් හයදෙනෙක් වගෙයි. ඒ දෙමව්පියන්ගෙන් අපිට මුදල් අය කරලා ඩීසල් ටික ගහගන්නවත් ප්‍රමාණවත් මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත් පාසල් පටන්ගන්නවනම් පාසලට එන ඒ දරුවන්ට අපි පාසල්වල ප්‍රවාහනය කරනවා. අපි සංගමයක් විදිහට ඒ කිසිම පළාතකින් පාසල් ප්‍රවාහනය නතර කළේ නැහැ. නමුත් සමහර දෙමව්පියෝ අපිට කතා කරලා ලබන මාසේ පළවෙනිදා ඉඳන් බස් එකට එවන්නම් කියලා කිව්වා. තාමත් ඒ බොහෝ දෙමව්පියන් ඉන්නේ බයෙන්.* යැයි සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
එම සංගමය පවසන්නේ පාසල් පටන්ගන්නේ නම් දෙමව්පියන් තම දරුවන්ට පාසලට එවන්නේනම් තම සංගමය විසින් ඔවුන් පාසල වෙතට ගෙනඒමට ප්‍රවාහන පහසුකම් සපයන බවය. ඔවුන් තම සේවය නතර කරන්නේ නැත. නමුත් ඔවුහු විශාල ගැටලුවලට මුහුණ දී සිටිති. ඒ වාහනවලට ගත් ණය පියවා ගැනීමටත්, ලීසිං ගෙවා ගැනීමටත් නොහැකි වීමෙනි.
අපි අපේ වාහනවලට ගත් ෆිනෑන්ස්වලට සහනයක් ඉල්ලුවා. ගිය සැරේදි රජයෙන් තියෙන ණය ගෙවා අවසන් වූවායින් පසුව මාස හය ගෙවන්න කියලා කිව්වා. ඒ 11.5%ක පොලී අය කරලා. නමුත් මෙවර 20:20 අංක 10 කියන චක්‍රලේඛනය යටතේ එහෙම සඳහනක් කරලා නැහැ. 2021 අප්‍රේල් සිට වාරික දොළහකින් ගෙවන්න කියලයි එහි සඳහන් වෙන්නේ. බැංකුවලිනුත් මේ සම්බන්ධව අපි දැනුවත් වෙලා ඉන්නේ. මේක ගෙවාගෙන යන්න කැමතියි කියලා අපෙන් ලියමකුත් අරගෙන තමයි ඒ සහනය අපිට දෙන්නේ. යැයි ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා කියයි.
සංගමයක් ලෙසින් මේ සහන කාලය ගෙවීමට ඇති කාල සීමාව ගෙවා අවසන් වූවාට පසුව ගෙවීමට සහනයක් සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු වැඩිදුරටත් පවසන්නේ නිවාඩු කාලයේදී මුදල් අයකරනු ලබන්නේ බස්නාහිර පළාතෙන් කොළඹ නගරයට දරුවන්ට ප්‍රවාහනය කරනු ලබන වාහන පමණි. අනෙකුත් පළාත්වලදී නිවාඩු කාලයේදී මුදල් අයකිරීමක් නොමැත. නමුත් රජයෙන් ලබා දෙනු ලබන රුපියල් පන්දහසේ සහන මුදල ද මේ ඇතැම් වාහන ප්‍රවාහනකරුවන්ට නොලැබුණු බවද සංගමේ ලේකම් සඳහන් කරයි.
පාසල් දරුවන්ට ප්‍රවාහනය සැපයීමට ලීසිං කරගත් වාහන දෙකක් හෝ තුනක් ඇති හිමිකරුවන්ට සිදුව ඇත්තේ දරාගත නොහැකි පාඩුවකි. ඔවුන් සේවක පඩි ගෙවිය යුතුය. රියදුරන්ට පාලිකාවන්ට මුදල් දිය යුතුය. ෆිනෑන්ස් ගෙවිය යුතුය. මේ සියල්ලම වෙන කාලවලදී ඔවුන් පියවන ලද්දේ මව්පියන් ලබාදෙන මාසික මුදලිනි. නමුත් මාස ගණනාවක් මුළුල්ලේ ඒ කිසිවක්ම නැත.
දිවයින පුරා හතළිස් අටදහසක් ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහන කටයුතුවල නියැලෙති. ඒවාත් රුකියා කරනු ලබන රියදුරන් හා පාලිකාවන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ද ඉතා ඉහළය.
අපි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්තුමා මුණගැසී මේ ගැටලු ගැන කිව්වා. එතුමා බොහෝම සුහදව අපි එක්ක කතා කළා. අමාත්‍යතුමා මුණගැසී සාකච්ඡාවක් කිරීමට එතුමා අපිට පොරොන්දු වුණා. රජයක් විදිහට අපි බලාපොරොත්තු වන්නේ මේ වාරික ටික පිටිපස්සට කරලා අපිට ගෙවාගන්න සහනයක් ලබාදෙන්න කියලයි. මේ වාරික ගෙවන්න බැහැ කියලා අපි කියන්නේ නැහැ. අපි කොහොමහරි ඒ වාරික ටික ගෙවන්නම්. ඒ සඳහා අපිට සහනයක් ලබාදෙන්න කියලයි. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න