2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

ලංකාවේ ලේ හොල්ලා අරාබියේදී කොටු වූ පාතාලේ ධර්මසිරි

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

වර්තමාන ආණ්ඩුව පාතාල මර්දන වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ මොරටුවේ සිද්ධියක් මූලික කරගෙනය. ඩුබායි රාජ්‍යයේ සිටින දෙදෙනෙක් දුරකථන ඇමතුම් ලබාදෙමින් මොරටුවේ හෝටල් හිමිකරුවකුට මරණ තර්ජනය කරන සිද්ධියක් ඔබට මතක ඇතැයි සිතමු. පසුව එම දෙදෙනා තවත් පිරිසක් යොදවා එම හෝටලයට පොලිස් නිලධාරීන් ඉදිරියේ වෙඩි තැබීමත්, නැවත තර්ජනය කර ඇමතුම් ලබාදීමත්, පොලිස් නිලධාරීන්ගේ පවුල් පිටින් ඝාතනය කරන බවත් සඳහන් වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වීමක් සිදුවිය. ඒ අනුව වර්තමාන ආණ්ඩුව පාතාල මර්දන වැඩපිළිවෙළේ මුල්ම ගල තැබුවේ එම සිද්ධිය කේන්ද්‍ර කරගෙනය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී තහවුරු වුණේ මොරටු පාතාලයේ දෙදෙනකු මේ පිටුපස සිටින බවය. එක් අයකු ගෝනාකෝවිල අංජුය. අනෙකා ධර්මසිරිය. කෙසේ වෙතත් මොරටුව හෝටලයේ සිද්ධියේදී ඇමතුම් ලබාදෙමින් තර්ජනය කරන පුද්ගලයා ධර්මසිරි බව තහවුරු විය. පසුව තහවුරු වුණේ මේ දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වූ රන්ජන් සිල්වා ඝාතනයට අවශ්‍ය ප්‍රධාන සැකකරුවන් දෙදෙනා බවය.

කෙසේ වෙතත් හෝටලයට ඒ වනවිටත් පළමු ප්‍රහාරය 2020 මැයි 19 දාත්, දෙවැනි වෙඩි ප්‍රහාරය 2020 මැයි 29 දාත් සිදුකර තිබුණි. එකී  චණ්ඩිකම් පෑමේ ප්‍රතිඵලය නිසා ආණ්ඩුව විසින් පාතාල මර්දනය සිදුකිරීම ආරම්භ කළ අතර එහි පළමු ප්‍රහාරය දියත් වූයේ අංජුගෙත්, ධර්මෙගෙත් පරම හතුරා වන ගෝනාකෝවිල රොහා වෙඩි කා මියයාමත් සමඟය. කෙසේ වෙතත් ධර්මේ ගැන කියවෙන්නේ එතැන් සිටය. එකී කරළියට ආ ධර්මේ අද ජාත්‍යන්තර පොලීසිය විසින් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ ධර්මේ ගැන මෙසේ ලියන්නේ කාගෙත් දැන ගැනීම පිණිසය.

මොරටු පාතාලයේ නම ගිය ප්‍රධානියා වූයේ මොරටු සමන්ය. මොරටු සමන් මරා දැමීමත් සමඟ එතැනට ආවේ සමන්ගේ ගෝලයකු වූ රොහාය. නැතහොත් ගෝනාකෝවිල රොහාය. රොහාත් ලන්සියාත් එක වල්ලේ පොල්ය. මිතුරන්ය. මොරටුවේ ඇතැම් සිද්ධීන්වල පියවරුය. එහෙත් රොහාගේ ගමන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රී පොඩි මහත්තයාට ඇල්ලුවේ නැත. ඒ නිසා රොහාත් පොඩි මහත්තයත් අතර සීතල යුද්දයක් තිබුණේය. ඒ යුද්ධය අවසන් වූයේ 2007 මාර්තු 13 වැනිදා රත්මලාන මැලිබන් හන්දියේදී පොඩි මහත්තයා ඝාතනය කිරීමෙනි. එම ඝාතනයට හේතුවූයේ රොහා පොලීසියට කොටුකිරීමට පොඩි මහත්තයා ඔත්තු දුන් බවට සැකකළ නිසාය.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් රොහාත්, ලන්සියාත් අතර ඇයි හොඳැයිය නතර විය. එයට හේතුවූයේ පොඩි මහත්තයා ලන්සියාගේ බාප්පා වූ නිසාය. කෙසේ වෙතත් මේ මිනීමැරුම දේශපාලන අවුලක් කරගත් ලන්සියාලා මේ ඝාතනය පිටුපස දෙහිවල ගල්කිස්ස නගරසභාවේ තවත් මන්ත්‍රීවරයකු වන රන්ජන් ද සිල්වා ගැන සැක කළහ. එයට හේතු වූයේ රන්ජනුත් රොහාත් අතර තිබූ මිත්‍රකමය. ඒ නිසා රොහාලව ආරක්ෂා කළේ රන්ජන් බව ලන්සියාලා සිතූහ. මේ නිසා ලන්සියා රොහා ඝාතනයට පිඹුරුපත් ඇන්දේය.

එහෙත් සියල්ල යට කරමින් 2015 ජූනි මාසයේ එක්තරා දිනෙක සුරේෂ් අසංක නොහොත් ලන්සියා කුඩු නඩුවක් සඳහා මහර උසාවියට පැමිණ සිටි අවස්ථාවේ රොහා ඇතුළු කල්ලිය එක්ව වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මේ ඝාතනයත් සමඟ ලන්සියාගේ කණ්ඩායම ගැස්සී ගිය අතර මේ ඝාතනයට ද රන්ජන් සිල්වා රොහාලා සමඟ සම්බන්ධ වන්නට ඇතැයි සිතුවේය. ලන්සියාගේ මරණයෙන් පසු එම කණ්ඩායම අතට ගත් ගෝනාකෝවිලේ අංජු හෙවත් ලන්සියාගේ සහෝදරයා පළමු ඉලක්කය රන්ජන් වෙත එල්ල කළේය. රොහාගේ කුඩු ව්‍යාපාරයට රන්ජන් උදව් උපකාර කරන බවට අංජුලා සැක කළ නිසා රන්ජන්ට කිහිප වතාවක් රතු නිවේදන නිකුත් කර තිබුණේය.

මේ නිසා රන්ජන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය අනුව පොලිස් ආරක්ෂාව ලබාගෙන තිබුණි. ඒ පොලිස් නිලධාරීන් 20කගේය. කෙසේ වෙතත් එයද ගැටලුවක් විය. එනම් ඇතැම් පොලිස් නිලධාරීන් රන්ජන්ගේ ඥාති නිවෙස්වලට ද දමා තිබියදී ඒ නිවෙස්වල සිටි අය සමාජ අකටයුතුකම්වල පවා යෙදුණු බවට චෝදනා එල්ලවීමය. ඔවුන්ට මේ ආකාරයෙන් ආරක්ෂාව ලබාදීම ගැන ඒ අවට පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයට පෙත්සම් පවා ගැසූහ. එපමණක් නොව එම ආරක්ෂාව නිසා කිසිවකුට රන්ජන්ගේ නිවස අසලින් යාම පවා තහනම් කර තිබිණි. මේ නිසා ප්‍රදේශයේ පිරිස් රන්ජන් සමඟ එතරම් ඇයි හොඳැයියක් තිබුණේ නැත.

කෙසේ වෙතත් මේ අතරතුර කාලයේ ලන්සියා සමඟ සිටි තවත් අයෙක් අංජු සමඟ එකතු විය. ඔහු හබරකඩ ප්‍රදේශයේ එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා යන අය විය. සමහරු ඔහුට ඇල්ටෝ ධර්මේ ද කීහ. ඒ පොඩි ඇල්ටෝ රථකින් කුලී ගමන් ගිය නිසාය. කෙසේ වෙතත් අවසානයේ ධර්මේ ලන්සියාගේ මල්ලි වන අංජු සමඟ එක්ව කුඩු ව්‍යාපාරය ආරම්භ කළේය. එපමණක් නොව මැරකම් කරමින් කප්පම් ලබාගන්නද කටයුතු කරන්නට විය.

මේ අතර අංජුලා සහ ධර්මෙලා සමඟ එකට හැප්පෙන්නට ගිය පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට රත්මලානේ මැලිබන් හන්දියේදී ධර්මේ ඇතුළු පිරිසක් මෝටර් රථයෙන් ගොස් වෙඩි තැබූහ. එහිදී බරපතල තුවාල සිදු වූ අමල් ජීවිතේ බේරගත්තේ අනූනවයෙනි. ඒ ධර්මෙගේ පළමු ප්‍රහාරය විය. ඒ 2018 මාර්තු 8 වැනිදාය.

ඉන් අනතුරුව අංජුගේ එකම අරමුණ වූ දෙවැනි දඩයමට පිරිස සූදානම් වූහ. ඒ ගෝනාකෝවිල රොහා වෙනුවෙන් සහාය දක්වන රන්ජන් ද සිල්වා ඝාතනයටය. ඒ අනුව 2018 මැයි 24 වැනිදා ධර්මේ ඇතුළු පිරිසක් ගොස් රන්ජන් ද සිල්වාට සිය නිවස අසලදී වෙඩි තැබූහ. එහිදී තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුවිය. මේ ප්‍රහාර සම්බන්ධයෙන් ජනිත් සහ සුද්දා අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ සිද්ධියේදී ධර්මේගේ නම කියවුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැත. ඉන් අනතුරුව ධර්මේගේ අපරාධ ලැයිස්තුව දිගු විය.

• 2018/12/05 – පෝද්දලගේ උදාර සඳරුවන් නොහොත් උදාර නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සැළසුම් කිරීම.
• 2019/01/10 – සුමුදු සෙනවිරත්න නොහොත් කුමාර නැමැත්තා පිළියන්දලදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම.
• 2019/09/02 – ගල්කිස්සේ මහේෂ් උදය කුමාර ඩයස් රත්වත්තේ තියුණු ආයුධවලින් ඇන ඝාතනය කිරීම.
• ගල්කිස්සේදී ටී – 56 ගිනි අවි 2ක්, කඩු පිහි මන්නා රුගෙනවිත් චන්දන තිලකරත්න නොහොත් ‘එයාර්ෆෝස් සම්පත්^ ගේ නිවසට පැමිණ තර්ජනය කිරීම.
• 2020/03/11 – ගල්කිස්ස සිංහාරගේ විශාඛා දිල්රුක්ෂි නැමැත්තියගේ නිවසේ දොර කඩා ඇතුළු වී සිංහාරගේ දමිතා සිල්වා නැමැත්තිය තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමට සැළසුම් කිරීම.
• 2020/02/06 – මොරටුවේ රාත්‍රී කාලයේ නිවසට පැමිණ සාලිය විජේසිංහ පැහැරගෙන ගොස් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සැළසුම් කිරීම.
• 2020/05/19 – ගල්කිස්ස සොයිසාපුර පිහිටි මහගෙදර නොහොත් ලක්මැදුර වෙළෙඳසලට තියුණු ආයුධවලින් පහර දී අලාභහානි කිරීම හා පුද්ගලයකුට තුවාල කිරීම.

මේ ආදී ලැයිස්තුවක් ධර්මෙගේ නම ඉදිරියෙන් සටහන් වී තිබුණේය. ඒ සියල්ල ධර්මේ සිදුකළේ අංජුගේ කල්ලියේ බලය පෙන්වීම සඳහාය. එපමණක් නොව රොහාගේ බලය බිඳීම සඳහාය. කෙසේ වෙතත් මේ ඇතැම් අපරාධවල මහමොළකරු ධර්මේ වුවත් ඔහු ඒ සියල්ල සිදුකළේ ඩුබායි රාජ්‍යයේ සිටය. එරට සිට චණ්ඩිකම් පාමින් ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන්ට පවා තර්ජනය කළේ පවුල් පිටින් ඝාතනය කරන බව කියමිනි.

මීට අමතරව පසුගිය සැප්තැම්බර් 20 වැනිදා තරුණයෙක් අත්අඩංගුවට පත් විය. ඔහු රත්මලාන ප්‍රදේශයේ අයෙකි. පසුව ඔහුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ හෙළිවුණේ ඔහු විසින් භාවිත කළ ගිණුමක රුපියල් ලක්ෂ 4700ක් සංසරණය වී ඇති බවය. ඒ ගැන තව තවත් සොයා බැලීමේදී තහවුරු වුණේ එම ගිණුමේ මුදල් හෙරොයින් ජාවාරමේ ආදායම් හරහා ලැබෙන මුදල් බවත් ඒ සියලු මුදල් අංජු සහ ධර්මෙගේ ගිණුම්වලට බැරවෙන බවත්ය. ඒ අනුව ධර්මේ සහ අංජු කුඩු ජාවාරමේ මහ මොළකරුවන් බව තහවුරු විය.

පසුව මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ ආරම්භ කර තිබිණි. ඔහු මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් ඔවුන්ගේ දේපළ රාජ සන්තක කිරීමටත් කටයුතු කිරීම ආරම්භ කළේය. ඒ අනුව නඩු අංක 884/2000 යටතේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ධර්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත්තේය. ධර්මසිරි දුටු තැන අල්ලන්න නියෝගය ලැබිණි. එකී තීන්දුවේ ප්‍රතිඵලය වූයේ පසුගිය 29 වැනිදා ධර්මසිරි අබුඩාබිහිදී එරට පොලීසියට කොටු වීමෙනි. ඒ සියලු කතා කනපිට ගස්සමිනි.

කෙසේ වෙතත් රට සිට චණ්ඩිකම් පෑ ධර්මසිරි අද සිටින්නේ කොටුවෙලාය. දැන් ධර්මසිරි මෙරටට ගෙන ඒම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නුදුරේදී එරටට පිටත් වනු ඇත. ඒ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහාය. එය සාර්ථක වුවහොත් ධර්මසිරි ලංකාවේය. එහෙත් ධර්මසිරි සමඟ හයිකාරකම් කළ අංජු අද සිටින්නේ ප්‍රංශයේය. අංජු බේරුණා යැයි ඔහුට සිතෙනු ඇත. එහෙත් කකුළුවා නටන්නේ හොද්ද ඉදෙනකල් යැයි කතාවක් ඇත. ධර්මෙට ද වුණේ ඒ කතාවය. වැඩිකල් නොගොස් අංජුට වෙන්නේද මේ කතාවමය.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03