2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

ලංකාදීපය රටට දුන් - සර් ඔලිවර්ටත් හිස නොනැමු මහා පත්‍රකලාවේදියා ධනපාල

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 243

ඩී.බී. ධනපාල කෙතරම් ශ්‍රේෂ්ඨ පුරුෂයකු වුවත් මට බොරු කියා තිබේ. එහෙත් ඒ බොරු කීමත් ඔහුගේ ශ්‍රේෂ්ඨකම වඩාත් තහවුරු කරන වැඩක් බව දැන් මට හැඟේ.

ගුණදාස ලියනගේ විසින් ලියන ලද ඩී.බී. ධනපාලගේ විප්ලවය නම් චරිතාපදානය ඇරඹෙන්නේ මේ ඡේදයෙනි.

පත්‍රකලාවේදීන් අමුතුම ජාතියක මිනිසුන් කොටසකි. එක සිරස්තලයක් මගින් මිනිසකු මහ ඉහළින් හුවා දැක්වීමට හෝ එක වාක්‍යයක් මගින් බිම හෙළීමට සමත්කමක් ඔවුනට ඇත. මෙසේ අනිකුත් අයට ප්‍රසිද්ධියක් ලබාදෙන මොවුහු ජීවිතයේ වැඩි කාලයක් අප්‍රසිද්ධියෙන් ජීවත් වෙති.

මෙසේ කීවේද ධනපාල නම් විශ්වකර්ම පත්‍රකලාවේදියාය.

මෙරට බිහිවූ පුවත්පත්, වාර ටැබ්ලොයිඩ් පත්‍ර රාශියක් බිහිකළ එමෙන්ම අග්‍රගණ්‍ය පුවත්පත් කලාවේදියකු මෙන්ම ගත්කතුවරයකු, විදුහල්පතිවරයකු, චින්තකයකු, කලා රසියකයකු වූ ඔහු ජාතියට ජීවය දුන්, ගුරුවරුන්, කවියන්, දේශීය වෛද්‍යවරුන්, පාර්ලිමේන්තු මැති ඇමැතියන්, පත්‍රකලාවේදීන්, නීතිවේදීන්, චිත්‍ර ශිල්පීන්, කලාකරුවන් ආදී වශයෙන් විශාල පිරිසක් බිහිකිරීමට නිහඬව මහ මෙහෙයක් කළ මානව දයාවෙන් යුතු මිනිසෙක්ද විය.

කිසිදා ප්‍රසිද්ධියට කැමැති නැති මේ සරල මිනිසා, සුදු ජාතික බැනියම හැඳි, නිතර සිගරුට්ටුවක් අතැතිව සිටියේය. ගුණදාස ලියනගේ විසින් ඔහු ගැන චරිත කතාව ලියන්න කතාකළ හැමවිටම මඟහැරිය ධනපාලයන් ජීවිතයේ අවසන් දින කිහිපයකට පෙර කියා ඇත්තේ අර තමුසෙගෙ වැඩේ කරන්නත් තියෙනව නේද? ලබන සුමානේ දිහාට මම පණිවිඩයක් එවන්නම් වචන ටිකය. ඒ කිව් ලබන සුමානයේ ලියනගේට ආ පණිවුඩයෙන් කියවුණේ ධනපාල මහතා මියගිය බවය.

1905 ජනවාරි 04 වැනිදා තිස්සමහාරාමයේදී උපත ලැබූ දියොත්ගු බඩතුරුගේ ඩේවිඩ්ගේ පියා වූයේ කරෝලිස් ද සිල්වාය. ඔහුගේ ගම දකුණු පළාතේ කතළුවේය. තිස්සමහාරාමයේ ඉඩම් අක්කර සිය ගණනක අයිතිකරු වූ හෙතෙම කරෝලිස් ආරච්චි මහත්තයා නමින්ද ප්‍රකට විදානආරච්චි කෙනෙකි. එහෙත් ඩේවිඩ්ගේ කුඩා කාලය එතරම් සතුටුදායක නොවීය. ඔහුගේ මවගේ අකල් මරණය නිසාත් ඉන්පසු පියා කුඩම්මා කෙනෙකු ගෙන ඒමත් සමඟම එවකට තිස්සමහාරාමයේ සිංහල පාසලෙන් අස් වී කතළුවේ නැන්දා කෙනෙකුගේ ගෙදර සිට කතළුව පාසලට යාමෙන් පසු වැඩකරයකු ලෙස සියලු කටයුතුත්, නැන්දාගේ සිල්ලර කඩේ වැඩ කිරීමට සිදුවී ඇත. ඒ කාලය ගැන ඩේවිඩ් (ධනපාලයන්) විසින් 1962 වසරේ ලියන ලද AMONG THOSE PRESENT නම් කෘතියේ Anagarika Dharmpala චරිතය ගැන ලියා ඇති පරිච්ඡේදය ඇරඹෙන්නේ මෙසේය.

When I was about seven I happened to be a Sales boy in a curry stuffs boutique in suburb of Galle, Kumbalwella. The chief sales man of the shop had certain pretentions to culture. When the day’s work was done and the last plank of the door way fitted into its groove and bolted and locked he read to us, with the aid of a bottle lamp Interesting bits out of the Sinhalese papers.
I over and again in these passages from the press would occur the name of one Anagarika Dharmapala.” 

වයස අවුරුදු හතේදී ගාල්ලේ කඩමණ්ඩියේදී ධර්මපාලතුමාගේ දේශනය අසා සිටි කුඩා ඩේවිඩ් තම ඉංග්‍රීසි නමත් පරංගි වාසගමත් වෙනස් කොට ඩී.බී. ධනපාල බවට පත්විය. ධනපාලගේ ජීවිතයේ වෙනසක් වූයේ එතැන් සිටය. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නොතිත් ආසාවෙන් සිටි ඔහු පියාට කියා හම්බන්තොට සාන්ත මේරීස් විද්‍යාලයට ඇතුළත් විය. තම පුතා ඉංග්‍රීසියට ගජ හපනකු බව විදුහල්පති කන්නන්ගර මහතාගෙන් දැනගත් පියාට අවශ්‍යව ඇත්තේ තම පුතා ඉංග්‍රීසි උගතකු කිරීමටය.

විදානෙ ආරච්චි මහත්තයා, පුතාව ගාල්ලේ මහින්දෙට යවලා හොඳට ඉංග්‍රීසි දැනුමක් ලබාදෙමු. මහින්දෙ විදුහල්පති පියර්ස් මහත්තයා හොඳ ඉංග්‍රීසි උගතෙක්. කන්නන්ගර මහතා ධනපාල දරුවා ගැන කියා ඇත.

ගාල්ලේ මහින්ද විද්‍යාලය උගතුන් රුසක් රටට දායාද කළත්, මහා පත්‍රකලාවේදියකු මහින්දයෙන් රටට දීමටද මුල් වූයේ ධනපාලගේ උපන් හැකියාවන් නිසාය. රහට ඉංග්‍රීසි භාෂාවෙන් කුඩා ධනපාල ලියූ ලිපි විද්‍යාලයීය සඟරාවේ පළවිය. විදුහල්පති ඇෆ්.ජී. පියර්ස්, ගුරුවරයකු වූ ජී.පී. ආරියරත්න යන මහතුන් නිසා ධනපාල පරමවිඥානාර්ථවාදියෙක් විය. විශේෂයෙන් පියර්ස් මහතා යාපනේ පරමේශ්වර විදුහල්පතිව ගිය පසුද, ඔහු අලහබාද් විශ්වවිද්‍යාලයට ගිය පසු ඔවුන් සමඟ ධනපාල ඉන්දියාවට ගොස් අලහාබාද් හා පංජාබ් හි විශ්වවිද්‍යාලවලට ගොස් බී.ඒ. හා එම්.ඒ. උපාධි ලබාගත්තේය. ලීඩර් හා ස්ටේට්මන් පුවත්පත් මගින් ධනපාල ඉන්දීය ජාතික සටනට උරදෙමින් ඉන්දීය ජාතික වීරයන් ගැන ලංකාවේ ඩේලිනිව්ස් පත්‍රයට ලිපි ලිවීය. ඩේලිනිවුස් පත්‍රයේ කර්තෘ හර්බට් හුළුගල්ල ධනපාලට ලංකාවට ඇවිත් පත්‍රයේ වැඩ කරන්නයි ඇරයුම් කළේය.

ධනපාල විසින් ඩේලිනිවුස් පත්‍රයට ලිපි ලියා ඇත්තේ Janus (ජෙනස්) යන අන්වර්ථ නාමයෙනි. මහාචාර්ය ගුණපාල මලලසේකර දිනක් ධනපාලයන්ට කතා කළේය.

ධනේ, මගේ යාළුවෙක් ඉන්නවා. නම මුතුවේලු. අපේ ඔඩිටර් ජනරාල්. එයාට ඉන්නේ දුවල දෙන්නෙක්. එක් කෙනෙක් හොඳ චිත්‍ර ශිල්පියෙක්. මූර්ති අඹන්නත් පුළුවන්. දෙවැනියා සංගීතයට දක්ෂයි. දෙන්නම ශාන්ති නිකේතනයේ ඉගෙන ගෙන තියෙන්නෙ. මේ දක්ෂ ළමයි ගැන මුකුත් ඩේලිනිවුස් පත්‍රයට ලියන්න හැකිවෙයිද?

දිනක් මලලසේකර මහතාත් ඡායාරෑප ශිල්පියකුත් සමඟ මුතුවේලු නිවසට ගිය ධනපාලයන් මුතුවේලු සොහොයුරියන් සමඟ කුළුපග විය. මුතුවේලු සොහොයුරියන් ගැන ධනපාලයන් විසින් ලියූ විශේෂාංගය කදිමට පත්‍රයේ පළවිය. මේ සබඳතාවය නිසා ධනපාලයන් එම නිවසට අමුත්තෙක් නොවීය. ඔහුගේ සිත චිත්‍රශිල්පිනී රතී මුතුවේල් තරුණිය වෙත ඇදී ගියේ නිරායාසයෙනි. රතී එයට ආදරණීය ප්‍රතිචාර දැක්වූවාය. මේ සම්බන්ධයට බාධා එනවිට ඔවුහු රහසින් විවාහ ගිවිස ගත්හ.

ඩේලිනිවුස් කර්තෘ ස්ටුවට් සමඟ ඇතිවූ බහින් බස්වීමක් හේතුකොට ධනපාලයන් එයින් ඉවත්ව ගියේය. කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනේ යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොල රාහුල, කළල්ඇල්ලේ ආනන්දසාගර, කොටහේනේ පඤ්ඤකිත්ති, බඹරුන්දේ සිරිසීවලී හිමිවරුන්ගේ ළබැඳි මිතුරෙකුව සිටි ධනපාලයන්ට කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දරන කාලයේ අවශ්‍යව තිබුණේ හොඳ සිංහල පත්තරයක් කිරීමටය. මේ සඳහා ටයිම්ස් සමාගමේ කළමනාකාරීත්වයට බලපෑම් කළ හැකි මිතුරකු මාර්ගයෙන් ඒ සඳහා කපුකම කිරීමට ඔහු සමත් විය.

1947 ඔක්තෝබර් 29 වැනිදා ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ හවස පත්‍රයක් ධනපාලයන්ගේ පරිපාලන කර්තෘත්වයෙන් නිකුත් විය. පත්‍රයට ලංකාදීප නම තැබුවේ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් හා සිංහල භාෂා විශාරදයකු වූ ජුලියස් ද ලැනරෝල් මහතා විසිනි ලංකාදීප මුල්ම කර්තෘවරයා වූයේද ලැනරෝල් මහතාය. අලුත් පත්‍රය හරහා වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතාව මෙන්ම දිවයිනේ ලේඛකයන්, කවියන්, ආධුනිකයන්, කාර්මික ශිල්පීන්, සිනමාකරුවන්, නළු නිළියන්, සිත්තරුන් ඒකරාශී කිරීමට පුරෝගාමී වූ ධනපාලයන් ටික දිනකින් ලංකාදීප පත්‍රයෙන් ඔවුන් ඔසවා තැබීමට පියවර ගත්තේය. ප්‍රධාන කර්තෘ වී ටික දිනකින් ඉරිදා ලංකාදීප පත්‍රයද ලොකු ප්‍රමාණයෙන් නිකුත් කිරීමට සමත් විය.

ගුණදාස ලියනගේ කියා ඇති අන්දමට ධනපාල මහතා ලංකාවේ අතිදක්ෂ කර්තෘ මණ්ඩලයක් ලංකාදීපයට එකතු කරගත් බවය. ඒ අතර නිමල් කරුණාතිලක, මහානාම දිසානායක, ප්‍රින්ස් ගුණසේකර, වී.ඩි. ද ලැනරෝල්, රත්න දේශප්‍රිය සේනානායක, ධර්මසිරි ජයකොඩි, කේ.එම්. සිරිසේන, පියල් වික්‍රමසිංහ, දීගොඩ පියදාස, පෙරමුණේ තිලක, ධර්මපාල වෙත්තසිංහ, ධර්ම ශ්‍රී කුරුප්පු, සාගර පළන්සූරිය, මීමන ප්‍රේමතිලක, ඩී.එෆ්. කාරියකරවන, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩී.වී. සෙනෙවිරත්න, කරුණාසේන ජයලත්, සුනිල් හේවගේ, ගිල්බට් ඩයස්, ඊවා රණවීර, ගුණසෝම සමරසිංහ, චිත්‍ර ශිල්පීන් වන ජී.එස්. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න, තමාට පෙර කර්තෘ මණ්ඩලයේ සිටි බවය.ගුණදාස ලියනගේ, මඩවල එස්. රත්නායක, චන්ද්‍රසිරි කුලරත්න, ඩී.එච්. අභයසිංහ, සමන් තිලකසිරි කර්තෘ මණ්ඩලයට පසුව එක් වී ඇත.

සිංහල සංස්කෘතිය, කලාව, උසස් තලයට ගෙන ඒමට ධනපාලයන් ගත් උත්සාහය සාර්ථක වී ඇත. සල්ලිවලට ගන්න බැරි අභීත, කෙළින් වැඩකරන යුක්තියට ගරුකළ මේ මිනිසා වටා සිටි ලංකාවේ අගමැති ලකිසුරු, මැති ඇමැතිවරු හා සියලුම දේශපාලන නායකයන් කියා ඇත්තේ මේ මිනිහා කිසිවකුට නම්මාගත නොහැකි යකඩ යකෙක් බවය.
ඩී.එස්. සේනානායක මහතා අගමැති ධුරය දරන කාලයේ දිනක් ලංකාදීපයෙන් එක්තරා නාස්තියක් පිළිබඳ වාර්තාවක් නිසා රජය කලබල වූ හැටි ලියනගේ ලියූ චරිත කතාවේ සඳහන් වෙයි. දෙවැනි එළිසබෙත් මහ රුජිණ ලංකාවට ඒමට නියමිතව තිබූ නිසා රජය මෙහි ලක්ෂ ගණන් වියදම් කර ඒ වෙනුවෙන් කටයුතු සංවිධානය කළ හැටි රුජිණගේ ගමන අවලංගු කිරීම නිසා මහජන මුදල අපගේ ගිය හැටි ගැන වාර්තාවක් ලංකාදීප පත්‍රයේ පළවිය.

මේ ප්‍රවෘත්තියෙන් කලබල වූ එවකට ස්වදේශ කටයුතු ඇමැති සර් ඔලිවර් ගුණතිලක වෙව්ල වෙව්ලා ටයිම්ස් අධ්‍යක්ෂ මණ්ඩලයටත් ධනපාලයන්ටත් තම ඇමැති කාර්යාලයට කැඳවීය. අධ්‍යක්ෂවරු බලාපොරොත්තුව ඇත්තේ ධනපාල සර් ඔලිවර් ඉදිරියේ දණ ගස්සා ඔවුන්ගේ ඇඟ බේරාගැනීමටය.

සර් ඔලිවර් කියන කියන තැන්වලට යන්න මම සූදානම් නෑ. ඒත් ටයිම්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් හැටියට මට යම් ගමනක් යන්න ඔබ නියම කරනව නම් ඒක පිළිපදින්නට සූදානම්.

අන්තිමේදී ධනපාලයන් අධ්‍යක්ෂවරුන් සමඟ සර් ඔලිවර් හමුවීමට ගොස් ඇත. ඔහු සුපුරුදු ගොත ගැසීමෙන් ඉතාමත් කටුක ලෙස ධනපාලට දෙහි කපන්නට පටන් ගත්තේය.

ධ... ධ... ධනපාල.... අධ්‍යක්ෂ මණ්....ඩලයටත් වැලි ගහලා බ්‍රිතාන්‍ය විරෝධී ව්‍යාපාර ගෙන යනවා....

ධනපාලයන් ගොරෝසු හඬින් කතා කරන්නට පටන් ගත්තේය.

මේක මගේ වාර්තාවක් නෙවෙයි. වික්ටර් ලුවිස් ලන්ඩන් නුවර පත්තරේට යවන්න ලෑස්ති කරපු වාර්තාව. මෙන්න ටයිම්ස් පත්තරේ පිටුවේ පෘෘෆ් එක.

සර් ඔලිවර් පෘෘෆ් එක බලද්දී අධ්‍යක්ෂවරු මුහුණට මුහුණ බලාගත්හ.

මට බොහොම කණගාටුයි. ධනපාල වෙච්ච දේට. සර් ඔලිවර් ධනපාලගෙන් සමාව ඉල්ලීය.

මේ කතාව විස්තර කර ඇති ගුණදාස ලියනගේ 1959 බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තබා මැරීම පිටුපස කුමන්ත්‍රණයක් පැවති බව ලංකාදීප පත්‍රයේ මුල් පිටුවෙන් ධනපාල රටට හෙළි කළ බව කීය.

අගමැති දහනායක මහතා හොඳටම කලබල වී රහස් පොලිසියේ ප්‍රධානී පේට් අගමැති කාර්යාලයට ගෙන්වා දෙහි කපා ඇත.

අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ධනපාලට ටෙලිෆෝන් කළේය.

අගමැතිට හොඳටම කේන්ති ගිහිං. ඉක්මනට ගිහින් කාරණාව විස්තර කරලා බේරුමක් කර ගන්න.

අපි කිසිම වරදක් කරල නෑ. මට බෑ අගමැති හම්බවෙන්න යන්න.

කරුණාකරලා ධනපාල දහනායකගෙන් සමාව ගන්න. සර් ඔලිවර් කරුණාවෙන් කීය.

අධ්‍යක්ෂවරයෙක්ද කීවේද ඔබ හරි ධනපාල. අගමැති ගාවට යන්න ඕනෑ නෑ. කියාය. ධනපාල ගියේ නැත. ඒ ධනපාලගේ හැටිය.

ලබන සතියට...

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03