කෝවිඩ් වසංගතය සමඟ මුළුමනින්ම බිඳවැටුණු කර්මාන්තය වූයේ සංචාරක කර්මාන්තයයි. ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවනෝපාය අහිමි කළ මෙම බිඳවැටීම සමස්ත රටටම ඉතා අයහපත් ලෙස බලපෑවේය. වසංගතය ආරම්භයේදී සංචාරක කර්මාන්ත පිළිබඳ විශාල කතාබහක් ඇතිවුවද පසුව බොහෝ දෙනාට සංචාරක කර්මාන්තය පිළිබඳ අමතකව ගියේය. එහෙත් පසුගියදා සංචාරක කර්මාන්ත යලි පණ ලබන්න සැරසීම පිළිබඳ පුවත සමඟ මේ වනවිට මෙම ක්ෂේත්‍ර පිළිබඳ සැලකිය යුතු සමාජ සංවාදයක් ආරම්භ විය. එම නිසාම සමස්ත රටටම සුභදායක වූ මෙම ආරංචි පිළිබඳ පුළුල්ව විමසා බැලීමේ අවශ්‍යතාව අපි හඳුනා ගතිමු.
මෙම සංවාදයට පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ කර ගතිමු. සංචාරක කර්මාන්ත පිළිබඳ රාජ්‍ය වගකීම දරන ප්‍රධානතම ආයතනය වන සංචාරක මණ්ඩලයේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය පළමුව අප හා සම්බන්ධ විය.
“ගුවන්තොටුපොළ නැවත විවෘත කරන්න මූලික සැලසුම් කෙටුම්පත් කරලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. එහි අන්තර්ගත වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අදාළ අංශ සමඟ අපි මාස ගණක් සාකච්ඡා කරලා සකස් කරගත් ක්‍රියාමාර්ග. උදාහරණ විදිහට කොච්චර ගුවන් යානා එනවද, කොපමණ පිරිසක් ලංකාවට පැමිණෙනවද, මොන වගේ හෝටල්වලද නවාතැන් ගන්න පුළුවන්?, කොහොමද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිදේහජනක පරීක්ෂණ කරන්නේ වගේ දේවල් එහි අන්තර්ගතයි. මෙම සැලැස්ම අනුමත වීම පිළිබඳ තීරණය ගන්නේ සෞඛ්‍ය අංශ විසින්. අපි කරන්නේ නිර්දේශ ඉදිපත්කිරීම."
ගෙවුණු සතියේ මීට අදාළ සාකච්ඡා ආරම්භ විය. සංචාරක අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු දෙපාර්ශ්වයේම නිලධාරීහු ඊට සහභාගී වූහ. ලැබී ඇති තොරතුරු අනුව නුදුරේදීම නිල වශයෙන්ම සංචාරක කර්මාන්තයේ ආරම්භය පිළිබඳ පුවත වාර්තා කිරීමට අපට හැකිවනු ඇත. සංචාරක මණ්ඩලයේ සභාපතිනිය මේ වනවිට ආයතනයක් ලෙස සංචාරක කර්මාන්ත සම්බන්ධව ගෙන ඇති පියවර ද අප වෙත හෙළිදරව් කළාය.
“මේ අතර කාලයේ අපි කරපු වැඩේ තමා පිටු අසූවක වගේ දීර්ඝ සවිස්තරාත්මක මාර්ගෝපදේශ සංග්‍රහයක් නිර්මාණය කිරීම. ඒ අනුව සංචාරක හෝටල් වෙනුවෙන් සහතික කිරීමක් අපි ලබාදෙනවා. KPMG කියන ජාත්‍යන්තර විගණන ආයතය අපි ඒ සඳහා පත්කරලා තියෙනවා. ඒ අනුව සංචාරක හෝටල් හැට තුනක් මෙම පරීක්ෂණයෙන් සමත් වෙලා තියෙනවා දැනට. ඔවුන්ට ලබාදෙන සහතිකයේම අන්තර්ගත වෙනවා QR Cord එකක්. සංචාරකයන්ට පුළුවන් හෝටල් වෙත ආවම ඒ QR Cord එක Scan කරලා අපිට තොරතුරු ලබාදෙන්න. අනුමැතිය දීලා පැත්තකට වෙන ක්රමවේදයක අපි නෑ. දැනටමත් හෝටල් සංගමයට අපි කතා කරලා මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා.
සංචාරක කර්මාන්ත නැවත ආරම්භ කිරීමේදී වැඩි වගකීමක් පැවරෙන්නේ සංචාරක හෝටල් හිමියන් වෙතයි. එම නිසාම සංචාරක මණ්ඩලය සහ හෝටල් සංගමය අතර වූ සංවාද දැන ගැනීමට අපි උත්සුක වූයේමු.
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මෙම සංවාදයට සම්බන්ධව කරගතිමු.
සංචාරක මණ්ඩලයෙන් අපි මේ පිළිබඳ දැනුම් දුන්නා. අපේ අදහස් විමසුවා. අපි ඒ යෝජනාවලිය සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. මෙය තමා හොඳම විදිහ සංචාරක කර්මාන්ත ආරම්භ කරන්න. මෙතැන Level 01 සහ Level 02 කියලා හෝටල් වර්ග දෙකක් පිළිබඳ සඳහන් වෙනවා. ලංකාවට එන සෑම සංචාරකයෙක්ම Level 01 හෝටලයක දවස් 14ක් සිටිය යුතුයි. පස්සේ තමා Level 02 හෝටල්වලට යෑමට ඉඩ දෙන්නේ. මේ හරහා ලංකාවේම හෝටල් කර්මාන්තයේ නියැලී සිටින සියලු දෙනාටම යම් ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසාම අපේ අනුග්‍රහය සහයෝගය මේ සැලැස්ම වෙනුවෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා
හෝටල් කාණ්ඩය දෙකකට බෙදමින් දියත් කිරීමට බලාපොරොත්තු වන සැලැස්ම පිළිබඳ වැඩිදුරටත් අප වෙත පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවේ මණ්ඩලයේ සභාපතිනියයි.
මෙතැනදී Level 01 හෝටල් ලෙස නම් වෙන්නේ KPMG සහතික ලැබුණු හෝටල්. සංචාරකයන් ලංකාවට එන්න පෙර වීසා ලබාගැනීමේදී අපිට යන්න ඕනෑ පළමු කාණ්ඩයේ කුමන හෝටලයේද තමන් නවාතැන් ගන්නේ කියලා. අපි කියන්නේ නෑ මොන හෝටලයටද යන්න ඕනෑ කියලා. අර හැටතුනෙන් එකක් ඒ අය තෝරාගනියි. එතැන තියෙනවා වෙරළ හෝටල් සීයට පනහක් වගේ. ඉතිරි සීයට පනහා රට ඇතුළට තියන හෝටල්. සෞඛ්‍ය අංශ දැනට කියලා තියෙන්නේ පළමුවෙන්ම අපි වෙරළාශ්‍රිත හෝටල් සහ වෙන් වෙන්ව කාමර පහසුකම් තියෙන හෝටල් විවෘත කරමු කියලා.
මෙතැනදී එක් අයෙක් සති දෙකකට Level 01 හෝටලයක නවාතැන් ගන්න ඕනෑ. අපි ඉල්ලීමක් කළා මේ කාලය තුළ පළමු පෙළ මේ හෝටල් අතර මාරු වෙන්න එක් අවස්ථාවක් ලබා දෙන්න කියලා. නමුත් සෞඛ්‍ය අංශ තවම ඊට අනුමැතිය දීලා නෑ. කොහොම වුණත් ලංකාවට එන සංචාරකයන්ට පළමු සති දෙක තුළ හෝටලයේ ඇතුළත ජිම් එකට, පූල් එකට, රෙස්ටුරන්ට් එකට ඕනෑම තැනකට යන්න පුළුවන්. විවෘත අවන්හල් ක්‍රමයක් තියෙන්නේ. AC නෑ රෙස්ටුරන්ට් ඇතුළත. මීටර් තුනේ පරතරයට මේස සකස් වෙන්න ඕනෑ. හැබැයි මේ දේවල් සංචාරකයන්ට කරදරයක් වෙන විදිහට පෙන්න පෙන්නා කරන දේවල් නෙවෙයි. ඊට අදාළව කටයුතු කළ යුතු ආකාරය අපි හෝටල් කළමනාකාරීත්වයට උපදෙස් ලබා දෙනවා. ඒ වගේම හමුදාපතිතුමාටත් අපි කතා කරලා උත්සාහ කරමින් ඉන්නවා වෙරළාශ්‍රිත හෝටල්වලට වෙරළේ පොඩි කොටසක් වෙන්කරන්න ඒ සංචාරකයන්ට විතරක් භාවිතා කරන්න.
මෙම ක්‍රමවේද ඔස්සේ සෘජු වාසි සැලසෙන්නේ සංචාරක හෝටල් හිමියන්ටයි. සංචාරක කර්මාන්ත ආශිත සංචාරක මග පෙන්වන්නන්, වෙරළ නියාමකයන්, රියදුරන් ආදී පිරිසට එතරම් වාසි සැලසෙන්නේ නැත. මෙම ක්‍රමවේද ප්‍රායෝගිකත්වය ඒ අනුව ප්‍රශ්න ගතවෙයි. සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතා මේ හා සම්බන්ධව අප සමඟ සිය අදහස් බෙදා ගත්තේය.
මාලේ ක්‍රම අපිට ගැලපෙන්නේ නෑ.
මේ ක්‍රමය ප්‍රායෝගික ද කියන එක ගැටලුවක්. ලංකාවට සංචාරකයෝ එන්නේ ටුවර් කරන්න. මාලදිවයින වගේ රටවල් මේ ක්‍රමය පාවිච්චි කරනවා. එක දූපතකට එක හෝටලයයි තියෙන්නේ. හෝටලය තුළ සංචාරකයන්ට ඕනෑ තරම් ක්‍රියාකාරකම් තියෙනවා. සංචාරකයන්ට වෙරළේ සතුටු වෙන්න ඕනෑ තරම් පුළුවන්. අපේ මොනවාද තියෙන්නේ. එහේ ක්‍රමය එහෙම්පිටින්ම මෙහෙට ගලපා ගැනීම සාර්ථක නෑ. ලංකාවට එන සංචාරකයන්ගේ බලාපොරොත්තු වෙනස්. ඒක තේරුම් ගතයුතුයි. වැඩක් කරන්න ඕනෑ නිසා කිරීම නෙවෙයි වැදගත්. ප්‍රායෝගික කිරීම.
දවස් දාහතරක් එකම තැනක ඉන්න ලංකාවට සංචාරකයෝ එයිද කියන එක ප්‍රශ්නයක්. සති දෙකකින් පස්සේ සංචාරය කරන්න ගියත් ලංකාවේ ප්‍රශ්න. පහුගිය කාලේ සමහර තැන්වලට සංචාරකයන්ට යන්න ප්‍රදේශවාසීන් ඉඩ දුන්නේ නෑ. ඒවා ප්‍රායෝගික ගැටලු. ලෝකය පිළිගත් ක්‍රමයට අනුව සංචාරකයෙක් ලංකාවට ඇවිල්ලා ඔය කියන විදිහට සති දෙකක් ඉදලා ටුවර් එකකුත් ගිහින් ආයේ රට ගියොත් එහෙත් තවත් සති දෙකක් නිරෝධානය වෙන්න ඕනෑ. මෙහෙම ලොකූ කාලයක් නාස්ති කරන්න සංචාරකයන් කැමති වෙයිද කියන එක ගැටලුවක්.
ඒ කෙසේ වුවත් රජයේ සැලසුම යහපත් අත්තිවාරමක්. හෝටල් හිමියන්ට මේ හරහා අත්වන වසි වැඩි බවද පෙනී යයි. ඒ හා සම්බන්ධව අප හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතාගෙන් වැඩිදුරටත් විමසා සිටියෙමු.
හෝටල් හිමියන් විදිහට අපි වාසියක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ නෑ. සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන අය ලක්ෂ විස්සක් පමණ ඉන්නවා. ලක්ෂ පහක් ඉන්නවා හෝටල් අංශයේ සහ අනුබද්ධ අංශවල. කර්මාන්ත නැවත විවෘත වීම හරහා ඒ අයගේ ජීවනෝපාය නොකගන්න ශක්තියක් ලැබෙනවා. එය තමා පළමුවෙනි කාරණාව අපි උත්සාහ කරන අපේ සේවක පවුල ආරක්ෂා කරගන්න. අපි ආණ්ඩුවෙන් ඉල්ලා තිබ්බා අවම වශයෙන් රුපියල් විසිදාහක වැටුප් ගන්න අයගේ වැටුප් ගෙවන සහන ක්‍රමයක්. ඒකට කැබිනට් අනුමැතියත් හිමි වෙලා තියෙනවා කියනවා. ඒත් අපට තවම ඒ අවස්ථාව හිමිවුණේ නෑ. හෝටල් හිමියන් විදිහට කිසිදු ආදායමක් නොමැති තත්ත්වයක ඉන්නේ
අවසානයේ මතුවන්නේ වෙනත් කරුණකි. එහෙත් සංචාරක කර්මාන්තය නැවත පණ ලැබීම හරහා මේ සියලුම ගැටලුවලට විසඳුම් ක්‍රමයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එහෙත් ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිර ඇති පසුබිමක සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම පිළිබඳ වැඩපිළිවෙළ කුමක්ද? එය සැබෑ ගැටලුවකි. ඒ පිළිබඳ අප විමසා සිටියේ සංචාරක මණ්ඩලයේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මියගෙනි.
දැනට මේ සම්බන්ධව නිර්දේශ අපි ඉදිරිපත් කරලා තියෙනවා කැබිනට් අනුමැතිය සඳහා. අනුමැතිය ලබුණොත් වීසා ලබාදීමේ වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 35ක මුදලකට අපි ඔන්ලයින් වීසා එකක් දුන්නේ මාසෙකට. දැන් අපි කියන්න යන්නේ සංචාරකයන්ට ඩොලර් තිස්පහකට මාස හයක් වීසා ලබා දෙන්නම් කියලා. ඒකට හේතුව දීර්ඝ කාලයක් නවාතැන් ගන්න සංචාරකයන් මෙරට ගෙන්වා ගන්න තමා අපි උත්සාහ කරන්නේ. කෝවිඩ් තිබුණත් අපි නිකන් හිටියේ නෑ. ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළා. ඔන්ලයින් ක්ලවුඩ් සෆාරි එකක් කළා මිලියන හතක් නරඹලා තිබුණා. අපි කරන්නේ ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන්.
ඒ කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුත්තේ යහපත් ආරම්භයක් යනු අවසානයෙන් අඩක් බවය. එම නිසා ආරම්භ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය අතිශය වැදගත් වේ. ප්රායෝගිකත්වයත්, සෞඛ්‍ය ආරක්ෂාවත්, සාධාරණයත් මෙහිලා සමබර කරගැනීම අභියෝගකි. එහෙත් එය අප ජය ගත යුතුව තිබේ.
චමිඳු නිසල් ද සිල්වා