2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

ගිනිකෙළි ප්‍රහාර මැද නිපන්දු අවුල

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

සූරියවැවදී දැන් පැවැත්වෙන ලංකා ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරන පා දඟ පන්දු යවන්නකු ‘නිපන්දුවක්’ යැවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය සතිය වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි. 

එම පා දඟ පන්දු යවන්නා පළමු පන්දුවෙන් කඩුල්ලක් දවාගැනීමෙන් පසුව හයවැනි පන්දුව ‘නිපන්දුවක්’ යැවීය. එම පන්දුවට හයේ පහරකින් සංග‍්‍රහ කිරීමට ප‍්‍රතිවාදී ශ්‍රී ලාංකික පිතිකරු සමත් විය. 
එම ‘නිපන්දුව’ යැවූ අවස්ථාවේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයන් මහ හඬින් පැවසුවේ එම ‘නිපන්දුව’ විශ්වාස කළ නොහැකි බවය. එහිදී විස්තර විචාරකයන් පැවසුවේ එය ‘ලොකු නිපන්දුවක්’ හෙවත් පන්දු යැවීමේ සීමා ඉරෙන් වැඩි ප‍්‍රමාණයක් ඉදිරියට පැමිණි එකක් බවය.  එහිදී එම දඟ පන්දු යවන්නාගේ දකුණු පාදය සීමා ඉරෙන් අඟල් තුනක් පමණ ඉදිරියෙන් තිබුණි.  

පන්දුවට පහර දෙමින් සිටි කණ්ඩායම එම පන්දුවට ලකුණු දෙකක් ලබාගත්තේ නම් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජයග‍්‍රාහී සීමාවට ළඟාවීම හේතුවෙන් එම ‘නිපන්දුව’ වඩාත් සුවිශේෂී විය. එම ‘නිපන්දුව’ සහ හයේ පහර සමගින් ප‍්‍රතිවාදී කණ්ඩායම ලකුණු පහකින් පෙරමුණට පැමිණියේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පන්දු යවන්නාගෙන් තරගය අවසන් වූ වහාම අන්තර්ජාතික ක‍්‍රිකට් සභා සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ මර්දන ඒකකවල නිලධාරීන් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වේ. අදාළ පන්දු යවන්නාගෙන් පැය හතරක පමණ කාලයක් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වේ.  අදාළ පන්දු යවන්නාගේ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් අයි.සී.සී. නිලධාරීන් බාරයට ගෙන ඇති බව ද දැනගන්නට තිබේ. ඔහුව පසු දින නැවත කොළඹ බලා පිටත් කර හරිනු ඇති බව කතා පැතිර ගිය ද ඔහු මේ දක්වා තරගාවලියේ රුඳී සිටියි.

මෙම පන්දු යවන්නා එල්.පී.එල්. තරගාවලියට අවසන් මොහොතේ එක්වූ ක‍්‍රීඩකයකු වන අතර ඔහු වෙනත් විදේශ තරගාවලියකට සහභාගි වීමට සූදානමින් සිටි බවට ද කතා පැතිර යයි. කෙසේ වෙතත් එම ක‍්‍රීඩකයා ඉන් පසුව නිපන්දු නොයැවූ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති තරගයේදී එම දඟ පන්දු යවන්නා ජයග‍්‍රාහී පන්දු යැවීමක නිරත වූ ආකාරය දැකගත හැකි විය.    
‘‘සමාජ මාධ්‍ය ජාලවල තියෙන දේවල්වල අඩු වැඩිය මාධ්‍යයට කියන්න මට අයිතියක් නෑ. නමුත් මම ඔබට එකක් කියන්න ඕනේ. අපේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරක්‍ෂා කර ගන්න සහයෝගය දෙන්න’’ යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අදාළ නිලධාරියාගේ ඉල්ලීම වගකිව යුතු ඕනෑම මාධ්‍යවේදියකු අනුමත කරන බව විශ්වාසයයි. එය එසේ වුවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් අතීතයේ වගකීමෙන් කටයුතු කර තිබේදැයි ප‍්‍රශ්න කළ යුතුය. 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) දූෂණ මර්දන අංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ හිටපු ක‍්‍රීඩකයන් වන පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ නීතිය ද උල්ලංඝණය කරමින් අපරාධකරුවන් ලෙස රැගෙන යන තෙක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීහු ඇස් කන් පියාගෙන සිටියහ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයට පැන පුහුණුකරුවන් රැගෙන ගිය අවස්ථා ද තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අයි.සී.සී. දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට පහසුකම් සැපයීම සඳහා 2019 වසරේ ජනවාරි මස ඩොලර් 13,400ක් හෙවත් රුපියල් ලක්‍ෂ 25කට ආසන්න මුදලක් වැය කර තිබුණි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක සභාවේ ඇතැම් නිලධාරීහු ප්‍රශ්න කළහ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම මුදල් වැය කළේ අවිෂ්ක ගුණවර්ධන වැනි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ප‍්‍රයෝජනයක් ගත හැකි තරුණ පුහුණුකරුවන් අමාරුවේ දැමීමට බව අමතක නොකළ යුතුය. 
ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී පාකිස්තානු හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඩ් අෆ්රිඩි පසුගිය බදාදා හිටිහැටියේම පාකිස්තානය බලා පිටත්ව ගියේය. අෆ්රිඩිගේ සිඟිති දියණිය දැඩිව රෝගාතුරව සිටීම මෙම හදිසි පිටත්ව යෑමට හේතුව බව දැනගන්නට තිබේ. 

මහනුවර ටස්කර්ස් පිලට ක‍්‍රීඩා කිරීම සඳහා දකුණු අප‍්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ඩේන් ස්ටෙයින් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ස්ටෙයින් වැනි ක‍්‍රීඩකයකු පැමිණීම එල්.පී.එල්. තරගාවලියට තවත් ශක්තියක් මෙන්ම තරුණ වේග පන්දු යවන්නන්ට ඔහුගෙන් බොහෝ දේ උකහා ගැනීමේ අවස්ථාව ද හිමිවේ. 

මෙම තරගාවලියේ මේ දක්වා පැවැති තරග 10 දී ගාල්ල ග්ලැඩියේටර්ස් පිල තරග හතරම පරාජය වීම කැපී පෙනුණි. ගාල්ල පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉදිරි සතියේ සහභාගි වන තරග හතරම ජය ලැබිය යුතුය. 
මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව පිතිකරුවෝ ඉහළ නංවමින් සිටිති. මෙම සටහන තබන මොහොත වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක සහ අවිෂ්ක ප‍්‍රනාන්දු සාර්ථකම පිතිකරුවෝ බවට පත්ව සිටියහ. 

යාපනය ස්ටැලියන්ස් පිලේ නායක තිසර පෙරේරා කණ්ඩායම අමාරුවේ වැටී සිටි අවස්ථාවේ දඹුල්ල පිලට එරෙහිව රුස් කළ ලකුණු 97 එල්.පී.එල්. තරගාවලියේ මේ දක්වා ආකර්ශනීයම ඉනිම බවට පත්ව තිබේ. 
තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් ලෙස ජාතික කණ්ඩායමේ ස්ථානය ලැබූ දසුන් ශානක පිතිකරණයට වැඩි අවධානයක් යොමු කරමින් අර්ධ ශතක දෙකක් රුස් කිරීමට සමත් විය. ගාල්ල පිල තරග පරාජයට පත් වුවද ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ලෙස අර්ධ ශතක දෙකක් සමගින් යුතුකම් ඉටුකිරිමට සමත් විය. 

යොවුන් පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු සාර්ථක පිතිකරුවන් ලැයිස්තුවට ඇතුළත්ව සිටීම වඩාත් වාසිදායකය. අවිෂ්ක පළමු තරගයේදී යාපනය පිලේ බර කරට ගෙන නොදැවී රැස් කළ ලකුණු 92 වඩාත් කැපී පෙනුණි. 
විස්සයි20 තරගවලදී පන්දු යවන්නන්ට සාර්ථක වීමට ඇති ඉඩ ඉතාමත් අල්ප බව අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වනිඳු හසරංග සාර්ථකව සිටියේය. විදේශ ක‍්‍රීඩකයන් අතරින් ඔන්ඩ්‍රි රසල් කැපී පෙනුණි. 
පළමු වටයේ 10 වැනි තරගය පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී අවසන් වන විට යාපනය පිල සහභාගි වූ තරග හතරම ජය ලබා අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසු විය. දඹුල්ල පිල තරග තුනක් ජය ලබා ප‍්‍රසාද ලකුණු හයක් සමගින් දෙවැනි ස්ථානයේ පසු විය.

 සටහන: යොහාන් භාසුර