2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

දැවෙන ප්‍රශ්න

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

මහනුවර බඩු මිල හොඳටම වැඩියි

(ජේ.ඒ.එල්. ජයසිංහ)

අද වන විට මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට බලපාන දැවෙන ප්‍රශ්නයක් වන්නේ එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල ඉතා අධික වීමය.

අද මහනුවර නගරයේ පොල් ගෙඩියක මිල රුපියල් 95ක් වෙනවා. සීනි, පරිප්පු, සහල් නගරයේ සමහර වෙළෙන්දෝ තමන් හිතු හිතූ මිල ගණන්වලට විකුණනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක ජනතාව කබලෙන් ළිපට වැටිලා තියෙන්නේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික වීම නිසයි. මහනුවර පදිංචි එච්.එම්.ආර්.බී. හේරත් මහතා කියයි.
වැඩිදුරටත් අධික බඩු මිල පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීය. 

අද හාල් කිලෝව, පොල් ගෙඩිය, මිරිස් ටික, තුනපහ ටික ගන්න බැරි තත්ත්වයට ජනතාව අසරණ වෙලා. බඩු මිල පාලනයක් නැහැ. ගිනිපෙට්ටිය, සබන් කැටය ඉඳලා හිතු හිතූ මිල ගණන්වලට විකුණන සමහර වෙළෙන්දෝ ඉන්නවා. හාල්වල මිල නගරයේ එක එක වෙළෙඳසල්වල ඔවුන්ට හිතු හිතූ ගණන්වලට විකුණනවා. මේවා පාලනය කිරීමට සොයා බලන්න කෙනෙක් නැහැ. හාල් කිලෝවක මිල රුපියල් 115ටත් උඩින් ඉහළ ගිහින් තිබෙනවා. අල, කරවලවලට සීමා වූ මිලක් නැහැ. ජනතාවට අධික ආහාර ද්‍රව්‍ය අලෙවි කරන කූට වෙළෙඳුන්ගේ ගසාකෑමට ලක්වන්න සිදු වී තිබෙනවා. මේ කොවිඩ් වසංගතය පැතිර යන අවස්ථාවේ මුහුණු ආවරණවලින්, අත් සෝදන විෂබීජ නාශක දියරවලින් පවා මිනිස්සු ගසාකන අවස්ථාවාදීන් නගරයේ ඉන්නවා. ඔහු කීය.

කාමරේට ආපු අලියාට ගඩොල් කැට ගහලා දරුවන් බේරාගත්තා

(කරුණාරත්න ගමගේ)

අලි මිනිස් ගැටුම් හේතුවෙන් බැටකන ජනයා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි බී කලාපයේ බහුලව වෙසෙති. දිනපතාම පාහේ රාත්‍රී කාලයේ ගම්වදින වන අලින්ගේ හිරිහැර හේතුවෙන් තමන් ඉමහත් බියකට සහ පීඩාවකට පත්ව සිටින බවට එම ගම්වල ජනතාව නගන මැසිවිලි දෝංකාර දෙමින් නිතර ඇසේ. මෙලෙස පැමිණෙන වන අලින් වගාබිම්, ගෙවතු වගාවන් ආදී සියල්ල වනසා දමන බවද ඔවුහු කියති.

අරලගංවිල, ඇල්ලේවැව, මහදමන, අංක 208 ලිපිනයේ පදිංචි මහවැලි ගොවියකු වන එච්.බී. සංජීව කුලසිංහ (40) මහතා අප සමඟ කියා සිටියේ වන අලින්ට ගම්බිම් පුදා නික්ම යන්නට තරම් තත්ත්වයක් දැන් උද්ගතව තිබෙන බවය. පසුගිය දිනෙක මහ රෑ මැදියමේ තම නිවෙස තුළට කඩා වැදුණු වන අලියකුගෙන් දරු පවුලකගේ ජීවිත බේරාගත්තේ අනූ නවයෙන් බව හෙතෙම කීය. අලියා පැමිණ නිවෙසේ බිත්තියක් පෙරළා දැමූ බවත් ඒ අවස්ථාවේ තමන් එම පෙරළා දැමූ බිත්තියේ ගඩොල්වලින්ම පහර දී අලියා එළවා නොදමන්නට එවේලේ නිවෙස තුළ නිදා සිටි දරුවන් සිව් දෙනාටත් තමන්ටත් තම බිරියටත් අලියාගේ පහරකෑමට ලක්ව දුක්මුසු ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඒකාන්ත බවත් සංජීව කුලසිංහ මහතා කීවේය.

හෙතෙම පවසන පරිදි අලියා නිවෙසේ බිත්තියක් පෙරළාගෙන නිවෙස තුළට කඩා වැදී ඇත්තේ අලුයම 1.00ට පමණය. එහිදී තමන්ට මුහුණපෑමට සිදුවූ බියකරු අත්දැකීම පිළිබඳව සංජීව කුලසිංහ මහතා විස්තර කළේ මේ අන්දමටය.
මේ සිද්ධිය වුණු දවසේ මමයි බිරිඳයි මගේ දරුවෝ හතර දෙනයි අපි රෑට කෑම කාලා නින්දට ගියා. අපේ ගෙදර තියෙන්නේ කාමර දෙකයි. එක කාමරයක බඩු මුට්ටු දාලා, අනෙක් කාමරයේ තමයි අපි ඔක්කොමලා නිදාගන්නේ. මගේ ලොකු දුවයි, දෙවැනි දුවයි එක ඇඳක නිදාගත්තා. බාලම දුවට අවුරුදු තුනයි, ඊට වැඩිමල් අවුරුදු අටක් වයස දුවයි ඒ දෙන්නා එක්ක බිරිඳ අනෙක් ඇඳේ නිදාගත්තා. මම පැදුරක් එළාගෙන බිම නිදාගත්තා. මේ දවස්වල නිතරම වගේ අපේ ගමට අලි එන නිසා අපි හරිම සෙවිල්ලෙන් තමා ඉන්නේ. රූ දොළහට විතර ගමට අලියා ඇවිල්ලා ගමේ අය වෙඩි ගහන සද්දේ ඇහුණා. ටික වේලාවකින් අපේ කුඹුර හරියේ අලියා ගැවසෙන බව මට තේරුණා. රෑ එකට විතර අලියා අපේ ගෙදර බිත්තියක් කැඩුවා. ඒ බිත්තියේ කොටසක් මගේ ලොකු දුවලා දෙන්නා නිදාගෙන හිටිය ඇඳට වැටිලා ඇඳ කඩාගෙන වැටුණා. ඒ අය ඇඳට යටවෙලා කෑගහන්න පටන් ගත්තා. අලියා බිත්තිය කඩන වෙලේ මගේ බිරිඳ දරුවන්ගේ ඇඟට කොට්ට විසි කළා. ඒ හින්දා ගඩොල් කැට වැටිලා තුවාල වු‍ණේ නෑ.

අලියා බිත්තිය කඩාගෙන ඔළුව ගේ ඇතුළට දැම්මා. එහෙම ඔළුව දාලා දුවලා නිදාගෙන සිටි තැනට ඉව අල්ලලා දුවලාව හොඬවැලෙන් ඇදලා ගන්න උත්සාහ කරනවා මට පෙනුණා. මම ඉක්මනින්ම දුවලා දෙන්නාව හිටිය තැනින් ඇදලා පැත්තකට ගත්තා. මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. ඒත් අලියා ගියේ නෑ. මට කරකියා ගන්න කිසිම දෙයක් තිබුණේ නෑ. අලියා පෙරළාපු බිත්තියේ ගඩොල් කැට තැන තැන වැටිලා තිබුණා. මම ඒ ගඩොල් කැට අරගෙන අලියාට ගැහුවා. ඒ පාරවල් වැඩිපුරම වැදුණේ අලියාගේ කණ පැත්තට. විනාඩි විස්සක් විතර මේ විදියට එක දිගටම අලියට ගැහුවා. ඒ අතරතුර අහළ පහළ අයත් කෑගහන සද්දේ ඇහුණා. ටික වේලාවකින් අලියාගේ ඇතුළෙන් පිටතට ගියා. මමයි බිරිඳයි දරුවොත් අරගෙන ගෙදර කුස්සිය පැත්තට ආවා. අලියා ටික වෙලාවක් කුඹුර පැත්තේ හිටියා. ඉඳලා වැව පැත්තට යන්න ගියා. මරණ බයත් එක්කළ මට කරකියා ගන්න දෙයක් නැතිවයි මම අලියාට ගඩොල් කැටවලින් දිගට හරහට ගැහුවේ. එහෙම නොකළා නම් අපි කාට හරි අලියා අනතුරක් කරනවා ඒකාන්තයි. සමහර විට අපි හය දෙනාම අලියාට බිලිවෙන්න ඉඩ තිබුණා. නමුත් පූරුවේ වාසනාවකට අපිට ජීවත් වෙන්න ඉඩ ලැබුණා. ගොඩක් අය කියනවා අලි ගෙවල් කඩන්නේ වී කන්න කියලා. නමුත් අපේ ගෙදර වී ඇටයක්වත් තිබුණේ නෑ. දැන් මේ අලි කරදර හින්දා අපි ඉන්නේ හරිම බයෙන්. යැයි ද සංජීව කුලසිංහ මහතා කීවේය.

 

කිරිවෙහෙර මල් ළඳුන් බඩු මලු ඉල්ලන තරමට වැටිලා

(කතරගම කේ.ඩී. දේවප්‍රිය)

කතරගම කිරිවෙහෙර මාර්ගය යනු අපූරු සුන්දරත්වයක් ගෙන තිබූ කතරගම ප්‍රධාන මාර්ගයකි. එහි වෙසෙන බුදුන් හා දෙවියන් වෙත සුවඳ මල් පූජා කිරීමට මල් සපයන සුන්දර යුවතියන් රටේ කවුරැත් දන්නා පිරිසකි.
අනේ එන්න මල් ගන්න අපෙනුත් මල් ගන්න එන්න යන වදන්වලින් වන්දනා බැතිමතුන් ඇමතූ මෙම මල් තරුණියෝ, කාන්තාවෝ මේ වන විට අනේ අපිටත් බඩු මල්ලක් දෙන්න කියා ආයාචනා කරන තරමට කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආර්ථික අතින් කඩා වැටී සිටිති. 

මේ සම්බන්ධව අදහස් දැක්වූ වසර 30ක් පුරා මල් විකිණීම සිය ජීවන වෘත්තිය කරගත් වසන්ති එදිරිසිංහ මහත්මිය මෙසේ කියයි.  
අපි මල් ගේන්නේ අනුරාධපුර වැනි දුර පළාත්වල ගිහින්. මල් රැගෙන ආවත් බැතිමතුන් නැති නිසා සීයක් ගෙනාවත් මල් 10ක්වත් මේ දවස්වල විකුණාගන්න බෑ. මල් කියන්නේ වැඩි දවසක් තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි. අද අපි බැංකුවලට ණය වෙලා ඉන්නේ. වෙනදා දිනකට රුපියල් දෙදහක් පමණ හොයාගත්තා. අද වෙනකොට රුපියල් 50ක්වත් හොයාගන්න බැරි තත්ත්වයක අපේ ආර්ථිකය කඩා වැටිලා. මේ මල් කඩවල ඉන්න අයටත් දරුවන් ඉන්නවා. මේ අය බැංකු වෙත ණය වෙලා ඉන්නේ. විදුලි බිල්, වතුර බිල් ගෙවාගන්න විදිහක් නැතිවයි ජීවත් වෙන්නේ. අපේ මල් කඩ 30ක් පූජාභූමියේ තියෙනවා. මේ වසරේ කතරගම ප්‍රාදේශීය සභාවෙන් මේ කඩවලට ලොකු මුදලක් ගෙවන්න කියලා නියෝග කරලා තියෙනවා. ඇත්තටම අපි ගැන කවුරුවත් බලන්නේ නැහැ. අපි ගැන බලන්නේ ජනමාධ්‍ය පමණයි.

 

 

කාර්යමණ්ඩල හිඟකමෙන් බැටකන ගල්ගමුව මූලික රෝහල

(ගල්ගමුව නිහාල් ජයවීර)

ගල්ගමුව මූලික රෝහලේ පවතින වෛද්‍යවුන් ඇතුළු කාර්යමණ්ඩලයේ හිඟකම නිසා ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුව තිබේ. 
ගල්ගමුව, අරසන්වැව ඉහළ පදිංචි අයි.ආර්.බී. සේනාධීර මහතා  ඒ සම්බන්ධයෙන් මෙසේ කියයි.

ගල්ගමුව මූලික රෝහලට වෛද්‍යවුන් 40ක් ඕන. නමුත් දැනට සිටින්නේ වෛද්‍යවුන් 28ක් විතරයි. ඒ සිටින අයගෙනුත් තුන් දෙනකු දන්ත වෛද්‍යවුන්. නව දෙනකු විශේෂඥ වෛද්‍යවුන්. වෛද්‍ය අධිකාරිත් ඒ අතර ඉන්නවා. හෙද හෙදියන් 130ක් ඉන්න ඕන. ඒත් ඉන්නේ 85යි. මේ අයගෙනුත් 14 දෙනකු ප්‍රසූත හා වෙනත් නිවාඩු ලබාගෙන සිටින බව රෝහල් සංවර්ධන කමිටුවෙන් දැනගන්න ලැබුණා. කනිෂ්ඨ කාර්යමණ්ඩලය 100ක් ඉන්න තැනට දැන් ඉන්නේ 79යි. මේ උග්‍ර කාර්යමණ්ඩල හිඟය නිසා දැනට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම සීමා කරලා තියෙනවා. ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙඩ්ඩු හිස් අතින් ආපසු යනවා. මේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් දවසකට රෝගීන් 550කට විතර ප්‍රතිකාර ගන්න පහසුකම් තියෙනවා කියලා තමයි කියන්නේ. අද රෝගීන් 200-250කට තමයි ප්‍රතිකාර කරන්නේ.

දැඩි සත්කාර ඒකකය තාම විවෘත කරලා නෑ. නොමේරෑ ළදු ඒකකයත් එහෙමයි. මේවාට අවශ්‍ය භෞතික සම්පත් තියෙනවා. ඒත් වෛද්‍යවරුන්, හෙදියන්, අනෙකුත් කාර්යමණ්ඩල නෑ.
ගල්ගමුව, ඇහැටුවැව, මීගලෑව, ගිරිබාව, නවගත්තේගම, නාන්නේරිය, අස්ගලසියඹලාන්ගමුව, අතරගල්ල, අඹන්පොළ, පොල්පිතිගම, මොරගොල්ලාගම වාගේ ප්‍රදේශවල ජනතාවට කිට්ටුම මූලික රෝහල තමයි ගල්ගමුව රෝහල. ජපන් ජැයිකා අරමුදල් ආධාර යටතේ ුපියල් කෝටි ගණනක් වියදම් කරලා අංගසම්පූර්ණ රෝහලක තත්ත්වයට සංවර්ධනය කළත් කාර්යමණ්ඩලය හිඟය නිසා මේ රෝහලෙන් අද ජනතාවට සේවයක් වෙනවා බොහොම අඩුයි. සේනාධීර මහතා කීය.

 

කටුනායක කලාපේ හොස්ටල් ලොකු අවදානමක

(කටුනායක ටී.කේ.ජී. කපිල)

කොරෝනා වසංගතය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යෑමත් සමඟම බොහෝ ගැටලු රාශියක් නේවාසිකාගාර ආශ්‍රිතව නිර්මාණය වී තිබේ. මේ වන විට කටුනායක ඇවරිවත්ත, අමන්දොළුව, හල්ගස්තොට, ජයවර්ධනපුර ආදී ප්‍රදේශවල නේවාසිකාගාරවල සිටි බොහෝ පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වෙනත් දුර බැහැර ප්‍රදේශ වෙත ගෙන ගොස් තිබේ. එනිසා එම නේවාසිකාගාර මේ වන විට වසා දමා ඇති අතර, බොහෝ නේවාසිකාගාර රාත්‍රී කාලයේ සොරුන්ට ගොදුරුු වෙයි. 

ඊට අමතරව තවත් නේවාසිකාගාර විශාල ප්‍රමාණයක්, ඒවා තුළම, සිය නේවාසිකයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබේ. ඒ අනුව මේ වන විට සමහර නේවාසිකාගාර මාස දෙකක පමණ කාලයක් එසේ සීල් තබා, වසා දමා නිරෝධායනයට යොමු කර තිබේ. වරින් වර සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ මත අනාවරණය වන ආකාරයට දිග් ගැස්සෙමින්, මෙම නේවාසිකාගාර තුළ නිරෝධායන ක්‍රියාවලිය දිගින් දිගටම ඇදී යමින් සිදුවෙමින් තිබේ. මේ නිසා මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව සිටින්නෝ අත්‍යාවශ්‍ය ආහාර හිඟයකට මෙන්ම මානසික ආතතියට ද පත් වී සිටිති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම මොවුන් සේවය කරන කර්මාන්තශාලාවලින් සිදු කළද, එම කටයුතු ක්‍රමවත් ආකාරයට සිදු නොවේ. එසේම මෙසේ නිරෝධායන වන කාලසීමාව තුළ ඇතැම් කර්මාන්තශාලා වැටුපෙන් අඩක් මෙම සේවකයන්ට ගෙවීම සිදු කළද, තවත් කර්මාන්තශාලා එසේ වැටුප් ගෙවීමක් සිදු නොකරයි.

 

 

 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03