ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වූ අඩු පීඩන තත්ත්වය හේතුවෙන් හටගත් 'බුරවි' සුළි කුණාටුව මෙරට දිස්ත්‍රික්ක 12කට බලපෑවේය. පසුගිය 2 වැනිදා රාත්‍රියේ ත්‍රිකුණාමලය සහ මුලතිව් වෙරළ තීර අතරින් රටට ඇතුළු වූ මෙම සුළි කුණාටුව පසුගිය 3 වැනිදා මන්නාරමින් අරාබි මුහුදට දෙසට ඇදී ගියේය.
වසර 20කට පමණ පසුව මෙරටට බලපෑ දෙවැනි ප්‍රබලතම නිවර්තන චණ්ඩ මාරුතය මෙය විය. සුළි කුණාටුව පිළිබඳව මෙරට කාලගුණ දෙපාර්තමේන්තුව කල් තියාම ජනතාව දැනුවත් කළ බැවින් ජනතාව කල් තබාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට රටෙහි ආරක්ෂක අංශ සමත් විය. මෙම සුළි කුණාටුව හේතුවෙන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කිළිනොච්චි යන උතුරේ ප්‍රදේශ කිහිපයකම වැසියෝ 4000කට අධික ප්‍රමාණයක් පීඩාවට පත් වූහ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ මෙම කුණාටුව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
“පසුගිය 2 වැනිදා මෙරටට කඩා වැදුණු බුරවි සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 44848 දෙනකු පීඩාවට පත්වෙලා ඉන්නවා. ඒ වගේම මේ සුළි කුණාටුව හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. ඒ වගේම කුණාටුව බලපෑ අනෙක් ප්‍රදේශ කිහිපයකත් පුද්ගලයන් 6 දෙනකු පමණ මේ හේතුවෙන් පීඩාවට පත්වෙලා ඉන්නවා. නිවාස 50කට පූර්ණ හානි සිදුවෙලා තියෙනවා. ඒ වගේම නිවාස 2148කට අර්ධ හානි මේ කුණාටුව හේතුවෙන් සිදුවෙලා තියෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගස් කඩා වැටීමේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. කල් තියාම කාලගුණ අංශ අනතුරැ ඇඟවීම නිසා මේ කුණාටුවෙන් සිදුවන හානිය වළක්වා ගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා.”
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක
“ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් අඩු පීඩන තත්ත්වය ගැඹුරු පීඩන තත්ත්වයක් බවට පත්වෙලා තමයි මේ සුළි කුණාටුව නිර්මාණය වෙලා තිබුණේ. මාලදිවයින් කාලගුණ විද්‍යා ආයතනය තමයි මෙය බුරවි ලෙසින් හඳුන්වා දුන්නේ. අපි සුළි කුණාටුව දැනගත් මොහොතේ සිටම ආරක්ෂක අංශ සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කිරීම නිසා මේ සුළි කුණාටුවෙන් සිදුවෙන්න තිබුණු හානිය අවම කර ගත්තා. 2000 වසරෙන් පස්සේ දෙවැනි අවස්ථාවට තමයි මෙවැනි විශාලත්වයෙන් දෙවැනි සුළි කුණාටුවක් මෙරටට බලපෑවේ. සුළි කුණාටුවෙන් හානි විය හැකි දිස්ත්‍රික්ක අපි පසුගිය 27 වැනිදාම දැනුම්වත් කළා.”
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමෙන් පසුව මෙලෙස බුරවි සුළි කුණාටුවෙන් පීඩාවට පත්වන ජනතාව සදහා අත්‍යවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සපයා ගැනීමට රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දුන් බව ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සටහන: හසිත් අංජන