2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

දකුණු ඕස්ට්‍රේලියාවේ එක පැයක් සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන්!

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 95

වසර හතරකට කලින් දකුණු ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ විදුලිය විසන්ධිවීමක් හේතුවෙන් විශාල ප‍්‍රශ්නයක් පැන නැගිණ. මහද්වීපයේ ජීවත්වන ජන කොටසින් පහෙන් එකක් වෙසෙන හා භූමි ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් විශාල එහි විදුලිය බිඳවැටීම ගැන සෑහෙන චෝදනා එල්ල විය. බලධාරීන් වහා පියවර ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් එකොළොස්වැනිදා එම කලාපයේ එක පැයක් සම්පූර්ණයෙන්ම විදුලිය සැපැයුණේ සූර්ය බලයෙනි. අන්ධකාරයෙන් පාඩමක් ඉගෙනගත් දකුණු ඕස්ට්‍රේලියාව බලශක්ති විප්ලවයකට මග පාදා ගත්තේය. එය ආදර්ශවත් කතාන්දරයකි.

හදිසියේ විදුලිය විසන්ධි වනවිට එරට විදුලිය උත්පාදන අංශ කලබල විය. එය බෙදාහැරීමේ දෝෂයක් බව සොයා ගත්තේය. සුළං බලාගාර අවහිර වී තිබුණ අතර එකවර සිදුවූ එයින් බහුවිධ බෙදාහැරීමේ අංශය අක්‍රිය විය. පැය ගණනක් තිබුණ විදුලිය නැති අතරවාරයේ ජනයා දෝෂාරෝපණය කරන ලද අතර සිදුවූ වරද ආපසු නොවෙන්නට පියවර ගන්නා බව එරට පුනර්ජනනීය බලශක්ති ඒජන්සිය ජනතාවට ශපථ කළහ. පසුගියදා එහි සාර්ථකත්වය මැනැවින් ඔප්පු කළහ. සූර්ය බලයට හරවන ලද දකුණු ඕස්ට්‍රේලියාව එදින එක පැයක් මුළුමනින්ම සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය පරිභෝජනය කර එය සමරන ලද බව වාර්තා වෙයි. එය එහි වාර්තාවක් පමණක් නොව ලෝකයේ බලශක්ති සම්බන්ධ විප්ලවයේ සන්ධිස්ථානයක් බව සඳහන්ය.

දකුණු ඕස්ට්‍රේලියාවේ තොරතුරුවලට අනුව වසරේ එහි එකම සෝලා පද්ධතියක් හෝ සවිකර තිබුණේ නැත. ක‍්‍රමයෙන් එහි වාසි අධ්‍යයනය කළ බලධාරීහු ජනතාව වෙත අලුත් අවස්ථාව දැක්වූහ. නිවෙස් අලෝකකරණයට සූර්යකෝෂ හඳුන්වා දුන්හ. එය පහසු පියවරක් වූයේ නැත. අලුත් තාක්ෂණයට යොමු කිරීමකි. අද වනවිට එහි සෑම නිවාස තුනකින් එකක් සෝලා බලයෙන් බලගැන්වෙයි. ජාතික පද්ධතියට විදුලිය සැපයෙන දැවැන්ත සෝලා පර්යන්ත ගණනාවක් ද තිබේ. ජනනය කරන විදුලියෙන් සියයට හැත්තෑ හතක් සූර්ය බලයෙන්ය. බලශක්ති උත්පාදනයට ඛනිජ තෙල්, ගල් අඟුරු හෝ ද්‍රව ගෑස් භාවිතය ඉතාම අඩුය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වායුගෝලය ඉතාම පිරිසිදුව තබාගන්නට සමත්වීම ජයග‍්‍රහණයකි. වසර 2021 වනවිට තවත් නිවාස තිස් හය දහසකට සූර්යකෝෂ සවිකරණ සැලැස්මක් ඇත. දකුණු ඕස්ට්‍රේලියාව සම්පූර්ණයෙන් සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වනතෙක් ගමන නොනවතින ඉලක්කයකි.

දිවා කාලයේ නිපදවන සූර්ය විදුලිය රාත‍්‍රී කාලයට ගබඩා කරගැනීම ඊළඟ ඉලක්කය බව එහි බලධාරීහු දක්වති. එතෙක් එදිනෙදා ජීවිතයේ සමහර පැති දිවා කාලයට හරවා ගෙන තිබේ. රෙදි සේදීම හා පිඟන් කෝප්ප පිරිසිදු කිරීමට යොදාගන්නා මෙවලම් භාවිතය රාත‍්‍රියට අත්හිටුවා ඇත. විදුලිය වාහන ආරෝපනයද දිවා කාලයේ සිදුවෙයි. රාත‍්‍රියේ කරන සේවා සමහරක් අවශ්‍යම අවස්ථාවලදී පමණක් ක‍්‍රියාත්මකය. එය ප‍්‍රතිපත්තියක් වශයෙන් දිරිගන්වා තිබේ. විදුලියට ගෙවන මිල අඩුවී ඇති අතර එය ජනන ජීවිතයට බලපාන වාසිදායක තත්ත්වයකි.

ගල් අඟුරු හෝ ද්‍රව ගෑස්වලින් විදුලිය නිපදවන වියදමට වඩා සූර්ය විදුලිය ඉතාම අඩුය. පරිසර හිතකාමීය. අධික ශබ්දයක් සහිත විදුලි බලාගාර නොවේ. එය ඉතා සාමකාමී වාතාවරණයක් ඇති කර තිබේ. ජාත්‍යන්තර වාර්තා අනුව ලෝකයේ වැඩිම සූර්ය කෝෂ භාවිත කරන්නේ චීනයේය. විදුලිය සැපයුම ඉතාම දුෂ්කර ප‍්‍රදේශවලට සූර්ය කෝෂ හඳුන්වා දී තිබේ. ඇමරිකාව දෙවනුව සූර්ය කෝෂ බහුලව භාවිතා කරන රටකි. යුරෝපා රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නට ස්පාඤ්ඤයට හැකි වී තිබේ. එහි සූර්ය විදුලිය වේගයෙන් ව්‍යාප්ත වන බව අනාවරණය වන කරුණකි. ජපානයේ විදුලිය කාර්වලින් ඉවත් කරන බැටරි එකතු කර නැවත සූර්ය බලයෙන් ආරෝපනය කරන වැඩපිළිවෙළක් ඇත. එයට අනුව එම බැටරි ගණනක් එකතු කර දිවා කාලයේ ආරෝපනය කරන අතර ඒවා රාත‍්‍රියේ කුඩා වෙළඳසල් ආලෝකවත් කරයි. ශීතකරණ පවා භාවිතා කරන්නේ එම බැටරිවල බලයෙන්ය. 

තම ජනයාගේ ජීවිත සූර්ය බලයට හරවන දියුණු රටවල් එයින් නතර නොවන බව තවත් විස්තර සොයා බලන විට අනාවරණය වන කරුණකි. බ්‍රිතාන්‍ය බලශක්ති උත්පාදන සමාගමක් නවීන තාක්ෂණය භාවිත කර අප‍්‍රිකාවේ රටවල දුෂ්කර ප‍්‍රදේශවලට විදුලිය සැපයෙන සැලැස්මක් ක‍්‍රියාවට නංවයි. එයට තාක්ෂණය සැපයෙන්නේ ජපානයෙන්ය. අප‍්‍රිකානු රටවල ජනාවාස පිහිටා ඇති ආකාරය අනුව විදුලිය සැපයීම පහසු නැත. විශාල දුරකින් පිහිටා ඇති ගම්මාන කරා විදුලිය කණු යොදා යටිතල පහසුකම් සම්පාදනය ගැන හිතන්නට අවශ්‍ය තරමට ධනය නැත. අප‍්‍රිකානු මහද්වීපයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක විදුලිය හිඟය. වාර්තාවන කරුණු අනුව සෑම තුන්දෙනෙකුගෙන් අයෙකුට විදුලිය පහසුව නැත. රුවන්ඩා, කෙන්යාව, ටෝගෝ සහ කොන්ගෝ යන රටවල පොදු ජනතාවගේ නිවෙස් වලට විදුලිය ලබාදීමට මෙම වැඩසටහන සූදානම්ය. 

ලෝකයේ නොයෙක් රටවල සූර්ය විදුලියබලය ගැන ප‍්‍රශ්න තිබේ. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු වගකීමක් සේ සැලකේ. ඒවා හරිහැටා නොවන විට බලධාරීන්ට දොස් පවරති. විදුලිය බිල ගැන මැසිවිලි නගති. විදුලිය නිපදවන්නට අවශ්‍ය ඛණිජ තෙල් ආනයනයට අති විශාල ධනයක් යොදවති. බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය ජනතාව වෙත පැවරෙන යුගයක් නිර්මණය වෙමින් තිබේ. බලශක්තියට ගෙවන වියදම අඩුවීම සෑහෙන වාසියකි. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා සැපයෙන මාර්ගයක් වශයෙන්ද සැලකේ. විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරක් බව ජගත් ප‍්‍රජාව කල්පනා කරති. විදුලිය බලය ගැන පවතින යල්පැන ගිය අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලුත් සංකල්ප බිහි වී තිබේ. ඕස්ට්‍රේලියාවේ පියවරද අලුතින් ක‍්‍රියාවට නැගුණ දෙයකි. ඉදිරි දශකය තුළ ලෝකයේ අන්ධකාරයේ පවතින කලාප විශාල සංවර්ධනයක් අත්පත් කරගනු ඇති අතර සූර්ය විදුලිය එයට සාධකයකි.  

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමුකළ හැකිය.

► මිලින්ද මොරගොඩ