2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

අලුත් වාහන වෙළෙන්දෝ පරණ වාහන බිස්නස්වල...

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

නව රජය බලයට පත්වීමෙන් පසු වඩාත් අවධානයට ලක් වූයේ ආනයන හේතුවෙන් විදේශ විනිමය නාස්ති වීම පාලනය කිරීමටය. එහි එක් පියවරක් වශයෙන් 2020 මාර්තු මස 19 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෝටර් රථ ආනයනය සපුරා තහනම් කෙරිණි. එහිදී රජයේ වගකිවයුත්තන් ප්‍රකාශ කළේ රටේ තව වසර දෙකක් සඳහා අවශ්‍ය වන තරම් වාහන සංඛ්‍යාවක් ආනයනකරුවන් විසින් ගෙන්වනු ලැබ තිබෙන බවය. රජය එසේ ප්‍රකාශ කළද, වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ මේ වන විට ආනයනය කළ කිසිදු අලුත් වාහනයක් ස්වකීය වාහන අංගන තුළ නැති බවය. ආනයනය කළ පාවිච්චි කළ වාහන ද බොහෝ ලෙස මේ වන විට අලෙවි වී හමාර අතර ඉතිරි වී ඇති වාහන අධික මිල ගණන්වලට අලෙවි වන බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජය පසුගියදා හදිසි තීරණ මගින් බොහෝ අනවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කළේ රටේ දැනට උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය අවම කිරීම සඳහාය. පසුගිය වසර 20 තුළ අපේ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවසන පරිදි 2007 දී රුපියල් බිලියන 12ක් වූ ආනයන වියදම 2019 දී බිලියන 34 දක්වා වසර 12ක් තුළ තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එසේම 2007 වසරේදී බිලියන 3.9ක් වූ ආනයන අපනයන පරතරය 2020 වන විට 13.4 දක්වා ඉහළ නැග ඇත.

රටේ ආර්ථිකය යම්තම් හෝ නගාසිටුවීම සඳහා යම් යම් හදිසි තීරණ ගැනීමට රජයට සිදු වූ අතර එහි එක් ප්‍රතිඵලයක් වූයේ වාහන ආනයනය මුළුමනින්ම නැවැත්වීමය. කෙටි කාලයකට මෙම තහනම පැනවූ බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ වරෙක පවසා සිටි අතර ඉක්මනින් මෙම තහනම ඉවත් කරන බවද පැවසීය. ඒ නිසා වාහන පාරිභෝගිකයන් සහ වාහන ව්‍යාපාරිකයන් අපේක්ෂා තබාගෙන සිටියේ රජයේ අයවැය ලේඛනය තුළින් මෙම තහනම ඉවත් කෙරෙනු ඇතැයි යන්නය. එහෙත් අයවැය මේ ලේඛනයේ දී ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොකළ අතර රජය පසුව ප්‍රකාශ කළේ තවත් වසරක් තහනම බලපවත්වන බවකි. මේ නිසා රජයට වාහනවලින් ලැබෙන විශාල තීරු බද්ද අහිමි වී තිබේ.

දැනට බලපවත්වන ආනයන තහනම හේතුවෙන් වාහන ආනයන ව්‍යාපාරිකයන් රුසක් අමාරුවේ වැටී සිටින අතර සමහර සමාගම් මුළුමනින්ම වැසීමට සිදුව ඇතැයි ඔවුහු කියති. ඇතැම් සමාගම් යම්තමින් වසා නොදමා පවත්වාගෙන යාමට විශාල උත්සාහයක් දරමින් සිටී. ආනයන තහනම නිසා රට තුළ ඇති පාවිච්චි කළ වාහනවල මිල වහාම ඉහළ නැග තිබේ. සාමාන්‍යයෙන් කුඩා ජපන් වාහනයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ වැඩි වී ඇති අතර ඉන්දියානු වාහනවල මිල ලක්ෂ 5කින් පමණ ඉහළ නැග තිබෙන බව පුවත්පත්වල පළවන දැන්වීම් අනුව පෙනේ. ජනතාව වැඩි වශයෙන් මිලදී ගන්නා සුසුකි, වැගන්-ආර්, ටොයොටා, ෆැසෝ, විට්ස්, ටොයොටා ඇක්සියෝ, ටොයොටා ප්‍රිමියෝ, ටොයොටා රයිස් ආදී වාහනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ නැග ඇත.

මෙම තත්ත්වය නිසා යම්තම් හෝ එකතු කරගත් මුදලක් වාහනයකට ගෙවා ඉතිරි මුදලට ලීසිං පහසුකම් ලබාගෙන හෝ වාහනයක් හිමිකර ගැනීමට තිබූ සිහිනය බොඳ වී ගොස් තිබේ. රට තුළ ඇති වාහන මිල අත්තනෝමතික ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ මිල පාලනය කිරීමට හෝ වගකිවයුත්තන් කිසිදු ප්‍රතිකර්මයක් යොදා නැතිවීමෙන් ගැටලුව තවත් උග්‍ර වී තිබේ.

විදේශ විනිමය අර්බුදය උග්‍ර වීමට හේතු වූයේ පුංචි මිනිසා මෝටර් රථ මිලට ගැනීම නොව ධන කුවේරයන් සහ බලපත්‍රලාභී දේශපාලනඥයන් හා උසස් නිලධාරීන් විශාල ඇන්ජින් ධාරිතාවෙන් යුතු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වා අලෙවි කිරීම බව කිව යුතුය. කෙසේ වුවද වර්තමාන රජය මගින් වාහන ආනයනය තහනම් කිරීම මේ වන විට ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට බලපා ඇති අන්දම සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

ආනයන සීමාව දිගුකාලීනව හොඳයි

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

රජය ආනයන සීමා කිරීම හොඳයි. කෙටිකාලීනව යම් අපහසුතාවක් විවිධ පාර්ශ්වවලට ඇතිවෙන්න පුළුවන්. එහෙත් දිගුකාලීනව ආනයන සීමා කිරීම හොඳයි. මෙතෙක් කල් පැවැති අවිචාරවත් ආනයන ක්‍රමය නිසා රටේ විදේශ විනිමය අර්බුදයක් ඇතිවුණා. ගෙවුම් ශේෂය පුළුල් වුණා. මේ නිසා වර්තමාන රජය ආනයනය වෙනුවට ආයෝජන ප්‍රතිපත්තියකට යාම හොඳයි. මෙතෙක් කල් අපේ රටට අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේවල් තමා ආනයනය කළේ. අඩුවට තිබෙනවා නම් ආනයනය කරලා ලාභ ගන්න පුළුවන් නම් ඕනෑම දෙයක් ගේනවා. තමන්ගේ යහපත ගැන සලකන ආනයනකරුවන් රට ගැන හිතන්නේ නැහැ.

මෙම ආනයන සීමා නිසා වාහන ආනයනය දැනට නවතා තිබෙනවා. ආණ්ඩුව කියන්නේ මෙය කෙටි කාලයකට පමණක් බවයි. එයින් රටේ වාහන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතුවලට පාඩුවක් සිදුවී තිබෙන බව සත්‍යයක්. එහෙත් අපේ විදේශ විනිමය විශාල ලෙස නාස්ති වූයේ බොහෝ වාහන ආනයනය කිරීමෙන්. රජයට වාහන ආනයනයේදී විශාල තීරු බද්දක් ලැබෙන නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියත් රටින් විදේශ විනිමය පිටතට ඇදී යාම ආර්ථික වශයෙන් අහිතකරයි. වසරකට හෝ වාහන ආනයනය තහනම් කිරීමෙන් මෙහි යම් පාලනයක් ඇතිවිය හැකියි. මා නම් හිතන්නේ ව්‍යාපාරිකයන්ට වසරක් තුළ රටේ ඇති වාහනවලින් ස්වකීය ව්‍යාපාර කරගෙන යාමට ඉඩ සැලසිය යුතුයි.

අනිත් අතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මාණ්ඩලික නිලධාරීන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීමේ පුරුද්ද නිසා විශාල විනිමය නාස්තියක් වුණා. බොහෝ බලපත්‍රලාභීන් තමන්ට ගන්න පුළුවන් උපරිම ධාරිතාවෙන් යුතු වාහන ආනයනය කරලා පසුව ඒවා අලෙවි කිරීමටද යොමු වුණා. එහෙත් මෙවර අනුග්‍රහ වාහන බලපත්‍ර නිකුත් කළත් එම වාහන ආනයනය නොකර රටේ ඇති තොගවලින් ලබාගන්නා ලෙස ආණ්ඩුව උපදෙස් දීලා තියෙනවා. මෙය කාලෝචිත පියවරක්. එසේ නොවේ නම් ඒ අයට බලපත්‍ර පාවිච්චි නොකර ළඟ තබාගෙන තහනම ලිහිල් කළ පසු ආනයනය කළ හැකිය. හැම දෙනාම ව්‍යාපාර හෝ තරාතිරම ගැන නොසලකා කටයුතු කිරීම වැදගත්.

අපේ ඉතිහාසයේම මෙහෙම කඩාවැටිලා නෑ

ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති සිරි ශාන්ත ගමගේ

අද වන විට වාහන ව්‍යාපාරිකයන් සියල්ලන්ම අසරණ වෙලා. ව්‍යාපාර කඩා වැටිලා. සේවකයන්ට වැටුප් ගෙවන්නට අමාරු තත්ත්වයක ඉන්නේ. සේවකයන් අවම කරලා. 10 දෙනා 2ට බස්සලා. අප සංගමයට අනුබද්ධ ව්‍යාපාරික ආයතන 140ක් පමණයි. මේ ලියාපදිංචි ආයතන හැර තවත් ආයතන රුසක් ද සම්බන්ධයි. ඍජු හා වක්‍ර ලෙස ලක්ෂ දෙකක පමණ පිරිසකට රැකියා අහිමි වෙලා. සියයට 25 – 30 පමණ සේවකයන් තමයි දැනට රඳවාගෙන ඉන්නේ. ඉතිරි අයගේ සේවය නවත්වලා. ඒ අයගේ දරුපවුල් අසරණ වෙලා

අප සංගමය අවුරුදු 50ක පමණ පැරුණි ආයතනයක්. එහි ඉතිහාසය පුරාම මෙවැනි සිදුවීමක් වෙලා නැහැ. මේ වන විට කුඩා වාහන පවා ආනයනය නවත්වලා. පුංචි වාහනයක් හෝ අයිති කර ගන්නට තිබූ සිහිනය බොඳවෙලා. මේ වන විට වාහන කොටස් ආනයනය කරලා වාහන එකලස් කිරීමට සූදානම් බව දැනගන්නට ලැබිලා තියෙනවා. එයින් රජයට වාසිදායක වෙන්නේ නැහැ. වාහන ආනයන බදු නැවතිලා. මෙය රාජ්‍ය ආදායමට විශාල ලෙස අහිතකරව බලපානවා. ආනයන වාහනවලින් විශාල ලෙස බදු ලැබෙනවා. වාහන කොටස් ආනයනයෙන් එවැනි ආදායමක් ලැබෙන්නේ නැහැ.

අපේ ප්‍රශ්න ගැන කතා කිරීමට ජනාධිපතිතුමා හමුවීමට තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. දිගටම මෙම තත්ත්වය තබාගැනීම පාරිභෝගිකයන්ටද, ව්‍යාපාරිකයන්ටද, රටටද අහිතකරයි. ඒ නිසා ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙනවා. කොවිඩ් පළමු රුල්ල ඇතිවූ අවස්ථාවේදී මේ රටේ වාහන ව්‍යාපාරිකයන් රජයට ලක්ෂ 100ක ආධාර මුදලක් පරිත්‍යා කළා. එලෙස අර්බුදකාරී අවස්ථාවේදී පරිත්‍යාග කරන්න පුළුවන් වුණේ ව්‍යාපාරිකයන් එක්තරා මට්ටමකින් සිටි නිසයි. එහෙත් අද වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා. රජයට ශක්තියක් වීමට අපට හැකියාවක් ලැබී නැත්තේ ව්‍යාපාරිකයන් අන්ත අසරණ බවට පත්ව ඇති නිසයි.

අසාධාරණ ලෙස සමහරු වාහන මිල නග්ගලා

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ වාහන ආනයනය තහනම් කිරීම නිසා ලියාපදිංචි නොකළ හා ලියාපදිංචි පාවිච්චි කළ වාහන පාරිභෝගිකයන් සහ ඇතැම් ව්‍යාපාරිකයන් උපරිම ප්‍රයෝජන ගැනීමට පෙළඹී ඇති බවය.

&මේ වන විට වාහන ව්‍යාපාරිකයන් සියයට හතළිහකට වැඩියෙන් බංකොලොත් වෙලා. බොහෝ ආයතන වැසී ගිහින්. ඒවායේ සේවකයන් ඍජු හා වක්‍ර වශයෙන් ලක්ෂයක් පමණ පීඩාවට පත්වෙලා. එම ස්ථාන වසා ඇත්තේ ඒවායේ ව්‍යාපාර කරන්න වාහන නොමැති වීමෙන්. පාවිච්චි කළ මෝටර් රථවල මිල විශාල ලෙස ඉහළ ගිහින් ඇති නිසා එවැනි අසාධාරණ මිල ගණන්වලට මිලට ගන්න අය අඩුවෙලා. බොහෝ වාහන හිමියන් තම වාහන මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඉහළ මිල ගණන්වලට අලෙවි කරන්නට පටන්ගෙන තියෙනවා. මෙලෙස අසාධාරණ ලෙස ඉහළ මිලට පාවිච්චි කළ වාහන අලෙවි කිරීම පාලනය කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ.

අලුත් වාහන ආනයනය තහනම් කිරීම නිසා මේ වන විට ඇතැම් ආනයන සමාගම් පරණ වාහන අලෙවියට යොමුවෙලා. ඔවුන් ටික දෙනා තම ව්‍යාපාර නොවසා තබාගන්නේ මෙලෙස පාවිච්චි කළ පැරුණි වාහන අලෙවියෙන්. ඇතැම් ආයතනවල එකදු වාහනයක් හෝ නොමැති නිසා විවෘත කර තබාගෙන සේවකයන්ට වැටුප් ගෙවමින් පවත්වාගෙන යාම තේරුමක් නැහැ.

මෙලෙස එක දිගටම ආනයන තහනම් කිරීම නිසා වාහන ව්‍යාපාරය මේ වන විට මුළුමනින්ම විනාශ වෙලා. ඒ අයට වාහන ව්‍යාපාරය හැර අන් විකල්පයක් නැහැ. ආණ්ඩුවට වැඩිපුරම ආනයන බදු ලැබෙන්නේ වාහන ආනයනයෙන්. වාහන ආනයනකරුවන් කරන්නේ වාහන මිලදී ගන්නා අයගෙන් බදු අය කරගෙන ආණ්ඩුවට ගෙවීමයි. එහිදී වාහන මිලට ගැනීමට පාරිභෝගිකයන් පොළඹවන්නේ අපේ ව්‍යාපාරිකයන් විසින්. ජපාන වෙළෙඳපොළ ලක්ෂ 5ක වාහනයක් මෙරටට ආනයනය කරන විට ලක්ෂ 30ක බදු ගහනවා. මෙය වක්‍ර ලෙස රජය නිරායාසයෙන් ලබාගන්නා ආදායමක්. දැන් ඒ ආදායම රජයට අහිමිවෙලා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ වාර්ෂිකව යම් සීමිත වාහන සංඛ්‍යාවක්වත් ආනයනය කරන්නට පුළුවන් වුවොත් අපට අපේ ව්‍යාපාර වසා නොදමා පවත්වා ගන්නට හැකි වෙනවා. එසේම රජය වාණිජ වාහන ආනයනයට අවසර දිය යුතු වෙනවා. එයට හේතුව රටේ ආර්ථිකයට ඒවා බොහෝ දුරට සම්බන්ධ නිසා. අපි කියන්නේ අප වැටී ඇති තත්ත්වය ගැන සලකා බලා කෙටිකාලීන විසඳුම් දිය යුතු බවයි.

අපේ ගැටලු ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විකල්ප ගැන අපේ යෝජනාවලට සවන් දෙන්නේ නැහැ. අපට අපේ ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ උපදෙස් මතයි සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සාධාරණ විසඳුමක් ලබා දිය යුතුයි. රජයේ ප්‍රතිපත්ති තීරණවලට අපි විරුද්ධ වන්නේ නැහැ. එහෙත් අපේ ගැටලු ගැනත් රජය සලකා බැලිය යුතුයි යන්නයි අපේ අදහස.

  යසවර්ධන රුද්රිගූ

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03