ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ වරායේ අනෙකුත් පර්යන්තවල සියලු මෙහෙයුම් සහ අනෙකුත් සේවාවන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි වරාය අධිකාරිය ප්‍රකාශ කරයි..
කොවිඩ් -19 වෛරසය හේතුවෙන් පසුගිය සති කිහිපයේ එහි මෙහෙයුම් වලට කිසියම් බලපෑමක් ඇති විය. ඒ අනුව කන්ටේනර් ගොඩබෑමේ සහ ප්‍රතිඅපනයනයේ ප්‍රමාදයක් ඇති වූ අතර කොළඹ වරායට ඇතුළුවීමට නොහැකිව දින ගණන් වරායෙන් පිටත නැංගුරම් ලා සිටීමට ඇතැම් නැව්වලට සිදු විය. මේ වන විට සියලු පර්යන්තවල කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති අතර තදබදය අවම වී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.
“වරායේ කන්ටේනර් මෙහෙයුම් ප්‍රමාද වූයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වූ නිසයි. පුහුණු ශ්‍රමිකයන් සහ විශ්‍රාමික සේවකයන් යොදා ගෙන එම මෙහෙයුම් සිදු කිරීමට අප කටයුතු කළා. මේ වන විට වරායේ කන්ටේනර් පැටවීම් හා ගොඩබෑම් යථා තත්ත්වයට පත් වී තිබෙනවා. දැන් දිනකට කන්ටේනර් 15000ත් 20000ක් අතර ප්‍රමාණයක් මෙහෙයවනවා. තවමත් වරාය පරිශ්‍රයෙන් රෝගීන් හමුවෙනවා. නිතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කරමින් ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්. නිරෝධායනයට ලක් කිරීමේ කටයුතුද සිදුකරන අතරම වරායේ සියලු කටයුතු පෙර පරිදිම ක්‍රියාත්මක කරනවා.” යැයි ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල වරායේ කන්ටේනර් 20000ක් පමණ සිරවී ඇතැයි වාර්තා විය ඒ සම්බන්ධයෙන් අපි ජනරාල් රත්නායක මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “ඔව් එය සත්‍යයක්. එහෙත් ඒ සියලුම කන්ටේනර් දේශීය ආනයන අපනයන නොවෙයි. අපේ වරායේ මෙහෙයුම්වලින් 82%ක් පමණ සිදුවන්නේ ප්‍රති අපනයනයයි. වෙනත් රටවලින් අපේ වරායට පැමිණෙන කන්ටේනර් (Transshipment) තවත් රටකට යැවීම එමගින් සිදු වෙනවා. පසුගිය දිනවල නැව් වරායට පැමිණීමේ ප්‍රමාදය නිසා එවැනි කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරායේ ගොඩගැසී තිබුණා. දැන් ක්‍රමක්‍රමයෙන් එම ගැටලුවත් නිරාකරණය වෙමින් පවතිනවා. තවත් සතියක් පමණ ගතවන විට සියල්ල විසඳේවි. එය දිනකින් දෙකකින් විසඳිය නොහැකි සංකීර්ණ ගැටලුවක්. එහෙත් අපි දිනපතා සාකච්ඡා පවත්වමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා” යනුවෙන් සඳහන් කළේය.
මෙරටට පැමිණෙන නෞකා දෙවර්ගයකි. ඒවා නම් ප්‍රධාන නෞකා ( Mother vessels) අන්තර් නෞකා (Feeder Vessels) ය. ප්‍රධාන නෞකා මගින් භාණ්ඩ සෘජුවම මෙරට වරායට රැගෙන එන අතර අන්තර් නෞකා මගින් ආසන්න වරායක ඇති ශ්‍රී ලංකාවට රැගෙන යා යුතු භාණ්ඩ පමණක් ප්‍රවාහනය කරනු ලැබේ. වරායේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය නිසා ප්‍රධාන නෞකා රැසක් කොළඹ වරායට පැමිණීම ප්‍රතික්ෂේප කළ බැව් පැවසේ. නෞකාවක් කිසියම් වරායකට පැමිණෙන්නේ පූර්ව කාල සටහනක් අනුවය. එහෙත් භාණ්ඩ ගොඩබෑමේ ප්‍රමාදය නිසා නියමිත දිනයට භාණ්ඩ ගොඩ බෑමට නොහැකි වුවහොත් එම නෞකාවට ඩොලර් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුය. එමෙන්ම කිසියම් නෞකාවක් යාන්ත්‍රික දෝෂයකට ලක්ව මෙරට වරායක නැංගුරම් ලෑවොත් ඒ සඳහා ඔවුන් විසින් අපේ වරායට ගාස්තුවක් ගෙවිය යුතුය. මේවා ආවරණය කර ගැනීම සඳහා සෑම නෞකාවක්ම රක්ෂණ ආවරණයක් ලබා ගෙන ඇති අතර. එම අලාභය ගෙවනු ලබන්නේ අදාළ වරායෙන් හෝ නෞකාවෙන් නොව රක්ෂණ සමාගම් මගිනි. පසුගිය කාලයේ කොළඹ වරායේ සිදුවූ ප්‍රමාදය හේතුවෙන් රක්ෂණ සමාගම්ද මගහැර යාමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ රක්ෂණ ශ්‍රී ලංකාවට වලංගු නොවන්නේ යැයි පවසා ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගත හැකි විය. චීනයේ ප්‍රධාන පෙළේ නැව් සමාගම් කිහිපයක්ද ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීම අත්හිටුවා ඇතැයිද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීම සඳහා අප ජාත්‍යන්තර නැව් සමාගම් කිහිපයක මෙරට කළමනාකරුවන් කිහිප දෙනකුට කථා කළද කිසිදු මාධ්‍යයකට තොරතුරු අනාවරණය කිරීමට ඔවුන්ට තහනම් බැවින් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි යැයි එම නිලධාරීහු අපට පැවසූහ.
ජයබහලු පර්යන්තයේ පමණක් දිනකට කන්ටේනර් 5000ක් පමණ ගොඩ බෑමට හැකිය. එහෙත් අර්බුදය පැවැති සමයේ වරායේ පිහිටි පර්යන්ත තුනෙන් දෙකකම කන්ටේනර් ගොඩබෑමේ ප්‍රමාදයක් ඇතිව තිබූ බව වාර්තා විය. මෙරට පැමිණි නැව් 14ක් දින කිහිපයක්ම පිටත වරායේ නැංගුරම්ලා තිබූ අතර භාණ්ඩ ගොඩ බෑම සඳහා ජයබහලු පර්යන්තයට ඇතුළු කළ නැව් නවයක භාණ්ඩ ගොඩබෑම සිදු වූයේ මන්දගාමී ආකාරයකිනි. සාමාන්‍යයෙන් කන්ටේනර් දහසක් සහිත නැවක ඇති බහාලුම් පැය 48ක් වැනි කාලයක් තුළ ගොඩ බා අවසන් කළ හැකියැයි පැවසේ. එහෙත් සේවක හිඟය නිසා එම කාලය තුළ ගොඩ බෑමට හැකිව ඇත්තේ ඉන් අඩක් පමණ ප්‍රමාණයකැයි වාර්තා විය. මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ වරාය නැඟෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“කොවිඩ් අර්බුදය හේතුවෙන් සේවක සංඛ්‍යාව අවම වීම නිසා තදබදයක් නිර්මාණය වුණා. ඒ නිසා වරායෙන් පිටතත් නැව් කිහිපයක් රඳවා තැබීමට සිදු වුණා. කොළඹ වරායේ පර්යන්ත තුනක් තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ජයබහලු පර්යන්තය පවතින අතර එස්. ඒ. ජී. ටී (සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්) පර්යන්තය සහ සී. අයි. සී. ටී (කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්) පර්යන්තය අයත් වන්නේ සමාගම් දෙකකටයි. මේ පර්යන්ත තුළ අන්තර් බහාලු ප්‍රවාහනයක් සිදුවෙනවා. තදබදයක් ඇති වූයේ මෙම ක්‍රියාවලිය තුළයි. නිසි කළමනාකරණයක් නොමැතිවීම නිසාත් කොවිඩ් නිසා ජයබහලු පර්යන්තයේ 70ක් පමණ රෝගී වීම නිසා දින කිහිපයක් වසා තිබීමත්, ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එස් ඒ ජී ටී සමාගම දින කිහිපයක් ක්‍රියාත්මක නොවීමත් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වුණා. දැන් එම වාතාවරණය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. නැව්වලින් එන කන්ටේනර් මෙහෙයුම් යථා පරිදි සිදුවන නමුත් අන්තර් බහාලු ප්‍රවාහනය තුළ තදබදය යම් පමණකින් තවමත් තිබෙනවා.” යැයි ප්‍රකාශ කළේය.
වරායේ පැවැති අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් වූයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ව්‍යාපාරිකයන්ය. වරායේ සේවකයන් අවමවීම නිසා කන්ටේනර් ගොඩ බෑම් ප්‍රමාදය නිසා අත්‍යවශ්‍ය ආහාරවල තොගවල හිඟයක් නිර්මාණය වෙමින් ඇතැයි ඔවුහු ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති වූ ආනයන සමාගමක නිලධාරියකු පැවසුවේ තමන් ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තවමත් වරායේ සිරවී ඇති බවයි.
“අපි ප්‍රධාන වශයෙන් අර්තාපල්, බී ලූනු, පරිප්පු, සුදුලූනු, කඩල කොත්තමල්ලි, සූදුරු, මහදුරු සීනි, වියලි මිරිස්, ටින් මාළු, කරවල වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. සතියකට අඩි 20 කන්ටේනර් 1000ක් සහ අඩි 40 කන්ටේනර් 800ක් පමණ අප ආනයනය කරනවා. වරායේ ප්‍රමාදය නිසා මේ වන විට අපේ ආනයන සීමා කිරීමට සිදු වෙලා. පසුගිය නොවැම්බර් මාසේ 22 දින ලංකාවට පැමිණිය යුතුව තිබූ අපගේ කන්ටේනර් තොගයක් මැලේසියාවේ ගොඩබාලා. ඒවා ලංකාවට පැමිණෙන්නේ දෙසැම්බර් 16 දා කියලයි දැනගන්නට ලබුණේ. එම භාණ්ඩ ශීත ගබඩාවල තැන්පත් කර තිබෙන හෙයින් භාණ්ඩ නරක්වීමක් සිදු වන්නේ නැහැ. එහෙත් ඒ සඳහා වන විදුලි බිල ගෙවිය යුත්තේ එම නැව් සමාගම මගින්. මෙවැනි තත්ත්වයක් හමුවේ නැව් සමාගම් ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට කැමති වන්නේ නැහැ. කොළඹ වරාය හැර කොවිඩ් වසංගතය නිසා අකර්මණ්‍ය වූ එකම වරායක්වත් ආසියාවේ නැහැ. සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, පාකිස්තානය, බුරුමය යන කිසිදු රටක වරායන් අකර්මණ්‍ය වූයේ නැහැ. ප්‍රමාදය නිසා ආනයනකරුවන්ට රජයෙන් කිසිම සහනයක් ලැබුණේ නැහැ. භාණ්ඩ හිඟය නිසා පාරිභෝගිකයන්ට නම් අධික මිලක් නම් ගෙවන්නට සිදු වෙලා තිබෙනවා.” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කළේය.
ලංකාවට පැමිණීමට නියමිත නැව් සේවා 30ක් පමණ සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව වැනි රටවලට හරවා යැවුණු බවට වාර්තා විය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක කියා සිටියේ පසුගිය කාලයේ ගොඩබෑම් අවම වීම නිසා මෙරටට පැමිණෙන නැව් ප්‍රමාණයෙන් 7%ක් වැනි ප්‍රමාණයක් වෙනත් රටවලට හරවා යැවීමට කටයුතු කළ බවටය මේ වන විට සියල්ල යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් වෙනත් වරායවලට නැව් හරවා නොයැවෙන බැව් ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ නමුදු මේ වනවිට වරාය යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණ තිබේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවද පසුගිය 13 දා සිට සතියේ දින හතේම වරායේ භාණ්ඩ නිෂ්කාශන කටයුතුවල නිරත වීමට පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් දෛනිකව බහාලුම් 2500ක් පමණ නිෂ්කාශනය කළද කොවිඩ් වාතාවරණය නිසා එම ප්‍රමාණය දිනකට බහාලුම් 1400ක් පමණ ප්‍රමාණයකට අවම වී ඇතැයි ද පැවසේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා