2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

සංචාරක සීමා පැතිවල රාජ්‍ය ආයතන ඇරතැබීම

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

කෝවිඩ් වෛරසයේ දෙවැනි රැල්ල ජන ජීවිතයට ඇතිකර තිබෙන තර්ජනය බලවත්ය. ජනතාව සුපුරුදු ජීවිතය එන දවසක් ගැන ඇඟිලි ගනිමින් සිටිති. ලෝකය අකර්මණ්‍ය කළ කොවිඩ් 19 වයිරසයට එරෙහිව මේ වනවිට එන්නත් කීපයක් සාර්ථකව ප්‍රතිචාර දක්වන බව අසන්නට ලැබීම වසරකට අධික කාලයක් මේ වසංගතයෙන් බැටකන ලෝ ජනයාට නම් සැනසුම් සුසුමක් වනු ඇත. නමුත් ඒ එන්නත ජනතාවට ලබාදීමට තව ටික කලක් ගතවනු ඇත.

කොවිඩ් - 19 වසංගතය නිසා අපේ රටේ ඇතිවෙන ආර්ථික පසුබෑමේ ප්‍රමාණය අපේ රටේ ආර්ථික බලධාරීන් අපේක්ෂා කළාට වඩා වැඩි බව තහවුරු වෙමින් තිබේ. මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් වූ මහ බැංකු වාර්තාවේ සඳහන් වූ පුරෝකථනය වූයේ මේ වසරේ (2020) ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වනු ඇති බවයි. ඒ වනවිටත් කොරෝනා පළමු රැල්ල ආරම්භ වී මසක පමණ කාලයක් ගතව තිබුණි. ඒ වනවිට පැවති කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම්ද සමග මහ බැංකුව අප්‍රේල් අගදී තක්සේරු කළේ සියයට 1.5 කින් ආර්ථිකය වර්ධනය වනු ඇති බවයි. එහෙත් පසුගිය ඔක්තෝබර් මාසයේදී දෙවැනි කොරෝනා රැල්ලකට මුහුණ දීමට රටට සිදු වූ අතර එහි අහිතකර බලපෑම්වලට අපි තවමත් මුහුණ දී සිටිමු. මේ දෙවැනි රැල්ල මුලින් සිතුවාට වඩා පැතිරෙමින් තිබෙන අතර තවමත් දිනපතාම සිය ගණනක් ආසාදිතයින් වාර්තා වෙමින් තිබේ. කොවිඩ් දෙවැනි රැල්ලෙන් කොවිඩ් මරණ ගණනද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. මේ පසුබිම තුළ එම තත්ත්වය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග හමුවේ එමගින් විය හැකි ආර්ථික බලපෑම මුලින් සිතුවාට වඩා බොහෝ වැඩිවිය හැකි බවට වන ලකුණු පහළ වී තිබේ.

කොවිඩ් වසංගතය මේ වනවිට තුන්වැනි අවදානම් මට්ටමට පැමිණ තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා අනාවරණය කළේය. ඒ අනුව තෙවැනි අවදානම් මට්ටමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම උපදෙස් පත්‍රිකාවේ ප්‍රමුඛත්වය දී ඇත්තේ සමාජ දුරස්ථභාවය තවත් වැඩි කිරීමට අදාළ යෝජනාය. හතරවැනි අදිරයට පසු එන්නේ සමාජ පැතිරීමය. එම නිසා ඉදිරියේදී කොරෝනා අවදානම ඉහළ යා හැකි මෙන්ම එමඟින් ඇති කරන සමාජීය අර්බුද තවත් ඉහළ යා හැක. රටේ කොරෝනා මර්දනය සාර්ථක කළ හැක්කේ වෛරසය මර්දනය කරන ගමන් එමඟින් ඇතිකරනු ලබන සමාජීය අර්බුද විසඳීමෙන් පමණි.

සංචරණ සීමාසහිත ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා වසංගත අවදානම පැතිරයාමේ ප්‍රවණතාවක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගියදා පැවසීය.

මාස හතක් පුරාවට වසා දැමුණු රාජ්‍ය සේවයේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ජනතාව කෙමෙන් කෙමෙන් එම ආයතන වෙත ඇදී එන්නේ රාජ්‍ය ආයතනවලින් සේවය ලබා ගැනීමටය. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් පවසන ආකාරයට රාජ්‍ය ආයතනවලින් ජනතාවට කොවිඩ් වැළඳීමට වැඩි ඉඩකඩක් ඇත. රාජ්‍ය ආයතන වසා දැමුවහොත් ඉන් පාඩුව සිදුවෙන්නේ මහජනතාවටය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

බස්නාහිර පළාත පුරාවට මේ වනවිට කොවිඩ් රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ වගේම බස්නාහිර පළාතට එන සියලුදෙනාට රෝගයෙන් ආරක්ෂා වෙන්න ඕන කොහොමද කියලා සෞඛ්‍ය අංශ දැනුවත් කරලා තිබෙනවා. දැන් මේ රටේ ප්‍රදේශ කිහිපයක්ම සංචරණය සඳහා සීමාසහිත කරලා තියෙනවා. ඒ වගේම මේ සංචරණය සීමාසහිත කළ ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කිරීම නිසා ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තක් සිදුකර ගැනීමට නම් ඒ ආයතනවලට යන්න සිදුවෙනවා. එහෙම උනොත් මේ රෝගය ජනතාව අතරට යන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා මේ සඳහා යම් ක්‍රියාමාර්ගයක් රජය විසින් ගත යුතුයි. එලෙස රාජ්‍ය ආයතනවලින් සිදුකර ගන්නා වැඩ ජනතාවට පහසු ආකාරයකින් කර ගැනීම සඳහා රජය විසින් යම් වැඩ පිළිවෙළ සැකසිය යුතුයි. ජනතාවගේ ආරක්ෂාව තමයි වැදගත් වෙන්නේ කඩිනමින් මෙයට පිළියමක් යෙදූවේ නැත්තම් තවත් ආසාදිතයන් රට තුළින් හමුවීම වළක්වන්න බැහැ.                                                                                                                           
සටහන: හසිත් අංජන