2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

සයිබර් අවකාශයේ කවුරුත් නොදන්න කාන්තා හිංසනය

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 253

මෙම හෙළිදරව්ව ගෞරවය සහ ආදරය අසීමාන්තිකව හිමිවිය යුතු උතුම් වූ මාතෘත්වයට හිමිකම් කියන කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සිදුවන බරපතළ ගණයේ හිංසනයක් පිළිබඳවය. සයිබර් අපරාධ ගණයට වැටෙන මෙම භයානක අපරාධය පිළිබඳ දැන සිටින්නෝ මුනිවත රකිති. නොදැන සිටින්නෝ එවැන්නක් සිදුවන බව කිසිසේත්ම විශ්වාස නොකරති. ඔබ, ඔබේ මව, බිරිඳ, දියණිය මේ වන විටත් මෙහි ගොදුරක් විය හැකිය. සැබවින්ම ඔබ මේ සටහන කියවමින් සිටින මොහොතේ පවා ගැහැනු දරුවකුගේ හෝ කාන්තාවකගේ ජීවිතය විනාශ වෙමින් පවතී.

සරලව කිවහොත් මේ කතාව සමාජ මාධ්‍යයේ සහ අසභ්‍ය වෙබ් අඩවි තුළ හුවමාරු වන අසැබි ඡායාරුප සහ වීඩියෝ පිළිබඳ කතාවකි. මතුපිටින් සරල ලෙස පෙනුණ ද අප කළ විමර්ශන අනුව මෙහි ඇත්තේ ගැඹුරු මෙන්ම අත්‍යන්තයෙන්ම බියකරු කතාවකි. ලොව කුප්‍රකට අසැබි වෙබ් අඩවි 02ක පමණ, ලාංකික කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් දර්ශන 4000ක් පමණ තිබෙන බව කිවහොත් බොහෝ දෙනා විශ්වාස නොකරනු ඇත. එයිනුත් සියයට පනහක් පමණ ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලට ගොදුරු වී තිබෙන්නේ අවුරුදු 14ත් 21කත් අතර ගැහැනු දරුවන් බව ඇදහිය නොහැකි නමුත් සත්‍යයකි.

මීට අමතරව දහස් සංඛ්‍යාත පිරිසක් සාමාජිකත්වය දරන වට්ස් ඇප් සමූහ (WhatsApp Group) සියයකට වැඩි ප්‍රමාණයක් මෙරට තුළ වන බවද කිව යුතුය. ඒවා හරහා දෛනික දහස් ගණන් වීඩියෝ සහ ඡායාරූප හුවමාරු වෙමින් ඇත. තවද ඉමෝ (Imo) වයිබර් (Viber) ඇතුළු වීඩියෝ ඇමැතුමක් ලබාගත හැකි මෘදුකාංග ඔස්සේ ලාංකීය තරුණියන් දහස් ගණනක ක්‍රියාකාරීන් සිටින බව බොහෝ දෙනාට රහසකි. සැබවින්ම මේ කතාව රහස් රැසක එකතුවකි. පිට සමාජයේ තරුණ විය ඉක්ම වූ බොහෝ දෙනකු අප හෙළි කරන මෙම කතාව විශ්වාස නොකරනවා සේම උත්කර්ෂය නංවා ගොතනු ලැබූවක් යැයි සිතනු ඇත. එනමුත් කළ විමර්ශන අනුව මෙම තොරතුරු හෙළි කරන්නේ සත්‍යතාව පිළිබඳ පූර්ණ වගකීමක් සහිතවය.

මෙම හෙළිදරව්වට නිමිති සැපයුවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහිව හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 වැනිදාට යෙදී තිබීමය. මෙරටදී ද මෙම දිනය සමරනු ලැබුවේය. ඒ අනුව 25 වැනිදා සිට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 02දා දක්වා නෙළුම් කුලුන තැඹිලි වර්ණයෙන් ආලෝකමත් කිරීමට රජය තීරණය තිබුණි. හිංසනයන්ට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට ඇති හැකියාව එයින් සංකේතවත් කෙරුණි. කාන්තාවන්ට සහ  ගැහැනු දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයට පිළිබඳ මොන යම් හෝ කාරණයකින් සමාජයට පණිවිඩයක් ලබා දීම යහපත්ය. එම උත්සාහය ප්‍රශංසනීය නමුත් මෙම විෂය පිළිබඳ යථාර්ථය වගකිව යුතු බලධාරීන්ට බොහෝ දුරය.
ඇසැබි වෙබ් අඩවිය තුළ ලාංකීය දායකත්වය පිළිබඳ පුළුල්ව විමසා බැලීම ඉතා කඩිනමින් සිදුවිය යුත්තකි. පෙරදිග අපට නුහුරු වුවද ලෝකයට නිල් චිත්‍රපට නිෂ්පාදනය යනු කර්මාන්තයකි. එහි ආචාරධර්ම පවා ඇති අතර වෘත්තීය පිළිගැනීමක් පවා තිබේ. සංස්කෘතික රාජ්‍යයක් ලෙස අප එය ගැලපෙනවාද නොගැලපෙනවාද යන්න වෙනම සාකච්ඡා කළ යුත්තකි. අප මෙහිදී අපගේ අවධානය යොමුවිය යුත්තේ ලාංකික අසැබි වීඩියෝවල ආකෘතිය දෙසටය.

අන්තර්ජාලය එක්ව ඇති මෙරටට අති මහත් බහුතර ඇසැබි වීඩියෝ කාන්තාවගේ අනුමැතිය නොමැතිව රහසේ හෝ විරෝධය මැද බලහත්කාරයෙන් රූපගත කරන ලද වීඩියෝය. එයින් ද අති මහත් බහුතරයක් වීඩියෝ රූපගත කරන්නේ අදාළ කාන්තාවගේ හෝ ගැහැනු දරුවාගේ පෙම්වතා, සැමියා හෝ අනියම් සැමියාය. බොහෝ විට වීඩියෝ කරන්නා කෙරෙහි යම් විශ්වාසයක් බලපෑමට ලක්වන තැනැත්තිය සතුව තිබේ. එනිසාම මෙම වීඩියෝ පට කවරෙක හෝ අන්තර්ජාලයට මුදා හල පසු එයින් අගතියට පත්වන කාන්තාව නිහඬ වෙයි. සැබවින්ම මෙය අතිශය කනගාටුදායක තත්ත්වයකි.

නිරැවත් ඡායාරූප පිළිබඳ අවධානයේ දී තවත් ඛේදනීය, අන්තර්ජාලයට දෛනිකව එක්වන ලාංකික නිරුවත් ජයාරූපවලින් සියයට අසූවක් පමණ යොවුන් විය නොඉක්මවූ ගැහැනු දරුවන්ගේය. ඔවුන් ඒවා සිය ජංගම දුරකථනයෙන්ම ලබාගෙන සිය පෙම්වතා වෙත යවනු ලැබූ ඒවා බව පැහැදිලි වෙයි. මෙය ප්‍රේමයේ නාමයෙන් සිදුකර ගන්නා විපතක් යැයි කීම අසාධාරණ නැත. ලාංකික නූතන ප්‍රේමය තුළ නිරුවත් ඡායාරූප හුවමාරුව ඉතා ජනප්‍රිය අංගයකි. එහෙත් පෙරදී සඳහන් කළාක් මෙන් වැඩිහිටි බහුතරය ඒ පිළිබඳව නොදනිති. 

මෙම ඡායාරූප සහ වීඩියෝ පට අසැබි වෙබ් අඩවිවලට එක්වන්නේ අප පෙරදී සඳහන් කළ සමාජ ජාල සමූහ (Social Media Group) හරහාය. ප්‍රේමයේ නාමයෙන් තමන් විසින් රවටනු ලැබූ තරුණියන්ගේ මෙවන් ඡායාරූප මිතුරන් අතරේ බෙදාගැනීම මේ වන විට ඉතා සාමාන්‍යකරණය වී තිබේ. එම ඡායාරූප අතින් අතට පත්වී අසැබි වෙබ් අඩවි ලෝලියෙක් විසින් අවසානයේ අන්තර්ජාලයට ඒවා ඇතුළු කරයි. මෙහිදී ද කාන්තා පාර්ශ්වය අසරණ වන අතර ඔවුන් සිය ඡායාරූපවලට පෙනී සිටීම කැමැත්තෙන්ම සිදු කිරීම ඊට ප්‍රමුඛ හේතුව වේ. කෙසේ නමුත් සයිබර් ලෝකය පිළිබඳ ඉහළ පරම්පරාවේ නොදැනුවත්භාවය නිසාවෙන් මව්පියෝ තම දරුවා සයිබර් ලෝකය තුළදී සිදුවන විනාශය පිළිබඳ අවබෝධ කොට නොගනිති.

මේ අතරම අසැබි වෙබ් අඩවි තුළ ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳ ද විශේෂ අධ්‍යනයක් අවශ්‍ය වේ. කුප්‍රකට අසැබි වෙව් අඩවි දෙකක් මෙහිදී ප්‍රධානය. මෙම වෙබ් අඩවි දෙක තුළ නිල ගිණුම් හෙවත් ‍තහවුරු කරන ලද ගිණුම් සියයක් පමණ ලාංකිකයන් සතු වේ. මුහුණු ප්‍රදර්ශනය නොකරමින් අඹු සැමියෝ, පෙම්වතුන් සිය ලිංගික ක්‍රියාකාරකම් මෙම නිල ගිණුම් හරහා මුදා හරිති. ඔවුහු ඒ හරහා සැලකිය යුතු ආදායමක් ද උපයමින් සිටිති. මේ අතර මුහුණු ප්‍රදර්ශනය කරන ගිණුම් දෙක තුනක් ද මෙරට තුළ තිබේ. කෙසේ වෙතත් කිසිදු බලධාරියකු මෙම ක්ෂේත්‍ර දෙස අවධානය යොමු කර නැත. එසේ වෙතත් මෙම වීඩියෝ පටවල නැරුඹුම් වාර මිලියන ගණනක් වාර්තා වන බව ද සඳහන් කළ යුතුය. 

මෙම වෙබ් ගිණුම් ද ඇසුරු කර ගනිමින් සජීවී නිරුවත් දර්ශන අලෙවි කිරීමේ ප්‍රවණතාව පිළිබඳ සාකච්ඡා කළ හැකිය. මෙහිදී වෘත්තීය මට්ටමක් මෙන්ම ප්‍රාථමික මට්ටමක් ද දක්නට ලැබේ. වෘත්තීය මට්ටමේ දී විශාල මුදල් අය කරමින් බැංකු ගිණුම් හරහා මුදල් හුවමාරු වන අතර ක්‍රමයෙන් දැවැන්ත ව්‍යාපාරයක් බවට මෙය පත්වෙමින් තිබේ. ප්‍රාථමික මට්ටමේ දී සිය පවුලේ අයට හොර රහසේ ඇතැම් කාන්තාවන් සහ ගැහැනු දරුවෝ මෙම ක්‍රියාවේ නිරත වෙති. දුරකථන කාඩ්පතකට පවා සජීවී නිරුවත් දර්ශන අලෙවි වීම මෙහිදී සිදුවීම දැවැන්ත ඛේදවාචකයකි.

මෙරට සංස්කෘතික සීමා තවදුරටත් දවටනයක් පමණකි. අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසිනි. ලිංගිකත්වය අපරදිග මෙන් විවෘත වෙමින් ඇති මුත් අපරදිග මෙන් ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් හෝ ගෞරවනීයභාවයක් මෙරට නැත. සැබවින්ම නිර්මාණය වී ඇත්තේ විශාල සංස්කෘතියකි. අසැබි වෙබ් අඩවි ලෝලීහු මිලියන ගණනක් මෙරට වෙති. මේ කුතුහලය සහ විකෘතියයි. විධිමත් ලිංගික අධ්‍යාපනයෙන් මිස මෙම විපතින් අපට මිදිය නොහැක.

සියල්ල අප පෙර දී සඳහන් කළත් මෙය ඔබ මේ සටහන කියවන ඇසිල්ලේ පවා සිදුවෙමින් තිබේ. බලධාරීන්ගේ අවධානය නිසි පරිදි මේ වෙත යොමු වී නැත. කණින් කොණින් සයිබර් ලෝකය අතපත ගෑම මිස නිසි විමර්ශන මේ දක්වා සිදුවූ බවට කිසිදු වාර්තාවක් නොමැත. සත්‍ය වශයෙන් මීට හේතුව වී ඇත්තේ පරම්පරා පරතරයයි. මෙම තොරතුරු බලධාරීන්ට විෂය වන සීමාවේ නැත. එසේම කාන්තාව සහ ළමුන් පිළිබඳ පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන් බහුතරයකට මෙය විෂය නොවේ. ප්‍රසිද්ධිය මත සිදුවීම් හඹා යාම ඔවුන්  විසින් සිදු කරනු ලබන ප්‍රධාන වරදයි. එහෙත් අන්තර්ජාලයේ ඇති සෑම ඡායාරූපයක් වීඩියෝවක් පිටුපසම සිදුවීමක් තිබේ. ඒවා හඹා යාම තරම් ප්‍රසිද්ධ නැත. නමුත් ඛේදවාචකයක් ඒ පිටුපස ඇති බව පිළිගත යුත්තකි.

තවත් පසෙකින් මව්පියෝ දරුවන් පිළිබඳ අචල විශ්වාසයක සිටිති. ඔවුන් නොදන්නා ලෝකයක් ඔවුන් ජීවත් වන පරිසරය තුළම වෙයි. ඇතැම් විට තමන්ගේම නිවෙස තුළ වෙයි. සැබවින්ම ගැහැනු දරුවන් අතිශයින්ම අනාරක්ෂිතය. සයිබර් ලෝකයේ ගවේෂණයක් කරන තුරු එය කිසිවකුට අවබෝධ නොවනු ඇත. බහුතර සිදුවීම් මහ මග, කාර්යාලයේ, නිවෙසේ දී සිදුවිය හැකි දෑ පිළිබඳ පමණක් සියල්ලෝම කතා කරමින් සිටිති. සැබවින්ම කාන්තාව සහ ගැහැනු දරැවා පිළිබඳ යථාර්ථය අපට බොහෝ දුරය.

මීට අදාළ තොරතුරු සහ දත්ත ප්‍රසිද්ධ මාධ්‍යයේ අනාවරණය කිරීම ආචාරධාර්මික නැත. එම නිසාම යථාර්ථය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට මෙම සටහන ප්‍රමාණවත් නොවනු ඇත. එහෙත් වගකිවයුත්තන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ අවධානය මෙම සයිබර් හිංසනයන් දෙසට යොමු කිරීම අපගේ අරමුණය. කාන්තාව කෙරෙහි සිදුවන සියලු ආකාරයේ හිංසනයන් මාතෘත්වය කෙරෙහි නිගා දෙන පාපී ක්‍රියා බව අපි අවසානයේ සිහිපත් කරමු.

 චමිඳු නිසල් ද සිල්වා