2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

පොලීසියට මරු පෙන්වන දැදුරුඔය වැලි පාතාලයෝ

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

කුරුණෑගලට නුදුරුව නිකවැරටිය වාරියපොළ බිංගිරිය හා රස්නායකපුර පොලිස් වසම් හරහා ගලන දැදුරු ඔය කාලයක පටන් වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව පවතී. ඊට එරෙහිව ඔය දෙපස පදිංචි ඉඩම් හිමියන්, ග්‍රාම සංවර්ධන
සමිති, සිවිල් සංවිධාන, පරිසර සංගම් කොතෙක් ක්‍රියාත්මක වුවද ඵලක් වී නොමැත. කාලයක් පුරාවට වරින් වර පොලීසිය ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව අවසානයේ 2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබුණේ අදාළ ප්‍රදේශයේ වැලි ගොඩදැමීම සපුරා තහනමට ලක් කිරීමටය.

226/2006 නියෝග අංක යටතේ තහනම් කෙරුණු වැලි ගොඩදැමීම

සිදු කරන ප්‍රදේශය කොබෙයිගනේ සිට කිලෝමීටර් 22ක් පමණ දුරින් පිහිටා ඇත. තහනම නොතකා ජාවාරම්කරුවන් සිදු කරන අකටයුතුකම්වලට එරෙහිව කොබෙයිගනේ පොලීසිය විසින් මේ වසරේ සිදු කළ 39 වැනි වැටලීම ඉකුත් 27 දින මධ්‍යම රාත්‍රියේ සිදු කර තිබිණ.

තහනම්‍ නියෝගය දැඩිව පැවතිය ද තැන තැන ජාවාරම්කරුවන් ක්‍රියාත්මකව තිබුණේ සැලසුම් සහගතවය. ආසන්න ප්‍රදේශවල සමහර සිල්ලර වෙළෙඳසල්, ත්‍රීරෝද රථ නැවතුම්පොළ මෙන්ම ඇතැම් මාර්ග අසල නිවෙස් හිමියෝ ද ජාවාරම්කරුවන්ට ඔත්තු බැලූහ. ජාවාරම්කරුවෝ ඔවුන්ට ජංගම දුරකතන සිම්පත් සපයා සන්තෝෂම් ලෙස මුදල් මෙන්ම විටෙක වැලි ලොරි පිටින් නොමිලේ සපයා දුන්හ. කාකි ඇඳුම දුටුවත් කේලම් කියන මේ ජාලය නිසා මෙය කුඩු වැටලීමටත් වඩා පොලීසියට එහි ගමන් කිරීමටත්  නොහැකි ලෙස අසීරු තත්ත්වයක පැවතී ඇත. එවැනි පසුබිමක මහ රෑ සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරමක තොරතුරක් කොබෙයිගනේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී තිබිණ.

වැලි සමඟ ලොරි රථයක් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පිටත්ව ගිය නිලධාරීන් පස් දෙනාගෙන් ගිනිඅවි සහිතව නිලඇඳුම් සහිත නිලධාරීන් දෙදෙනෙක් වැලි පැටවූ ලොරි පැමිණ අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසෙන මංසන්ධියක රැඳී සිටියහ. ඒ හාතලව නම් ස්ථානයකය. වැලි ජාවාරම්කරුවන් මෙම ස්ථානය හඳුන්වන්නේ ‘පන්සල් මංකඩ තොටුපොළ’ නමිනි. ඊට හේතුව පන්සලකට යන මාවත ඒ හරහා දිවෙන නිසාය. සෙසු බුද්ධි නිලධාරීන් දෙදෙනා ගිනිඅවි සහිත නිලඇඳුම් ඇඳගත් නිලධාරියකු සමඟ වැලි පටවන ඔය අසල පොල් වත්තකට ගොස් තිබුණේ කැලෑබද ඉඩම් මැදින් බඩගාගෙන දුෂ්කර ගමනකිනි. ඉල් පොහොයට ආසන්න දිනයක් නිසා හොඳින්ම හඳ එළිය වැටී තිබිණ. ඒ අතර ජාවාරම්කරුවන්ගේ ඔත්තුකරුවෙක් සැඟවී සිටියදී පොලිස් නිලධාරීන් දැක "පොලීසිය පැන්නා දුවපියාවු...." යැයි කෑ ගැසීය. එසැණින් සැකකරුවන් පිරිසක් ඔයට පැන එගොඩට ගිය අතර තවත් පිරිසක් පැන දිවූහ. පොලිස් නිලධාරීන් පැය එකහමාරක් පමණ සැඟවී සිටි අතර වේලාව රාත්‍රී 11:50ට පමණය. මේ සමඟ ලොරි රථයක් එතැනින් පිටත්වන හඬ ඇසී තිබිණ. වහා ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරියෙක් හාතලව මාර්ගයේ රඳවා සිටි නිලධාරීන්ට ඇමැතුමක් ලබා දී “බාගෙට වැලි පටවපු ලොරියක් එනවා... නවත්වාගන්න. මෙහෙ කට්ටිය පැන්නා" යැයි පැවසීය.

ඊට සූදානමින් පසුවූ මග රැඳී සිටි නිලධාරීහු පටු මාර්ගයේ ඈතින් විදුලි ලාම්පු දල්වා එන ලොරි රථය දැක එය නවත්වන ලෙසට විදුලි පන්දමකින් සංඥ කළහ. ලොරියේ නියමිත අංක තහඩුව ගලවා එය ඉදිරිපස වීදුරැව මත රඳවා තිබිණි. එහි අංකය 43-9500 ලෙස නිවැරදිව හඳුනා ගැනීමට නිලධාරියෙක් සමත් විය. ලොරිය නොනවත්වා ධාවනය කොට පාරේ දකුණුපස සිටි නිලධාරීන් දෙසට හැරවූ රථය යළි මාර්ගයට ගෙන පලා ගොස් තිබිණ. එසැණින් එක් නිලධාරියකු ඉඩමේ වැට බිඳගෙන පැන බේරී ඇතත් පැනගැනීමට නොහැකි වූ නිලධාරියා ලොරියට යට වීමෙන් බරපතළ තුවාල ලබා සිටියේය.

අංක තහඩුව හා ලොරි රථය අනුව සැකකාර රියදුරු මහේෂ් නැමැත්තකු බවට හඳුනා ගැනුණේ ඊට පෙර අවස්ථා තුනකදීම ඔහු කොටුවී තිබූ නිසාය. වහා ක්‍රියාත්මක වූ අනෙක් නිලධාරියා බොරළුගොඩ ප්‍රදේශයේ ජංගම සංචාරයේ නිරතව තිබූ ජිප් රථය අමතා අනතුර දැනුම් දී වහාම එය ගෙන්වාගෙන තුවාලකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. එහෙත් අවාසනාවන්ත ලෙස එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව සිටියේ බරපතළ තුවාල ලැබීම නිසාය. මියගිය පොලිස් කොස්තාපල් එන්.ඒ. රත්නායක (76013) කොබෙයිගනේ පොලීසියට අනුයුක්තව සේවය කළ 32 වියේ පසු වූවෙකි. ඔහු නිකවැරටිය අඹගම්මන ප‍්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි.

අනතුර සිදුවූ ස්ථානයේ බිම ලොරි රථයේ පැති කණ්නාඩියක් හා වයිපරයක් ගැලවී වැටී හමුවී තිබිණ. ඒ පිළිබඳව කළ විමර්ශනයේදී මාර්ගයේ තැනින් තැන වැලි හලා දමමින් ගිය සලකුණු දැක ඇත. ඒ අනුව මාර්ගයේ සී.සී.ටී.වී. කැමරා විමර්ශනය කොට කුලියාපිටියේ කහටගස්වැව කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබූ ලොරිය සොයා ගැනිණ. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු ලොරියේ ඉදිරිපස තිබූ කෙස් හා ලේ සාම්පල් රැගෙන පරීක්‍ෂාවට ලක් කළහ. අනතුරුව සැකකාර රියැදුරා නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 14 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණ.

වැලි ජාවාරමේදී සැකකාර රියැදුරා මීට ඉහතදී තෙවරක් පොලීසියට කොටු වී රු. 150,000/-, රු. 100,000/- හා නැවත රු. 150,000/- වශයෙන් ලක්ෂ හතරක් දඩ ගෙවූ අයෙකි. ඉන් දෙවතාවක්ම වැටලීම සිදුකර තිබුණේ ඝාතනයට ලක්වූ කොස්තාපල්වරයා සහ කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයා විසිනි. අවසන් වතාවට එසේ කොටුවී තිබුණේ ඔක්තෝබර් 4 වැනිදාය. ඊට අමතරව ඔහු වෙනත් ලොරියකින් නීතිවිරෝධී දැව ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගෙන රු. 50,000/-ක් දඩ සහිතව ලොරි රථය රාජසන්තක වූවෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා ද නීතිවිරෝධී වැලි ප්‍රවාහනයට තුන් වතාවක් පොලීසියට කොටුකර ගැනීමට සමත්ව තිබුණේ ද ඝාතනයට ලක්වූ නිලධාරියා ඇතුළු පිරිසකි. ඊට අමතරව 7 වතාවක් එම පොලීසිය මගින් ඔහුගේ ලොරිය අත්අඩංගුවට ගෙන දඩ පමුණුවා මුදාහැර තිබිණ. මේ හේතු නිසා සැකකාර රියැදුරා පොලීසිය සමඟ දැඩි වෛරයකින් පසුවී ඝාතනය සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මීට වසර කිහිපයකට ඉහතදී රස්නායකපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතාට වැලිජාවාරම්කරුවන් පිරිසක් පහරදීමෙන් තවමත් ආබාධිතව පසුවෙයි. එය ද දැදුරුඔය වැලි ජාවාරමට එරෙහිව වැටලීමක් සිදු කළ අවස්ථාවකදීය. එහිදී අනාවරණය වී තිබුණේ ජාවාරම පසුපස ප්‍රදේශයේ දේශපාලනඥයන් සිටින බවය.

සිදුවීමෙන් ඝාතනයට ලක්වූ කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට කටයුතු කොට තිබුණේ ඔහුගේ අගනා සේවයට උපහාරයක් වශයෙනි. පොලිස් ගෞරව සහිතව දේහය පසුගිය පළවැනිදා භූමදානය කෙරිණ. මේ සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එම්.එ.ඩී.බී. ජයතිලක මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර