අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා වරකට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හය ලක්ෂ විසි එක් දහසක් පමණ පෙනී සිටිති. කොවිඩ් නිසා දෙසැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 දින සිට 27 දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබිණි. මෙරට ඇති පාසල් සංඛ්‍යාව දසදහස් එකසිය හැට පහකි. ඒවායින් මේ වන විට ආරම්භ කොට අධ්‍යාපන කටයුතු සිදුවන්නේ පාසල් පන්දහස් එකසියයක පමණි. එවැනි තත්ත්වයක් යටතේ ජනවාරියේ පැවැත්වීමට නියමිත වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය යළිත් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා දෙසැම්බර් 1 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අලුතින් දින නියම කිරීමේදී විභාගය පැවැත්වෙන දිනය ඊට සති හයකට පෙර දැනුම් දීමට පියවර ගන්නා බවද එමෙන්ම රට තුළ පවතින කොවිඩ් වෛරස තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බලමින් විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
“වෙනත් රටවල අපිට වඩා ඉතා විශාල වශයෙන් කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාව ඉන්නවා. ඒ එකම රටකවත් දිගින් දිගටම පාසල් වසා දමලා නැහැ.. විවෘත කළ පාසල්වල ළමයින්ගෙන් හරි අඩක් පමණ පන්තිවලට පැමිණ තිබෙනවා. දරුවන්ට සහ දෙමව්පියන්ට විශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. ගුරුවරුන් පාසල්වලට පැමිණීමේ අනුපාතය සියයට හැත්තෑ හයේ සිට අසූව දක්වා වැඩි වුණා.” යනුවෙන් අධ්‍යාපන ඇමැතිවරයා කියා තිබිණි.
තෙවැනි වාරය සඳහා බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් පසුගිය 23 දා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය. කොවිඩ් දෙවැනි රැල්ලක් ආරම්භ වී තිබුණද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පමණක් ආරම්භ කෙරිණි. රටේ අධ්‍යාපනය බිඳ නොවැටී පවත්වාගෙන යෑමට අවශ්‍ය බැවින් පාසල් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේය.
තෙවැනි වාරය සඳහා ආරම්භ කළ පාසල්වලින් 11 ශ්‍රේණිය සඳහා පන්ති පැවැත්වෙන්නේ පාසල් 5100 ක පමණ ප්‍රමාණයක පමණි. ඒ අනුව සමස්ත පාසල් ප්‍රමාණයෙන් 50%ක පමණ ප්‍රමාණයක 11 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පන්ති පැවැත්වෙන්නේ නැත. විවෘත කරන ලද ඇතැම් පාසල් ද යළිත් වසා දැමීමට සිදුවූයේ කොවිඩ් ආසාදිතයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් හෝ හමුවීම හේතුවෙනි. එකී වාතාවරණය යටතේ තවමත් සියලු පාසල් විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති හෙයින් මේ වන විට දින නියමයක් නොමැතිව අපොස සාපෙ විභාගය කල් දැමීමට සිදුව තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූයේ ආණ්ඩුවේ සැලසුමක් නැති තීන්දු තීරණ නිසා යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ දේශයට ප්‍රකාශ කළේය.. “අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය නොවැම්බර් 23 වැනිදා පාසල් විවෘත කිරීමට පියවර ගත්තේ පූර්ව සැලසුමකින් තොරවයි. පාසල් ආරම්භ කළ විගසම ඉතිරි ඒවා ක්‍රමානුකූලව විවෘත කරනවා වෙනුවට යළි එකින් එක වැහෙන තත්ත්වයක් ඇති වුණා. දරුවන් හා ගුරුවරුන් අතර කොවිඩ් ආසාදිතයන් හමු වුණා. එහෙම වුණේ පූර්ව සැලසුමකින් තොරව කඩිමඩියේ පාසල් විවෘත කිරීමට ගත් තීරණයයි. එකවරම 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කළා. වෘත්තීය සමිති විදිහට අවධාරණය කළේ විභාගවලට මුහුණ දීමට නියමිත සිසුන් නිසා 11 සහ 13 යන ශ්‍රේණි හෝ 10, 11,12, 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා ප්‍රථමයෙන් පන්ති ආරම්භ කර ක්‍රමයෙන් අනෙක් පන්ති ආරම්භ කරන ලෙසටයි. එහෙත් බලධාරීන් එය සැලකිල්ලට ගත්තේ නැහැ.” යනුවෙන් ඔහු පවසයි.
හදිසියේ පාසල් විවෘත කිරීමේ තීරණයට ගුරු - විදුහල්පති සංගම්වලින් එල්ල වූයේ දැඩි විරෝධයකි. ඔවුන්ගේ අදහස වූයේ පළමු කොවිඩ් රැල්ලෙන් පසු පාසල් විවෘත කිරීමේදී ගත් විධිමත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග මෙවර නොගැනුණු බවයි.. කිසිදු සැලැස්මකින් තොරව පාසල් විවෘත කිරීමට පියවර ගැනීම මත සිසුන් අතරින් කොවිඩ් රැල්ලක් නිර්මාණය විය හැකි බව ඔවුන් කියා තිබිණි.
“පළමු කොවිඩ් ව්‍යාප්තියෙන් පසු යළි පාසල් විවෘත කිරීමේදී කිසියම් සැලසුමකට අනුව ඒවා විවෘත කළා. මුලින්ම ආරම්භ කළේ 5 ශිෂ්‍යත්ව දරුවන්ට සහ 11 සහ 13 යන ශ්‍රේණි සඳහායි. පසුව අදියරෙන් අදියරය අනෙක් පන්ති ආරම්භ කෙරුණා. ජනවාරි 18 දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවී ඇත්තේ සැලසුමකින් තොරව පාසල් විවෘත කිරීමට පියවර ගැනීම නිසයි.” යනුවෙන් ඔවුහු සඳහන් කරති.
රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාව හතලිස් තුන් ලක්ෂයකි. පෞද්ගලික පාසල්වලද ලක්ෂයක පමණ පිරිසක් ඉගෙනුම ලබති. සාමාන්‍යයෙන් වසරකට පාසල් පැවැත්වෙන දින ගණන 200ත් 210ත් අතර වේ. 2020 මාර්තු මාසයේ වැසුණු පාසල් යළි ආරම්භ වූයේ අගෝස්තුවේය. එය යළි ඔක්තෝබරයේ වසා දැමීමට සිදු විය. ඒ අනුව 2020 වසරේ පාසල් පැවැත්වුණු දින ගණන දින 80ක් පමණ වේ. (මෙයට ප්‍රාථමික පන්ති ඇතුළත් නොවේ) මෙලෙස පාසල් කාලය අහිමි වීම බරපතළ ලෙස බලපෑවේ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් කෙරෙහිය. මේ වනතෙක් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර නොමැත. එහෙයින් පිරිසකට පාසල් පැවැත්වෙද්දී තවත් පිරිසකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී තිබේ. එමෙන්ම නොවැම්බර් 23 දින පාසල් විවෘත කොට දෙසැම්බර් 23 දින තුන්වැනි වාරයේ පාසල් නිවාඩුව ලබා දීමට නියමිතය. ඒ අනුව පාසල් පැවැත්වෙන්නේ සති 4ක කාලයකි. පන්තියක සිසුන් සිටිය හැක්කේ උපරිමය 15 පමණක් බැවින් පන්තියක 15 වඩා සිටින දරුවන් පාසල් පැමිණෙන්නේ කණ්ඩායම් වශයෙනි. පළමු සතියේ එක් කණ්ඩායමක්ද දෙවැනි සතියේ වෙනත් කණ්ඩායමක්ද පාසලට පැමිණෙති. එවිට දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකි වන්නේ දෙසතියක් පමණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙතෙක් උගන්වා ඇති කොටස් වලින් පමණක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කරන ලෙසට ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
නොවැම්බර් 23 දා සිට මේ වන තෙක් පාසල්වලට පැමිණී ශිෂ්‍ය සංඛ්‍යාව එතරම් යහපත් තත්ත්වයක නොතිබිණි. 50%ක පමණ පාසල් සංඛ්‍යාවක 11 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පන්ති නොපැවැත්වීම හේතුවෙන් ඔවුනට අසාධාරණයක් සිදුවන බවට වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. ඔන් ලයින් ක්‍රම මගින් අධ්‍යාපනය ලබා දීමට පියවර ගැනුණද අගනුවරින් බැහැර බොහෝ සිසුන්ට එම පහසුකම් නොමැතිවීම හා වෙනත් විවිධ බාධක නිසා එහි නියම ප්‍රතිඵල ලබාගත නොහැකි විය. මේ වන විට කඩා වැටීමට ලක්ව ඇති අධ්‍යාපනය ගොඩ නැඟීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් පාසල් අධ්‍යාපනය ගොඩ නැගීම සඳහා සුදුසු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නැතැයි අධ්‍යාපන වෘත්තීය සමිති චෝදනා කරයි.
“බස්නාහිර හා වසා තිබෙන ප්‍රෙද්ශවල සිසුන්ට හැර වෙනත් ප්‍රදේශවල සිසුන්ට පාසල් ආරම්භ කිරීම නිසා වසා ඇති ප්‍රදේශවල අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා. මේ දරුවන් අතුරින් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇත්තේ සුළු පිරිසකට පමණයි. වසා තිබෙන ප්‍රදේශවල අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ගත් ක්‍රියා මාර්ග කිසිවක් නැහැ..මුලින්ම පාසල් වැහුවේ මාර්තු 12දා. එදා සිට ගතවූ මාස නමය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මොනවද කළේ? ජනාධිපතිවරයා අධ්‍යාපනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කළා. එහි සාමාජිකයන් 25ක් හෝ 26ක් සිටිනවා. ගතවූ මාස නවය පුරාවටම බිඳ වැටීමට ලක් වූ අධ්‍යාපනය නංවාලීම සඳහා මේ පිරිස මොනවද කළේ? රූපවාහිනී නාලිකා ඔස්සේ අධ්‍යාපනය ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණත් එයත් සාර්ථක වූයේ නැහැ. අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යෑම නිසා දරුවන්ට ගැටලුවක් ඇති වෙනවා. කලින් දින නියම කර තිබුණේ ජනවාරි 18 නිසා ඔවුන් එයට සූදානම් වෙමින් සිටියා. එක්වරම දින නියමයකින් තොරව කල් දැමීම නිසා දරුවන් තම අධ්‍යාපන කටයුතු අතහරින ස්වභාවයක් ඇති වෙනවා.. ඔවුනට කිසියම් ඉලක්ක දිනයක් ලබා දිය යුතුව තිබුණා. එවිට ඔවුන් අකර්මණ්‍ය නොවී දිගටම අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යෑමට පසුබට වන්නේ නැහැ. දැන් දින නියමයක් නොමැතිව කල් දැමීම නිසා ඔවුන්ගේ පාඩම් කටයුතු අතපසු විය හැකියි.” යනුවෙන් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විෂය නිර්දේශ පන්ති කාමර මට්ටමෙන් හෝ ඔන්ලයින් ක්‍රමය යටතේ මේ වනවිට කොතෙක් දුරට ආවරණයකර තිබේ ද යන්න සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ සඳහා ගුරුවරුන් මගින් තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.
(2020 මාර්තු මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළබව පුවත්පත මුද්‍රණයට යන මොහොතේ දැනගත හැකිවිය.)
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා