
ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවැති දරුණුම අර්බුදය කොවිඩ් වසංගතය විය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. විසි එක් වැනි සියවසේ විජයග‍්‍රහණ ගැන ජගත් ප‍්‍රජාව සිටියේ ආඩම්බරයෙනි. බලශක්ති අංශයෙහි විප්ලවයක් සිදුවෙයි. සූර්ය බලයට හැරෙමින් තිබේ. තාක්ෂණ භාවිතාව විස්මිත තැනකට හැරී ඇත. කෘතීම බුද්ධිය ඉහළම තැනකට පැමිණ තිබේ. මනුෂ්‍යයා තරම් හිතන්නට හා තීරණ ගන්නට සමත් රොබෝවරු නිපදවන තරගයක් ඇත. දත්ත යනු ලෝකයේ වටිනාම සම්පත බවට හැරී තිබේ. නොයෙක් සංඛ්‍යා ලේඛන ඉතාම වැදගත් වී ඇති අතර ඒවායෙන් කරන උපමාන අනුව ඉදිරි පියවර සකස් වෙමින් පවතී.
ඉහළම තලයකට තාක්ෂණය හා සන්නිවේදනය පැමිණ ඇති අවස්ථාවක කොවිඩ් වෛරසය ලෝකය වෙලා ගෙන ඇත. ජීවියකු නොවන කුඩා ප්‍රෝටීන කොටසක් ඇති කරන ව්‍යසනය තැති ගන්වන සුළුය. ලෝක ආර්ථිකය වසර එකසිය හතළිහක් අතීතයට හරවා තිබේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුව ඉතාම ඉහළ තැනක ඇති නමුත් දිනපතා ජීවිතක්ෂයට පත්වන ජීවිත ප‍්‍රමාණය ප‍්‍රශ්නයකි. මිලියන 63.8 කට කොවිඩ් වැළඳී ඇති අතර අහිමි වූ ජීවිත ගණන මිලියන 1.4 කි. පූර්ව එන්නත් හා ප‍්‍රතිකාර විධි ගණනාවක් සොයා ගන්නට සමත්ව ඇති බව ප‍්‍රකාශ වන නමුත් ඒවා තවමත් අත්හදා බලන මට්ටමකය. වසංගතය දෙවැනි හා තෙවැනි රැල්ලක් ගැන සාකච්ඡා වන නමුත් වෛරසය ආසාදනය වීමෙන් පසු එයින් සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ද මිලියන හතලිස් එක ඉක්මවීම සැනසුමට කරුණකි.
වසංගතය මෙතෙක් පැමිණි ගමන අවහිර කර ඇති තරම
මානව සම්පත් විශේෂඥයන් හා ඵලදායිත්වය ඇති කරන මග දක්වන ක‍්‍රියාධරයෝ අනියමින් ලෝකය පාලනය කරමින් සිටියහ. වඩාත් එකතු වී යුහුසුළුව කාර්යය කරන ආකාරය ගැන නොයෙක් අලුත් අදහස් එළිදැක්වූහ. අද වනවිට එකට එකතු වී ක‍්‍රියා කිරීම සම්බන්ධ පාලනයක් ඇති වී තිබේ. ජර්මනියේ ආර්ථික ඇමැතිවරයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ලද කරුණක් ලෝක අවධානයට ලක්ව ඇත. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා හැකිතරම් සම්බන්ධකම් අත්හල යුතු බව දක්වයි. සබඳතා ඇති කරගැනීමට අප‍්‍රමාණ වෙහෙස වූ සියලු පාර්ශ්ව ඒවා අත්හරින පියවර සොයමින් සිටී. සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත් බව දක්වයි. ජනතාව විනයානුකූල බවක් ඇති කරගත යුතුය. ඈත්ව සිටින තරමට ජීවිත ආරක්ෂා කරගත හැකිය. නිවෙස්, කාර්යාල හා ගම්මාන හුදෙකලා වෙන අතර ලෝක ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූ අවන්හල් හා සංචාරක අංශ සම්පූර්ණයෙන්ම ග‍්‍රහණයකය. සංචාරක පිරිස 2019 වසරට වඩා මෙම අවුරුද්දේදී සියයට 60-80 අතර ගණනකින් අඩුවෙයි. සංචරණ කටයුතුවලට අදාළ ආනයන අපනයන ඉලක්ක වෙනස් වීම හෙයින් ලෝක ආර්ථිකයට සිදුවන අවාසිය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2 ඉක්මවන්නට ඉඩ තිබේ. සංචාරක කටයුතු නිසා අහිමි වන සෘජු රැකියා ප‍්‍රමාණය ලක්ෂ එකසිය විස්සකි.
ගුවන් ගමන් සේවා අංශය සබඳතා අඩු කිරීම කෙළින්ම බලපෑ තවත් අංශයකි. 209 කට අධික ගුවන් යානා සමාගම් දක්වන පරිදි තමන්ගේ යානා ගොඩබිම නවතා තබන තරම ලෝක වාර්තාවක් විය හැකිය. යානා නතර කර තබන්නට යාත‍්‍රාංගන ප‍්‍රමාණවත් නැත. දෛනිකව කරන ගුවන් ගමන් හරි අඩකින් අඩු වී ඇති අතර ඒවායේ ද එහා මෙහා යන්නේ සුළු පිරිසකි. කලින් වෙන්කරගත් ටිකට්වලට මුදල් ආපසු ගෙවීම තවත් ගැටලුවකි. දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 230 බැගින් දිනපතා එම අංශයට හානියක් සිදුවෙමින් පවතී.
ආහාර, ඇඟළුම්, අධ්‍යාපන, සිනමා, ක‍්‍රීඩා ඇතුළු සෑම අංශයකම විශාල අනපේක්ෂිත තත්ත්ව ඇති කර තිබේ. සෞඛ්‍ය හා සන්නිවේදන අංශ විශාල ප‍්‍රගතියකය. බැංකු හා මූල්‍ය අංශ අතර වාසිදායක තැන් මතුවන නමුත් කොටස් වෙළෙඳාම හා තැන්පත් පොලී පහළ වැටීම අනපේක්ෂිතව සිදුවෙයි. මේවා පාලනය කරන්නට කිසිසේත් කල්පනා නොකළ පැතිවලින් තීරණ ගන්නට සිදුවී තිබේ.
නූපන් දරුවන්ට කොවිඩ්වලට ඔරොත්තු දෙන ප‍්‍රතිදේහ
සිංගප්පූරුවේ වෛද්‍ය පර්යේෂකයන් අනාවරණය කරන එහෙත් තවමත් පර්යේෂණාත්මකව තහවුරු නොකළ ප‍්‍රවෘත්තියක් සැනසිල්ලට හේතු වී තිබේ. දැනටමත් කොවිඩ් වෛරසය වැළඳී ඇති ගැබිණි මව්වරැන් බිහිකරන දරුවන් කොවිඩ් ප‍්‍රතිදේහ සහිතව ජන්ම ලාභය ලබන බව දක්වයි. පසුගිය මාර්තුවේ ගැබ්ගත් කාන්තාවක් වෛරසයට ගොදුරු වූවාය. කළලයට වෛරසය වැළඳෙන්නට ඉඩ ඇති බව වෛද්‍යවරු අනුමාන කළහ. එහෙත් ප‍්‍රසූතියෙන් පසු පරීක්ෂා කළ විට දරුවා කෙරෙන් කිසිම කොවිඩ් ලක්ෂණයක් අනාවරණය වූයේ නැත. එය සිංගප්පූරුවේ ජනමාධ්‍ය වාර්තා කළේ අදාළ වෛද්‍ය විශේෂඥයන්ගේ ප‍්‍රකාශ සහිතවය. වෛරසයට ඔරොත්තු දෙන ප‍්‍රතිදේහ ශරීරය තුළ නිපදවෙමින් තිබේ දැයි පරීක්ෂණ කළ යුතු බව අනාවරණය කරන කරුණකි. මිලියන ගණන් ආසාදිත නමුත් කොවිඩ් රෝගය වැළඳුණ ගැබිණි මවුවරු ඉතා සීමිතය. ගැබිණි හා කිරිදෙන මවුවරු කොවිඩ් අනතුර අභිමුවෙහි සිටි නමුත් දරුවන් ආරක්ෂා වූ අතර කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තීකරණයක් ඇතිවෙමින් තිබේ ද යන්න ගැන තවමත් නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකි බව පැවසේ. පෙකණි වැල හරහා වෛරසය ආසාදිත වී නැති අතර කිරි පෙවීමේදී එය නොවැළඳෙන බව තවත් අදහසකි. එහෙත් කුස තුළ සිටින දරුවන් ආරක්ෂිතයැයි සම්පූර්ණයෙන්ම දක්වන්නට නොහැකි බව බටහිර වෛද්‍ය වාර්තා දක්වන බව ද මෙහි දී සඳහන් කළ යුතුය. බ්‍රිතාන්‍යයේ නොටින්හැම් ප‍්‍රාන්තයේ කරන ලද පර්යේෂණයක් අනුව කොවිඩ් වැළඳුන මවුවරුන්ගේ දරු උපත් 655ක් අතරින් කොවිඩ් වැළඳුන අවස්ථා වාර්තාවෙන්නේ සියයට 2.7ක් පමණකි.
මෙවැනි පැති ගැන අනාවරණය වන අතරතුරු ලෝකයේ නොයෙක් රටවල් වසර අවසානයේ සාද හා සැනකෙළි තහනම් කර තිබේ. කිතුණුවෝ මෙවර නත්තල් උත්සවය චාම් අයුරින් පවත්වන්නට බලා සිටියහ. දේව මෙහෙය පවත්වන අන්දම ගැන සාකච්ඡා කරමින් සිටියහ. එහෙත් රටවල් ගණනාවක පැතිරීම වේගවත් වී තිබේ. දකුණු කොරියාව එයින් එකකි. අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ද ඉහළම ලැයිස්තුවේ ඇත. එම රටවල් සම්භාෂණ හා සාද අවලංගු කරන තීරණවල සිටී. එහෙත් යුරෝපයේ බොහෝ රටවල් වෛරසය හමුවේ රටවල් ලොක්ඩවුන් කිරීම ගැන එකඟ නැත. පනවන නීතිවලට එරෙහිව වීදි බසිමින් සිටී.
මැලේරියාව හා ඒඩ්ස් ගැනත් අවධානයක් අවශ්‍යයි
ශ‍්‍රී ලංකාව මැලේරියාව සාර්ථකව තුරන් කරගැනීමට සමත් වූ රටකි. එහෙත් ලෝකයේ තැනින් තැන මැලේරියාව තිබේ. අප‍්‍රිකානු කලාපය එයින් ප‍්‍රධානය. ලෝකයේ මැලේරියාවෙන් මියයන පිරිස අතරින් සියයට අනූපහක්ම අප‍්‍රිකානුවන්ය. වළක්වා ගැනීමට සෑම පියවරක්ම තිබියදී පවා මැලේරියාව තර්ජනයකි. 2017 දක්වා කාලය තුළ නැවත වටයකින් මැලේරියාව පැතිරෙන බව අනාවරණය විය. එම වසරේ රෝගීන් මිලියන 231 ක් වාර්තා වී තිබේ. විශේෂයෙන් කුඩා දරුවෝ රෝගයට ගොදුරු වී ඇත.
කොවිඩ් ගැන පවතින භීතිය තිබියදී ඒඩ්ස් වසංගතය ගැන පවා තවමත් අනතුරු ඇඟවීම්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා ප‍්‍රජා කණ්ඩායම්වල දැනුම්වත් කිරීම ඉදිරියේ පසුගිය දශකය තුළ අහිමි වන ජීවිත ප‍්‍රමාණය අඩු වී තිබේ. කෙසේ නමුත් පසුගිය වසර හතළිහ තුළ ඒඩ්ස් රෝගයෙන් මියගිය පිරිස මිලියන 32.7කි. දශක හතරක් තුළ එම ප‍්‍රමාණය එක වසරකදී කොව්ඩ් - 19 හෙයින් අහිමි වූ ජීවිත ගණන සමඟ සසඳන්නට පහසු නැත. නමුත් මෙම වසංගත හමුවේ සබඳතා සම්බන්ධයෙන් ලෝකය අලුත් පාඩමක් ඉගෙන ගෙන තිබේ.
චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් පැන නැගුණ කොවිඩ් වෛසරය රටවල් දෙසීයක් ඉක්මවා සීමා මායිම් රහිතව පැතිරී යමින් තිබේ. ඉක්මනින් ගැටලුව නිරාකරණය කරගැනීමට සියලු රටවල් කැපවීමෙන් ක‍්‍රියාකරමින් සිටිති. ලෝක නායකයෝ හා සංවිධාන ඉදිරියට පැමිණ තිබේ. කොවිඩ් - 19 තුරන් කිරීමෙන් පසු උදාවන අලුත් ලෝක ව්‍යූහය ගැන අවධානය යොමු කර ඇති බව පෙනේ. කෙසේ වෙතත් මෙතෙක් පැවැති ව්‍යූහය වෙනස් වී තිබේ. තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් ඉදිරියට යන අතරවාරයේ ජන ජීවිතය හරහා වැටෙන අඳුරු සෙවනැලි ඉතාම මාරාන්තිකය. වේගයෙන් ගමන් කරන ජීවිත අන්තිමේදී නතර කරන තැනට පත්ව ඇත. එය අවිනිශ්චිත අනාගතයකට දොරටු හැර දමා ඇති බව පෙනේ.
අර්බුදය හමුවේ අලුත් අවකාශ එළියට
වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය තවත් වටයකින් තාක්ෂණය භාවිතයට ගැනීමක් වී ඇත. ලෝක නායකයන් එකිනෙකා හමුවීමට නතර කර තාක්ෂණය භාවිතා කරන්නට පටන්ගෙන තිබේ. සියලු නිෂ්පාදන හා අලෙවි අංශ තාක්ෂණයට යොමු වී ඇත. මිනිස් සම්බන්ධතා අඩුවෙන්ම යෙදවෙන අතර රොබෝ තාක්ෂණයෙන් කම්හල් පණ ගැන්වෙන හා නිපදවන දේ කෙළින්ම පාරිභෝගිකයන්ට බෙදාහරින වැඩපිළිවෙළ සැකසෙමින් තිබේ. එය පිරිවැය කළමනාකරණය කරන ක‍්‍රමයක් ද වනු ඇති අතර ඉදිරියේදී ආර්ථික දියුණුවකට හේතු වනු ඇතැයි විශ්වාස කෙරේ. ජනී ජනයා කාර්යාලවලට නොගොස් නිවසේ සිට වැඩ කරන නැඹුරුවක් ද ඇත.
ලෝක ආර්ථික සංසදයේ පර්යේෂණ වාර්තාවක් නිවසේ සිට වැඩ කරන අවස්ථා වැඩි විය හැකිය. බැංකු හා මූල්‍ය අංශය සහමුලින්ම වෙනස් වී මුදල් ගනුදෙනු අතින් හුවමාරු නොකරන තැනකට පත්වනු ඇත. කෘතීම බුද්ධිය අලුතින් එන ක්ෂේත‍්‍රයකි. කෘතීම රොබෝවරු භාවිතය රටවල් විසි හයකට ව්‍යාප්ත වනු ඇතැයි සැලකෙන අතර එම ප‍්‍රවේශය සමග හසුරුවන තාක්ෂණය දැනගෙන සිටින පිරිස වෙනුවෙන් අලුත් රක්ෂා මිලියන අසූ පහක් බිහිවනු ඇත. රොබෝ ආගමනයය හෙයින් මිනිස් ශ‍්‍රමය අවලංගු වනු ඇති අතර රැකියා අහිමි විය හැකි බවට පැවැති භීතිය අනෙක් පැත්තකට හැරී තිබේ.
මෙම සියලු පැති වෙනුවෙන් ජන නායකයන්ගේ හැසිරීම තීරණාත්මකය. ජනතාව තනි නොකළ යුතු අවස්ථාව පමණක් නොව කොපමණ විවේචන මැද නමුත් එම මොහොතේ ගත යුතු තීරණ ඉදිරියේ නොසැලී සිටීම වැදගත් බව ඔප්පු කර ඇත. සමාජ අර්බුද හමුවේ අප‍්‍රමාණ ගැටලු ඇත. සන්නිවේදන තාක්ෂණය සමඟ එකතු වන ජනී ජනයා අවුල් වියැවුල් හදමින් සිටී. මෙම ව්‍යූහ අතරින් අලුත් නායකත්ව ක‍්‍රියාත්මන වන අන්දම අනුව අනාගතය ගොඩ නැංවෙන බව පිළිගත යුතුය.
ගාමිණී සරත් ගොඩකන්ද