රටම ගිලගත් කොවිඩ්-19 උවදුරත් සමඟම, ගිනිගත් මහර බන්ධනාගාරයේ උණුසුම තවමත් පහව ගොස් නැත. තැන තැන අළු යට ගිනි පුපුරුය. ඒ විනාශයේ තරම කොතෙක්දැයි මාධ්‍යයට මුදාහළ වීඩියෝ දර්ශන මොනවට කියාපායි.
පසුගිය පොහෝ දිනයේ (29) සවස ආරම්භ වූ මහර කැරැල්ලේ උණුසුම 1දා වන විටත් නිවී ගොස් තිබුණේ නැත. රැඳවියන් නැවතත් සටනකට අරඅදින බවටත්, තවමත් සිරකුටිවලින් පිටතට වී සිටින බවටත්, තොරතුරු ඒ වන විටත් වාර්තා වී තිබුණි. එනිසාම, රට වටින්ම 10 දෙනා බැගින් නිලධාරීන් එක්රැස් කර එස්.ටී.එෆ්. භටයන් සමඟ දින 3කට පසු නිලධාරීන්ට සිරගෙට යාමට හැකි විය. මහර රැඳවියන් 191 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමඟම මෙම නොසන්සුන්තාවය හටගත් බව කියැවෙතත් ඊට දින කිහිපයකම සිට ඊට අරඇන්ද කණ්ඩායමක් සිටි බව කිසිවකුත් දැන නොසිටින්නට ඇත. ඒත් සියල්ල පුපුරා යාමට වැඩි වෙලාවක් ගතවූයේ නැත. රෑ එළිවනවිට මුළු බන්ධනාගාරයම ගිනි ගොඩක් බවට පත්වී තිබිණි. ආයුධ ගබඩාව හැර රෑ එළිවන විට සියල්ල සුන්බුන් වන්නට තරම් ගින්න බලවත් විය. ඒ සියල්ල සිදුවූයේ කිසිවකුටත් පාලනය කළ නොහැකි අයුරිනි.
එදා බන්ධනාගාර උණුසුම් වූයේ පහසුකම් නොමැති නිසාය. මෙදා මහර ඇතුළු බන්ධනාගාර ගණනාවකට පැතිර ගිය කොවිඩ් රැල්ලේ උණුසුම කිසිවකුටත් නිවන්නට නොහැකි වූයේ, විසඳුම් කඩිනමින් නුදුන් නිසා බවට ඉහළින් දැන් දැන් චෝදනා ඇහෙන්නට පටන්ගෙන ඇත. මහර තදබදය එසේ මෙසේ නොවන බවට හොඳම සාක්ෂිය එහි පුරවා තිබූ සිරකරු සංඛ්‍යාව බලන විටය. 800කට ඉඩකඩ ඇති මේ මහර බිමේ 3100ක් රැඳවියන්ගේ නිජබිම වනවිට අරගල, උද්ඝෝෂණ, විරෝධතා අතර දැඩි නොසන්සුන්තාවයක් හටගැනීම ගැන පුදුම විය යුතු නැත.
පැතිර යන කොරෝනා උවදුරෙන් ගැලවීම සඳහා තමන්ටත් පී.සී.ආර්. පරීක්ෂාව සිදු කරන ලෙසට හා නඩු කඩිනම් කර ඇප ලබා දෙන්නැයි ඉල්ලා වැලිකඩ, අඟුණකොළපැලැස්ස, මීගමුව ඇතුළු බන්ධනාගාර කිහිපයකම රුඳවියන් වහළයට නැග තිබුණේ එක රැල්ලටය. එදා 2012 දී වැලිකඩ, මැගසින් ද, 2019 දී අනුරාධපුර බන්ධනාගාරය ද ගිනි ගත්තේ, නිදහස ඉල්ලීම වෙනුවෙනි. මෙදා අරගල රටම ගිලගත් කොරෝනා අවදානම බන්ධනාගාර 12ක පමණ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙන නිසාය.
බලධාරීන් පවසන්නේ එය බන්ධනාගාර තුළ පාලනය කර ඇති බවය. මේ වන විට බන්ධනාගාර කොවිඩ් පොකුර 1200ක් දක්වා ඉහළ ගොස්ය. මහර බන්ධනාගාරය එදා පළමු කොවිඩ් රැල්ලට ගොදුරු නොවූ සාමකාමී බන්ධනාගාරයක් ලෙස පැවති බවට නිලධාරීන් පවසන්නේ නිකමට නොවේ. එහි ඉරණම තීන්දු වූයේ, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැලිකඩ බන්ධනාගාර රෝහල පත්වීමත් සමඟය.
120ක් පමණ වූ එහි සිටි රෝගී රැඳවියන් මහරට මාරු කර යැවීම සිදු වූයේ, පසුගිය 10දාය. පැරණි බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ හටගත් උද්ඝෝෂණ රැල්ලත් සමඟ එහි සිටි තවත් පිරිසක් ද මහරට මාරු කර යැවීම වරින් වර සිදු වූ බවට නිලධාරීහු පෙන්වා දෙති.
ඒ සියල්ලෝම මහර බන්ධනාගාර රෝහල මගින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබූ අතර, ඉන් 191 දෙනකුම කොවිඩ් ආසාදිතයන් බව හෙළිවීමත් සමඟම, සැලසුම කරළියට ආ බව තතු දත්තෝ හෙළි කරති. බන්ධනාගාර බුද්ධි අංශ ඊට පෙර මේ පිළිබඳව වගකිව යුතු අංශ දැනුවත් කර තිබුණද, එහි මහර ගැන සඳහනක් නොවූ බව බන්ධනාගාර (පාලක) කොමසාරිස්වරයා පසුගියදා මාධ්‍යයට පවසා තිබුණි. මෙම අරගලය ආරම්භ වීමට තිබුණේ, වෙනත් බන්ධනාගාරයක බවට තොරතුරු ලැබුණේ නම්, කළ යුතු දේ ඒ සියල්ලේම ආරක්ෂාව තර කිරීම නොවන්නේදැයි සිතෙන්නේ මේ විටය.
දැන් සියල්ල සන්සුන්ය. අලාභ හානිය රුපියල් කෝටි ගණනක් බවටත්, කැරැල්ල මෙහෙයවූ නායක රැඳවියන් 25 දෙනා හා ඊට සම්බන්ධ වූ රැඳවියන් 125 දෙනා හඳුනාගත් බවටත්, සියල්ලන්ටම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, කටයුතු යොදා ඇති බව කීවේ කොමසාරිස් ජනරාල්වරයාය. මේ වන විටත් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන කැරලි නායකයන් 25 දෙනා වැලිකඩට මාරු කර යවා ඇතැයි ඔහු කීවේය. ප්‍රධාන ගේට්ටුව හා තාප්පය බිඳ පලා යාමේ සැලසුමක් මෙහි තිබූ බවද ඔහු සඳහන් කළේය. රට පුරා බන්ධනාගාරවලින් නිලධාරීන් ගෙන්වා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහායෙන් දැන් රැඳවියන් සියල්ලෝම සිරකුටිවලය.
විනාශ කර දමා තිබූ සිරකුටි නැවත පිළිසකර කරන්නට යුද හමුදාව යොදවන්නට ද සිදු වූයේ මේ අතරය. මහර රඳවා සිටි වැඩි පිරිස මත්කුඩු ඇතුළු විවිධ චෝදනාවන්ට ලක් වූ රිමාන්ඩ් සිරකරුවෝය. මහර ගිනි තැබීමට එම රුඳවියෝ සහාය වූ බව දැන් හෙළි වී හමාරය.
එදා 29දා සවස වනවිට 1200ක් පමණ වූ සැකකරුවෝ උද්ඝෝෂණයක් ආරම්භ කර පලායාමේ සැලසුමක් තිබූ බවත්, ඒ සඳහා ප්‍රධාන දොරටුව අසලට පැමිණ කලහකාරී ලෙස හැසිරුණු බවත් පරීක්ෂණවලදී අනාවරණය වුවද, පසුගියදා මාධ්‍යයට නිකුත් කළ එම කැරැල්ලේ වීඩියෝ දර්ශන තුළින් සිදු වී ඇති විනාශය දැකගත හැකි විය. සිරකුටි කඩාගෙන පිටතට පැමිණි රුඳවියන් එකිනෙකාට පහර දෙමින් විකෘති මනසකින් හැසිරී ඇති අයුරු එහි කදිමට දර්ශනය විය. මෙම සැලසුමේ ප්‍රථම අදියර කැරලි නායකයන්ට අනුව, බන්ධනාගාර රෝහල කඩා ඖෂධ ඇතුළු බෙහෙත් පෙති පැහැර ගැනීමය. ඒ අනුව, මුලින්ම එහි ගිය පිරිස බන්ධනාගාර නිලධාරීන්ට පහර දී බෙහෙත් ගබඩාව කඩා අවශ්‍ය දෑ පැහැරගෙන එහි දේපලවලට ගිනි තැබූහ. ඒ වන විට බෙහෙත් ගබඩාවේ මානසික රෝගීන්ට නිකුත් කරන පෙති වර්ග 21,000ක් තැන්පත් කර තිබුණු අතර, ඒ සියල්ල පැහැරගත් කැරලිකරුවෝ තම හිතවත් සියලුම රැඳවියන්ට ඒවා ලබා දුන්හ. ඒ සිරකරුවන් පිරිස එම පෙති පහ හය බැගින් ගිල දමා තිබුණු බව හෙළි වූයේ, ඉන්පසු ඔවුන් හැසිරුණු අන්දම නිසාය.
පිරිසක් මහ ගේට්ටුව අසලට විත් කෑකෝ ගසමින් නිලධාරීන්ට ගල්මුල්වලින් පහර දුන් අතර, තවත් පිරිසක් මුළුතැන්ගෙයි තිබූ දැවි තෙල් තොග රැගෙනවිත් මුළු බන්ධනාගාරයේම වැදගත් තැන් ගිනි තැබූහ. මුළුතැන්ගෙයි තිබූ ආහාර පමණක් නොව, කල්දේරම් කපා උල් ආයුධ පවා සකස් කරගත් ඔවුහු මුලින්ම අධිකාරී කාර්යාලය ගිනි තැබූහ. එහි තිබූ ඓතිහාසික කඩු දෙක ද පැහැර ගත්හ. තම විරුද්ධවාදීන්ට එනම්, මෙම අරගලයට සහාය නොදුන් සිරකරුවන්ගේ (පාටි කරුවන්ට) දිගින් දිගටම පහර දුන්හ. පොලු මුගුරු ද ඔවුන් අත විය. ඒ වන විට සියලුම නිලධාරීන් පලවා හැර තිබුණු අතර, නිලධාරීහු මහ ගේට්ටුව රැක ගත්හ. සැකකරැවෝ සිරගෙය තම පාලනයට යටත් කර ගත්හ.
එදින එනම්, 30දා අලුයම වන විට අවි ගබඩාව හැර ලේඛනාගාරය, ගබඩාව, රෝහල කාර්යාල, සිරකුටි සියල්ලම ගිනිබත් වී හමාරය. ඒත් අවි ගබඩාව රුකගැනීමට නිලධාරීහු උපක්‍රමශීලී වූහ. තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ කැරලි මර්දන පොලිස් කණ්ඩායම් ගණනාවක්ම කැඳවීමට සිදු විය. ඒ අනුව අවට ආරක්ෂාව ද තර කෙරිණි. 400ක පමණ ආරක්ෂක බලකායක් එහි විය. මේ වන විටත් ගැටුම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර සිටි රෝගීන් 11 දෙනෙක් මියගොස් සිටියහ. කිහිප දෙනකුම මියගොස් තිබුණේ, ගැටුම නිසා බවද හෙළි විය. 29දා රාත්‍රී වන විට ඔවුන්ගේ සිරුරු 4ක් සොයාගෙන තිබුණු බවද වාර්තා විය.
මේ වන විටත් රාගම රෝහලේ තුවාලකරුවන් 107කි. පහර කෑමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි නිලධාරීන් දෙදෙනාගෙන් හෙද නිලධාරියා රෝහලෙන් බැහැර කර ඇති බවද වාර්තා වූයේ, අනෙක් නිලධාරියා බරපතළ තත්ත්වයේ බවට ද කරුණු හෙළිදරව්වත් සමඟය. කොවිඩ් ආසාදිත රැඳවියන් 191 දෙනා එදිනම (එනම් 29 වැනි දින) වැලිකඩ කාන්තා අංශය වෙත මාරු කර එවූ බවද කියැවිණි. ඒ වන විටත් කාන්තා අංශය හිස් කර කොවිඩ් ආසාදිතයන් රැඳවීමට සකස් කර තිබිණි. ආරක්ෂක ලේකම්වරයා කීවේ නිලධාරීන්ට එදා කැරැල්ල මැඩපැවැත්වීමට ආරක්ෂක පියවරක් ලෙස වෙඩි තැබීමට සිදු වූ බවය.
රැඳවියන් අතර ගැටුම් ද උත්සන්න වී තිබුණු මෙම අවස්ථාවේ කොවිඩ් ආසාදිතයන් 191 දෙනා පලා ගියේ නම් කුමන තත්ත්වයක් ඇතිවීමට තිබුණේද යන්න ඔහු ප්‍රශ්න කර තිබුණේ, එහි භයානක බව කියන්නටය. මෙහි වඩාත්ම ඛේදජනක තත්ත්වය නම්, මියගිය 11 දෙනාගෙන් 8 දෙනකුම කොවිඩ් ආසාදිතයන් වීමය. තුවාල ලබා රෝහල්ගත කර සිටි 28 දෙනකුම කොවිඩ් ආසාදිතයෝ වූහ.
මහර සිද්ධිය රට පුරා ප්‍රධාන මාතෘකාවක් වූ අතර, පාර්ලිමේන්තුව ද උණුසුම් කිරීමට එය සමත් විය. ඒ සමඟම සිද්ධිය පිළිබඳව සොයා බලන්නට කමිටු 3ක් පත් කෙරිණි. එක් කමිටුවක නිලධාරීන් පිරිසක් 30දා වන විට මහරට පැමිණ පරීක්ෂණ අරඹා තිබුණි.
කොරෝනා ව්‍යාප්තිය හා බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා රැඳවියන්ට ඇප ලබාදීමේ සැලසුම් හා ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ මේ අතරය. ඊට ප්‍රතිචාර ලෙස මෙම 7දාට පෙර මත්ද්‍රව්‍ය සැකකරුවන්ට නඩු පවරා අදාළ කටයුතු අවසන් කරන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන්ට දුන් උපදෙස් මත එවැනි සැකකරුවන් 3000ක් පිළිබඳව නඩු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.
මේ අතර, නව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලෙස දිව්රැම් දුන් ලොහාන් රත්වත්තේ මහතා සිය ප්‍රථම රාජකාරිය ආරම්භ කළේ ඉකුත් 2දා මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමිනි. ඊට සුළු මොහොතකට පෙර විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ද මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සූදානමින් පැමිණ තිබුණද, ඔවුන්ට එහි යාමට ඉඩ ලබා නොදුන් බවට චෝදනා කළේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මහර බන්ධනාගාරයේ සිද්ධියට හේතුව වැලිකඩින් 120ක් මහර බන්ධනාගාරයට මාරු කර යැවීම බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවද සඳහන්ය. ඒ අනුව, මහර බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුගෙන් හා එහි ප්‍රධාන ජේලර්වරයාගෙන් 2දා වන විට ප්‍රශ්න කර තිබූ බවද හෙළි විය.
එදා මහර කැරැල්ල සිදුවන විට බන්ධනාගාරයේ සේවයට පැමිණ සිටියේ, නිලධාරීන් 9 දෙනකු බවද හෙළි වී ඇත. 3100ක් පාලනය කිරීමට නිලධාරීන් 9 දෙනකු පමණක් යෙදවීමේ ප්‍රශ්නය ද බරපතළ එකකි. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කීවේ මෙවන් කතාවකි.
“බන්ධනාගාරයේ නිලධාරී පුරප්පාඩු පවතින්නේ වසර ගණනාවක සිටයි. පසුගිය කාලය තුළ බඳවාගැනීම් සිදු කරන්නට ගියත්, විවිධ හේතු මත ඒවා අවලංගු වුණා. අද වන විට 1900ක පමණ නිලධාරී හිඟයක් පවතිනවා. මේ පිළිබඳව රජයට කරුණු දැනුම් දී තිබෙනවා. විසඳුමක් ළඟදීම ලැබෙයි. මෙම අවාසනාවන්ත සිද්ධිය ගැන කනගාටු වෙනවා. අද වන විට බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය හිඟය තදින්ම බලපා තිබෙනවා. ඒ අපේ නිරන්තර වැටලීම් නිසයි. එදා මත් ජාවාරම්කරුවන් පිරිසක් මත්ලෝලීන් හා එක්ව එම කැරැල්ල සැලසුම් කර මෙහෙයවා ඇති බවට තොරතුරු තිබෙනවා.
ඒ අය අතර නායකයන් 25 දෙනකු හා රැඳවියන් 125ක් සිටිනවා. සියලු දෙනාටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. දැනට හඳුනාගත් කැරලි නායකයන් 25 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ස්ථානයක රඳවා සිටිනවා. මහර දේපළ හානිය තවමත් තක්සේරැ කර නැහැ. මේක කෝටි ගණනක දේපළ හානියක්.”
මෙරට බන්ධනාගාර 30ක පමණ රැඳවිය හැක්කේ, 11,000ක් පමණක් වුවද, 32,000ක් එහි සිටින අයුරු ද පුදුම සහගතය.
ජයන්ත සමරකෝන්