කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වී තිබේ. එලෙස භාවිත කරන මුව ආවරණ, අත්වැසුම්, ටිෂූ කඩදාසි ආදිය තැන තැන දමා ගොස් තිබෙනු දැකිය හැකිය. අනුන් ගැන නොසිතන මිනිසුන්ගේ එවැනි නොහික්මුණු ක්‍රියා සෞඛ්‍යට මෙන්ම පරිසරයටද හානිදායකය. කොවිඩ් වැළඳුණු පුද්ගලයන් හඳුනාගැනීම නිසා සෞඛ්‍ය අංශ මගින් හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනයා මෙන්ම ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන නිවෙස්වල සිටින පුද්ගලයන් විසින් බැහැර කරන මුව ආවරණ, අත්වැසුම්, ටිෂූ කඩදාසි යනාදී අපද්‍රව්‍ය මගින්ද දැඩි සෞඛ්‍ය ගැටලු නිර්මාණය කරන අතර පරිසරයට හානිදායක බව පැහැදිලි කරුණකි. එහෙයින් මධ්‍යම පරිසර අධිකාරිය ඒ සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
එම මාර්ගොපදේශ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශවල වෙසෙන පිරිස් සහ නිරෝධායනය සඳහා යොමුකර ඇති නිවාසවල ජනතාවද, පොදුවේ සමස්ත මහජනතාවද තමන් භාවිත කරන මුවවැසුම් හා අත්වැසුම් යනාදිය බැහැර කිරීමේ දී පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට හානි නොවන අයුරින් ඒවා බැහැර කළ යුතු බවට නිර්දේශ කර ඇත.
හුදෙකලා කරන ලද ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා සේවකයන් යොදවන ලෙසට පළාත්පාලන ආයතනවලට එමගින් උපදෙස් දී තිබේ. එමෙන්ම කොවිඩ් ආසාදිතයන් විසින් භාවිතා කරන මුව ආවරණ, අත්වැසුම්, ටිෂූ කඩදාසි යනාදිය බැහැර කළ යුත්තේ කහපැහැති බෑගයකටය. එම බෑගවල අසුරා ඇති අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා නොගැනෙන අතර ඒවා විධිමත් ලෙස විනාශ කිරීමටද පියවර ගත යුතුය.
කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා මහජනතාව විසින් භාවිතා කරන මුව ආවරණ හා අත්වැසුම් යනාදිය බැහැර කිරීමට පෙර හොඳින් සෝදා වියළා බැහැර කළ යුතු බවද මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතේ කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමුවූ, දැනට නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වලින් ඉවත දමන කසළ කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා සඳුදා සහ අඟහරුවාදා යන දෙදින වෙන් කර ඇති අතර කරදියාන කසළ අංගනයේ සේවයේ නිරත පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කරනු වස් එකී සායනික අපද්‍රව්‍ය කහ පැහැති ඇසුරුම්වල බහා ජීවානුහරණය කර ඒ සඳහා වෙන්කළ රථයක එම කසළ අංගනයට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
නිරෝධානය වන නිවෙස්වලින් බැහැර කෙරෙන සායනික කසළ පුළුස්සා දෑමීම වඩාත් යෝග්‍ය ක්‍රියාවලිය වුවද ඒ සඳහා අවශ්‍ය පහසුකම් කරදියාන කසළ අංගනයේ නොමැති හෙයින් මනාව ජීවාණුහරණය කිරීමෙන් පසු කසළ අංගනයේ වෙන්කළ කොටසක වැළලීමට සැලසුම් කර තිබේ. මෙම කසල දැඩිව ජීවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් මේ වන විට ස්ථාපිත කර ඇතැයිද, සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව උදෙසා රුපියල් මිලියන තුනක ආරක්ෂිත ඇඳුම්, අත් වැසුම්, පා ආවරණ ජීවාණුහරණ දියර ලබාදීමට කටයුතු කර ඇතැයි ද බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි. ඒ සඳහා ජයිකා ආයතනයෙන් රුපියල් මිලියන දෙකක්ද බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියනයක්ද ලැබී තිබේ.
කෙසේ නමුදු මෙලෙස සායනික අපද්‍රව්‍ය පුළුස්සා නොදමා වළ දැමීම මගින් පාරිසරික හානියක් සිදු විය හැකිද? අප මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතාගෙනි.
කරදියානට මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ප්‍රධාන ගැටලුවක් ඇතැයි ඔහු සඳහන් කරයි.
“කරදියාන නමැති ස්ථානය සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක්ද යන්න අප ප්‍රථමයෙන් විමසා බැලිය යුතුයි. සාමාන්‍යයෙන් එවැනි ක්‍රියාවලියකදී එම ස්ථානය සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සුදුසු බවට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් තිබිය යුතුයි. එම අනුමැතියේ ඒ සඳහා සුදුසු නිර්ණායක දක්වා තිබිය යුතුයි. කරදියානට එවැනි අනුමැතියක් ලැබී නැහැ. මෙවැනි දේවල් අක්‍රමික ලෙස සිදුවන විට රට පුරා විශාල පාරිසරික ගැටලුවක් නිර්මාණය වෙනවා. ලංකාවේ විවිධ පළාත්පාලන ආයතන මගින් පවත්වාගෙන යනු ලබන කසළ රැඳවුම් අතුරින් 98%ක්ම නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ඒවා. එවැනි තත්ත්වයක් යටතේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේදී එම ප්‍රදේශයේ සිටින ජනතාවට විශාල පාරිසරික ගැටලුවක් ඇතිවිය හැකියි. මෙම සායනික අපද්‍රව්‍යවල ඇති විෂබීජ භූගත ජල මූලාශවලට එකතුවනවා. මා පවසන්නේ මෙහිදී කොවිඩ් 19 වෛරසය පිළිබඳව පමණක් නොවෙයි. පොදුවේ ගත් කළ සායනික අපද්‍රව්‍ය මගින් විශාල අවදානමක් ඇතිවෙනවා. ඔය රෝගීන්ට කොවිඩ් 19 පමණක් නොවෙයි වෙනත් රෝග තිබිය හැකියි. මෙම සායනික අපද්‍රව්‍ය මෙම ස්ථානයට බැහැර කළ හැකි බවට කිසිදු අනුමැතියක් නැහැ. මේ එක ස්ථානයක් පමණයි. දිවයිනේ තවත් බොහෝ ප්‍රදේශවලින් මෙවැනි සායනික අපද්‍රව්‍ය බැහැර කෙරෙනවා. ඒවායින් රටේ ජනතාවගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් එල්ල විය හැකියි. ඇතැම් පෞද්ගලික ආයතන මගින් පවත්වාගෙන යන කසළ රැඳවුම්වල ඉතා ඉහළ උෂ්ණත්වයක් යටතේ මෙවැනි සායනික අපද්‍රව්‍ය දහනය කරනවා... කරදියානේ එලෙස පුළුස්සා දැමීමට හැකියාවක් නැහැ. මෙම ස්ථානයේ නිසි ලෙස කසළ බැහැර කිරීම සඳහා විවිධ සැලසුම් හැදුණා. සමාගම් ගණනාවක් ඒ සඳහා ඉදිරිපත් වුණා. එම සැලසුම් කිසිවක් ක්‍රියාවට නැංවුණේ නැහැ. ඒ එම සමාගම්වලින් ඇතැම් බලධාරීන් අධික ලෙස කොමිස් ඉල්ලා සිටි බැවින්.
කොවිඩ් හැදී මියගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ විෂබීජ පැතිරීම වැළැක්වීමේ පූර්වාරක්ෂණ උපායමාර්ගයක් ලෙසයි. අපට හැකි සෑම අවස්ථාවකම පූර්වාරක්ෂක උපායමාර්ග ගත යුතුයි. කරදියාන ප්‍රදේශය අවට අධික ජනගහණයක් වාසය කරනවා. එමෙන්ම එම ප්‍රදේශය තෙත්බිම් පද්ධතියක්. තෙත්බිම් පද්ධතියකට මෙම සායනික විෂබීජ එක් වූ විට එය විශාල පරාසයක පැතිරිය හැකියි. මිනිසාට පමණක් නොවෙයි තෙත් බිම් පද්ධතියේ සිටින ජෛව පද්ධතියටත් බලපෑම් ඇති වෙනවා. කොවිඩ් නොවෙයි වෙනත් විෂබීජ පැතිරිය හැකියි. එහෙයින් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ලොව පිළිගත් නිසි නිර්ණායක අනුව කටයුතු කළ යුතුයි. ජනාවාස ආශ්‍රිතව හා තත් බිම් ආශ්‍රිතව මෙවැනි සායනික අපද්‍රව්‍ය බැහැර කළ නොහැකියි.. එහෙත් කරදියානේ මේ කරැණු දෙකම උල්ලංඝණය වෙනෙවා. මෙම සායනික අපද්‍රව්‍ය කරදියානට බැහැර කරන්නේ නිසි සැලසුමකින් තොරවයි* යනුවෙන් ප්‍රකාශ කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා