2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

බොහෝ ගස් අස්සේ බෝ ගසක් ඇයි ගෙදර නැත්තේ

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 477

ආත්මය පිළිබඳ මුලාව සහ ගිජුකමට ගොදුරු වන සියල්ල අත්හළ හොත් පමණක් ඔහු විවෘත ලෝකයට අවදියෙන් සම්බන්ධ වූවකු වන බව වරෙක එරික් ෆ්‍රොම් පවසා තිබේ. ආත්ම නැමති සංකල්පයෙහි  නිර්මාණයම ආගම නැමැති  කාරණාව මූලිකව සිදුවන්නකි. එහෙත් බෞද්ධ දාර්ශනික කාරණාව වන්නේ ආත්ම සහ මුලාව යන්නෙන් මිනිසා ගලවා අනාත්ම සංකල්පයක් දක්වා රුගෙන යාමයි. ආත්ම නැති සෑම තැනක්ම අනාත්ම නම් වේ. ආත්ම සංකල්පය ගිජුකම සහ ධන තෘෂ්ණාව තුළ මිනිසාව නිර්මාණය කරයි. 

අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම ආදිය තුළ මිනිසාගේ සමාජීය  ගුණය ද බිඳ වැටෙන ආකාරය දැකිය හැකිය. මිනිසා තුළ ගොඩනැගිය යුතු ප්‍රධානතම සංකල්පය වන්නේ සමාජයීය ගුණයයි. එහෙත් එය වර්තමානයෙහි ප්‍රබල අර්බුදකට ගමන් කොට තිබේ. ආත්ම සංකල්පයට කිසිදින මිනිසා පිළිබඳ තේරැම් ගැනීමට හෝ සමාජය පිළිබඳ පුළුල් අවබෝධයකට ගමන්කළ නොහැකිය. මේ තුළ ගොඩනැගෙන මිනිසාගේ පෞරුෂය ද ආත්මීය වේ. ආත්මීය සහ අනාත්මීය පෞරැෂ අතර ප්‍රබල වෙනසක් නිර්මාණය වේ. අනාත්ම සංකල්පය තුළ උත්තම  පුරැෂයෙකු ද නිර්මාණය කරයි. එවිට ඔහු තුළ නිවැරදි පෞරැෂයක් නිර්මාණය වේ. එය සමාජ ආර්ථික සංවර්ධනය සහ එහි ක්‍රියාවලියට ද හිතකර පදනමක් සපයයි. අනාත්ම සංකල්පය ආත්මාර්ථය බැහැර කරන අතර සමාජ සංවේදී මිනිසකු නිර්මාණය කරයි. රුස් කිරීමට, ගොඩ ගැසීමට වඩා පොදුවේ ප්‍රයෝජන ගැනීමට මිනිසා පොළඹවයි. මෙම හැඟීම් මූලිකවම පරහිතකාමීත්වය ඇති කරන අතර එය පුද්ගල මානසික ශක්තිය බවට ද පරිවර්තනය කරගනී. මෙය ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් පරිපූර්ණත්වයට පත් කර ගැනීම සඳහා ද හේතු වන්නක් පමණක් නොව සමාජ පරහිතකාමී සාධකයක් බවට ද පත්වන්නකි. මේ තුළින් ගොඩනැගෙන සමාජ සංස්කෘතිය පුද්ගලයා තුළ අවභාවිත මානසික තත්ත්වයක් ගොඩ නොනඟනු ද ඇත. සමූහය තුළ ප්‍රබලතම සංකල්ප දෙක වන්නේ සමාජ සහ සංස්කෘතිය යන්නයි. නිදසුන් ලෙස පවුලෙහි ද මෙම සමාජ සහ සංස්කෘතික ලක්ෂණ ප්‍රධානය. සමාජ සහ සංස්කෘතිය මිනිසාගේ හැඩරැව ද නිර්මාණය කරයි.
ඒ අනුව සංස්කෘතිය යන්න මානව නිෂ්පාදනයක් පමණක් නොවේ. එය සමාජ අවශ්‍යතාවක් බවට ද පත්ව තිබේ. මෙම නිෂ්පාදනය සඳහා දිගු ඉතිහාසයක් ඇති බව පැහැදිලිය. ලෝකයෙහි සංස්කෘතීන් කලාප වශයෙන් ද බෙදී ඇති බව පැහැදිලිය. ඒ අනුව බටහිර සංස්කෘතිය, යුරෝපීය සංස්කෘතිය ආදී වශයෙන් දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ ගොඩනැගෙන්නේ ඉන්දියානු කලාපය හා සම්බන්ධිත සංස්කෘතික කාරණාය. එයට ද ක්‍රිස්තු පූර්ව යුග ගණන් දක්වා දිගු ඉතිහාසයක් ඇති බව පැහැදිලි වේ. ඉතිහාසය සහ සංස්කෘතිය තුළ ඇත්තේ මිනිසාගේ අත්දැකීම්ය. අනාගතය නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා ඉතිහාසය සහ වර්තමාන අත්දැකීම් වැදගත් වේ. එසේම එය නිවැරදිව සංස්කරණය කිරීම ද අත්‍යවශ්‍ය වේ. සංස්කරණය යන්න මානව සමාජ ජීවිතය තුළ භෞතිකව පමණක් නොව මානසික කලාප තුළ ද ප්‍රබලතම සාධකයයි. සංස්කරණය නොවුණු කිසිවක් කිසි මොහොතක පුද්ගල මනස තුළ දැකිය නොහැකි වේ. පුද්ගල සහ සමාජයෙහි දියුණුව යනු ද සංස්කරණයෙහි දියුණුවයි. නිදසුන් ලෙස පුද්ගලයකු හඳුනා ගන්නේ ද සංස්කරණ  ප්‍රයෝග සහිතවය. මෙය සත්ත්ව ක්‍රියාවලියට වඩා මිනිස් ක්‍රියාවලිය තුළ ඉතාම ප්‍රබල වේ.  ඒ මිනිසාගේ දියුණු මොළය සහ දියුණු ස්නායු පද්ධතිය හේතුකොට ගෙනය. ඒ අනුව සමාජය සහ සංස්කෘතිය තුළ නිවැරදිව සංස්කරණය විය යුතු බොහෝ දේ ඇති බව පැහැදිලිය.

අපේ සමාජ සහ සංස්කෘතිය පිළිබඳ පමණක් නොව අප චර්යාවන් පිළිබඳව ද ගොඩනැගුණු මිත්‍යාවන් රාශියකි. එය කොතරම් ප්‍රබල යැයි කිවහොත් සංස්කෘතියෙහි නියම අර්ථ නොපෙන්වීමට තරම් ඒවා මිත්‍යාව තුළින් සංස්කරණය කොට ඇති බව පැහැදිලිය. ඒ අනුව අපට සංස්කෘතිය තුළ පෙනෙන්නේ ම මිත්‍යාත්මක කරුණුය. නිදසුන් ලෙස ශ්‍රී ලංකාවෙහි බෝධි සංස්කෘතිය දැකිය හැකි වේ. එහි දාර්ශනික අර්ථයට වඩා සමාජය ගොඩනගාගෙන ඇත්තේ ආගමික අරුත්ය. ආගමෙහි මූලික ලක්ෂණය මිනිසා බැඳ තබා ගැනීමයි. නමුත් මනස සංස්කරණය කර ගැනීමට අදාළ විද්‍යාත්මක කරුණු බෝධි සංස්කෘතිය තුළ මිනිසාට දැකිය නොහැකි වන්නේ බොහෝ මිනිස්සුන්ගේ මනස තවමත් අවිද්‍යාත්මක වන නිසාය. අවිද්‍යාත්මක මනස නිරන්තරයෙන් දෘෂ්ඨි ගතික කරන්නේ ව්‍යාජත්වයයි. ව්‍යාජත්වය ගැටුමට සහ අසංවරයට හේතුවන සාධක වන අතර ඒවා සංවර්ධන විරෝධී කාරක බවට ද පත් වේ. ඒ අනුව නිවැරදි බෝධි සංස්කෘතිය තුළ ගොඩනැගෙන්නේම බුද්ධි සංවර්ධනයට අදාළ පසුබිමයි.

බෝධි සංස්කෘතියෙහි ආරම්භය නිර්මාණය වන්නේම බුද්ධි සංවර්ධනය පදනම්වය. ඒ සඳහා ප්‍රබල පසුබිමක් එහි ඇති බව පැහැදිලිය. එහි ස්වභාවික පරිසරය ද ඒ සඳහා  ඉතාමත්ම ශක්තිමත්ය. එය මනස එකඟකර ගත හැකි ප්‍රධානතම ස්ථානයක් බවට ද පත් වේ. මේ සඳහා විශාල ආවරණයක් ද මිනිසාට ලැබේ. සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඥාන ශක්තීන්  කළමනාකරණය කළේම මෙම ඇසතු වෘක්ෂය මුලය. ඒ නිසාම ඇසතු ගස බෝ ගස බවට හෙවත් බෝධිය බවට පත් වී තිබේ. නමුත් එම අවස්ථාව විද්‍යාත්මකව වර්තමාන මිනිසාට දැකිය නොහැකි වී තිබීම තුළ ඒ වටා ද මිත්‍යාව ප්‍රායෝගික කරන අයුරැ දැකිය හැකි වේ. බෝධිය ළඟට මිනිසුන් පිවිසෙන්නේම දෙවියන් පිළිබඳ සංකල්පය මූලික කරගෙන බව පැහැදිලිය. දෙවියන් පිළිබඳ සංකල්පය ගොඩනැගෙන සෑම අවස්ථාවකම මිනිසාගේ පසුබිමෙහි තිබෙන්නේ බිය සහ ආත්ම නැමැති සංකල්පයි. බියට බොහෝ දේවල් කළ හැකි වේ. බියට කිසිදින මිනිසාව ගලවාගත නොහැකිය. බිය තව තව ගැටලු මිනිසා තුළ නිර්මාණය කරයි. බියට මිත්‍යාව ද නිර්මාණය කළ හැකිය. මිථ්‍යාවට මිනිසා ඉලක්කවලින් බැහැර කළ හැකිය. එසේම සත්‍ය නොපෙන්වා සිටිය හැකිය.

ඉතිහාසයෙහි බෝධි සංස්කෘතිය මූලිකව ප්‍රබල සාහිත්‍යයක් ද නිර්මාණය වී තිබේ. එහෙත් වර්තමානයෙහි මෙය වටා ජනප්‍රිය සංස්කෘතිකාංග ගොඩනැගී තිබේ. මෙම ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ මිනිසාගේ මූලික  ක්‍රියාවට සහ අර්ථයන්ට ප්‍රබල හානියක් මෙලහකටත් සිදු කොට ඇති බව පැහැදිලිය. ඒ අනුව ජනප්‍රිය ලක්ෂණ මිනිසාව හරයාත්මක ලක්ෂණවලින් බැහැර කරනු ඇත. එහෙත් මිනිසා කේන්ද්‍රගත වන්නේ ද ජනප්‍රිය කාරණා ඔස්සේය. එහෙත් බෝධිය වටා ආධ්‍යාත්මය සංවර්ධනය කරගනු ලබන මිනිසා වර්තමානයෙහි මියගොස් ඇති බව පැහැදිලිය.

ඇසතු වෘක්ෂයෙහි ඉතිහාසය වෛදික යුගය සහ එයට පෙර දක්වා දිව යයි. එම යුගවල ඉන්දියානුවන්ගේ සැලකිල්ලට මෙය බදුන් වුවත් බුදුන්වහන්සේගේ පහළ වීමෙන් පසු මෙය බෞද්ධයන්ගේ සැලකිල්ලට  පාත්‍රවිය. ඇස්තු ගසට නම් රාශියක් ඇති බව ද පැහැදිලිය. ඇසතු ගසට පවිත්‍ර යන නම යෙදෙන්නේම මිනිසාගේ අභ්‍යන්තර බාහිර සහ භෞතික පරිසරය පිරිසිදු කිරීමට මෙයට හැකියාව ඇති බැවිනි. වෙනත් වෘක්ෂවලට වඩා මෙය දීර්ඝ කාලයක් ජීවත් වන බැවින් දීඝායු යන නම ද එකතු වී ඇති ආකාරය දැකිය හැකිය. බෝ ගසෙහි පත්‍ර එක්තරා රිද්මයකට චලනය වන නිසා ජල පත්‍ර යන නාමය ද මෙයට එකතු වී තිබේ. කිරි බහුල වන නිසා ක්ෂීර වෘක්ෂ යන වර්ගයට ද මෙය එකතු වී තිබේ. විශාලත්වයෙන් සහ වයසින් ද අනෙකුත් වෘක්ෂ අභිබවා මෙය වර්ධනය වේ. මල් රහිතව ගෙඩි හට ගැනීම ද මෙහි විශේෂත්වයක් බව පැහැදිලිය. මෙම ඇසතු ගස බෞද්ධ සමාජයට එකතු වන්නේ බෝ ගස‚ බෝධිය යන නම්වලිනි. ඇසතු ගස මෙම නම් ලබන්නේම එහි ගුණයන් නිසාය.
මෙහි මිනිසාව කළමනාකරණය කළ හැකි ශක්තිය මිනිසා විසින් මෙතෙක් නිවැරදිව ප්‍රයෝජනයට ගෙන නොමැති බව පැහැදිලිය. මෙය මානසික ඒකාග්‍රතාව ගොඩනගා ගැනීමට අවශ්‍ය භෞතික පරිසරය නිර්මාණය කොට දී තිබේ. එහෙත් මිනිසා වන අපට මනස ඒකාග්‍ර කර ගැනීමට අදාළ ක්‍රමවේදය අප නොදන්නා බැවින් එම අවස්ථාව  අපගෙන් ගිලිහී ගොස් ඇති බව පෙනේ. මනස ඒකාග්‍ර කිරීමට කිනම් හෝ සංකේත මිනිසාට අවශ්‍යය. මේ වටා ගොඩනැගෙන පිළිවෙත් සහ වතාවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශය නිර්මාණය කරයි. බෝධිය වටා සක්මන් කරන්නේ ද මනස එක් අරමුණකට ගොඩනඟා ගැනීම සඳහාය. මෙය එක්තරා ආකාරයකට මනස සහ සිත භාවිතයට නැගීමේ ක්‍රමවේදයක් බවට ද පත් වේ. මනස සහ සිත භාවිතයට නැගීමේ ක්‍රියාවලිය භාවනාව බවට ද පත් වේ.

එහෙත් බෝධිය අභියස සිට මනස සහ සිත භාවිතයට මෙලෙස පත්කරමින් එක් අරමුණකට ගමන් කරන සිත් අප අතර තිබේ ද යන්න ගැටලුවකි. මනස සහ සිත එක අරමුණකට තබා ගැනීමේ ක්‍රියාවලිය ජීවිතයෙහි ප්‍රතිපත්තිය බවට පත්කර ගැනීමට හැකිනම් එම ජීවිතය කිසිවෙකුට පරාජය කළ හැකි ද නොවේ.

මල් පූජා කිරීම සරල ක්‍රියාවක් යැයි බොහෝ දෙනකු විශ්වාස කරති. එහෙත් මල් පූජා කිරීම සරල ක්‍රියාවක් බවට පත් නොවන්නේ එය ජීවිතයේ යථාව පිළිබඳ ගොඩනගන අවබෝධය නිසාය. සුවඳ වර්ණ සහිත මෙම මල් මෙම මල්සුන මත මියයන්නා සේම මාගේ ජීවිතය ද මියයන බව හෙවත් අනිත්‍යයට පත්වන බව අවබෝධ කර ගන්නෝ ඉතා විරලය. මනස සන්සුන් කරගෙන ජීවිතය පිළිබඳ ප්‍රබල කියවීමක් ගොඩනඟාගත හැකි ආකාරය මේ තුළ පැහැදිලි කරගත හැකිය. ඒ අනුව මල් පූජා කිරීම යනු ද ජීවිතය කියවීමකි. මේ අනුව ජීවිතයෙහි අරුත හොයන්නට ශක්තිමත් එළඹුමක් මේ තුළින් ගොඩනගාගත හැකිය. තමාට තමාව කියවීමේ සහ තමාට ජීවිතය පිළිබඳ කියවීමෙහි ආරම්භක ශක්තිය මේ තුළින් ගොඩ  නගා ගත හැකිය. ජීවිතයෙහි හෙවත් භෞතිකයෙහි යථා ස්වභාවය පිළිබඳ අවබෝධය සඳහා ඒකාග්‍ර වූ සිත් තිබිය යුතු වේ. භාවනාව යනු ජීවිතයෙහි ඒ ඒ අරමුණු ඔස්සේ මනස සහ සිතෙහි භාවිතය ගොඩනඟා ගනු ලබන ක්‍රියාවලියකි. ඒ සඳහා මනස සහ සිත එක්තැන් කිරීමේ හැකියාව තිබිය යුතුය. එමෙන්ම එදිනෙදා කාර්ය ඔස්සේ සිත එක්තැන් කිරීමෙන් එම හැකියාව ගොඩනගා ගැනීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශය ද මේ තුළින් ලබාගත හැකි වේ.

සිතකට තවත් සිතක් හා සම්බන්ධ වීමේ හැකියාව ද තිබේ. එසේ වන්නේ මනස දියුණු කළහොත් පමණි. ඒ අනුව බෝධිය අභියස සිට සිදු කරන ප්‍රාර්ථනාවන් ද සඵල කරගත හැකි වන්නේ ශක්තිමත් මනසකින් ගොඩනගන සිතිවිලි මගින් එය සිදුකළ හොත් පමණි. බොහෝ දෙනකුගේ මනස ශක්තිමත් නොවේ. එසේ වන්නේ එක අරමුණක් ඔස්සේ මනස ගොඩනගාගත නොහැකි වීමෙනි.

එසේම බෝ ගහේ බෝපත්වලින් නිකුත් වන කිරණ ශරීරයෙහි නීරෝගී බව සඳහා ද හේතු වන බව විද්‍යාත්මක මතය වී තිබේ. ඒ අනුව බෝධි වෘක්ෂය යට වැඩි කාලයක් ගත කිරීම ද සෞඛ්‍යය සංරක්ෂණය සඳහා හේතු වන්නක් බව පැහැදිලි වේ. ඒ අනුව මානසික  සෞඛ්‍ය පමණක් නොව කායික සෞඛ්‍යය සඳහා ද ප්‍රබල සමාජ මෙහෙවරක් සිදු කිරීමට බෝධි වෘක්ෂය ඉඩ ලබා දුන්නත් එය සමාජය නිවැරදි ලෙස ලබා ගන්නේ ද යන ගැටලුව නැවතත් අප තුළ පවතී.
මෙලෙස විශාල සමාජ සේවයකට ප්‍රවේශය ලබාදෙන බෝධි වෘක්ෂය වටා තව ද මිත්‍යාවක්  ගොඩනැගී ඇති ආකාරය පැහැදිලිය. එනම් මෙය නිවස හෝ ඒ ආශිතව තබා ගත නොයුතුය යන්නය. ඒ වෙන කිසිවක් නිසා නොව අසුභ යන සංකල්පය මනස තුළ ගොඩනැගී ඇති බැවිනි. එහෙත් එවැනි සංකල්පවල විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති බව පැහැදිලිය.

බෝධිය සහ ඒ වටා ගොඩනැගෙන පරිසරයට පුද්ගලයා තුළ අනාත්ම සංකල්පය ප්‍රවර්ධනය කරමින් පුද්ගල සහ සමාජ සංවර්ධනය ගොඩනැගිය හැකිය. එහෙත් වර්තමාන මිනිසා මේ පිළිබඳ ව්‍යාජත්වය සහ ඒ තුළ නිර්මාණය වන ආත්ම සංකල්පය ගොඩනගා ගැනීම සඳහා බෝධි සංස්කෘතිය ප්‍රයෝජනයට ගනු ලබන ආකාරය පෙනේ. ඒ අනුව ආගමෙහි බැඳීම මිත්‍යාව තුළ මිනිසා ජීවත් කරවනවා පමණක් නොව  සත්‍යය මිය යැවීමට ද හේතුවන බව පැහැදිලිය. සත්‍ය යනු ලෝකයෙහි මිත්‍යාව නොවනු ඇත. 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04