2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

සියක් වසරක් සපුරා පැදුරටත් නොකියාම ගිය මැනිං මාකට් එක

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

එළවළු ගැන කියනවිට අපේ මතකයට පිවිසෙන්නේ පිටකොටුව මැනිං මාකට් එකයි. එයට හේතුව බොහෝ කාලයක සිට බස්නාහිර පළාතට පමණක් නොව ඉන් එපිට ප්‍රදේශවලට පවා එළවළු තොග වෙළෙඳාම සිදුවුණේ මැනිං මාකට්ටුව හරහා නිසාය. පසුගියදා මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් රාශියක් වාර්තා වීමත් සමඟ එය තාවකාලිකව වසා දැමුණි.

ඒ අතර කිසිවකුත් නොසිතූ පරිදි මැනිං මාකට්ටුව ඉතිහාසයට එක්විය. ඒ තදබදයෙන් යුත් පිටකොටුවේ භූමිය කොවිඩ් ව්‍යාප්තියට තෝතැන්නක් නිසා එය පෑලියගොඩට ගෙනයාම කඩිනම් කිරීම නිසයි. 2013 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ නිමාවට පත්කිරීම් කඩිනම් කර පසුගිය 20 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කෙරුණි. මැනිං මාකට් තොග වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ ඒ ගැන පැවසුවේ මෙලෙසයි.
&අපි දීර්ඝ කාලයක් වෙළෙඳාම් කළ ස්ථානයක් දාලා ආවේ. එතැන අපේ හදවත වගේ. නමුත් රටේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අලුත් තැනට අපි ආවේ. කොවිඩ් අවදානම නිසා අපි මෙහි වෙළෙඳ කටයුතු පියවරින් පියවර පටන්ගන්නවා. තවම කිසිම වෙළෙඳසැලක් පටන්ගෙන නැහැ. වෙළෙඳ මහත්වරුන්ට කඩවල අංක ලබාදීලා විවෘත කිරීමට තව සතියක්වත් යාවි. මැනිං වෙළෙඳපොළට සෘජුවම ගොවි නිෂ්පාදන සපයන පිරිසක් ඉන්නවා. ඔවුන්ට තමා නිෂ්පාදන අලෙවි කරගැනීමට දුෂ්කරතා හටගෙන තිබෙන්නේ. අනෙක් ගොවියන් නම් වෙනත් මාකට් හරහා එළවළු අලෙවි කර ගන්නවා.

නව වෙළෙඳ සංකීර්ණය වෙළෙඳසල් 1192ක් සහ වාහන 600ක් නැවැත්විය හැකි රථ ගාලකින්ද යුක්තය. සේවක විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් ද මෙහි තිබේ.
මෙහි භූමි ප්‍රමාණය අක්කර 14කි. මේ නිසා පිටකොටුවේ මෙන් හිර වී තදබදයෙන් යුක්ත වටපිටාවක් නැත. දැනට මැනිං වෙළෙඳපොළ පිහිටි අක්කර 6ක භූමියේ ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකි.

නව වෙළෙඳපොළේ ප්‍රධාන ගොඩනැගිලි තුනකි. තොග සහ සිල්ලර වෙළෙඳාම වෙනුවෙන් තට්ටු දෙකකින් යුත් සංකීර්ණයක් වෙන් කර තිබේ. ඉහළ මාලයටත් වාහනවලින් පිවිසිය හැකි පරිදි ගොඩනැගිලි සැලසුම් කර තිබේ. ඕනෑම කඩයක් ඉදිරිපිටටම වාහනවලින් ගොස් බඩු බෑමට හෝ පටවා ගැනීමට පුළුවන. ඉදිරියේදී පිටකොටුව හරස්වීදිවල තොග කඩ ද පෑලියගොඩ එළවළු වෙළෙඳපොළට යාබද ඉඩමක් සංවර්ධනය කර රුගෙන ඒමට නියමිතය.

කොළඹ ජනතාවගේ එළවළු පළතුරු ආදී අවශ්‍යතා සපුරා ගැනීමට මුලින්ම වෙළෙඳපොළක් පිහිටුවා තිබුණේ පිටකොටුවේ ගෑස්පහ හන්දියේ පැරණි නගර ශාලාවට යාබදවය. ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ අලුත්වැඩියා කළ එය අදත් දැකගත හැකි පුරාණ ස්මාරකයක් වන එඩින්බරෝ වෙළෙඳපොළයි. කයිමන් දොරකඩ පෙනෙනමානයේ පිහිටි එයට මුල්ගල තබන ලද්දේ 1870දී ලංකාවට පැමිණි එඩින්බරෝ ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු විසිනි. එය විවෘත කළේ 1873දී ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිය. මෙම ගොඩනැගිල්ල සැලසුම් කළේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස සැලකෙන ජේම්ස් ස්මිදර්ය. තනි මහලේ දිගු ශාලාවක් වන එහි පියස්සට උළු සෙවිලි කර තිබුණි. වහලය කොටස් හතරකින් යුක්තය. පසාරු කැටයම් සහිත ලෝහමය ආරක්කුවලින් යුක්තය.

එඩින්බරෝ වෙළෙඳපොළ අලුත්වැඩියා කිරීමෙන් පසු 1985 සිට එම ශාලාව කුඩා කාමරවලට බෙදා ව්‍යාපාර කටයුතුවලට ලබා දී ඇත. 1980 දශකය වන විට කොළඹ එළවළු තොග හා සිල්ලර වෙළෙඳාම සිදුවුණේ එඩින්බරෝ මාකට්ටුව ඉදිරිපස කච්චේරිය අසල හිස් ඉඩමකය. එහි කොළඹ අවට කොළොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හෝමාගම වැනි පෙදෙස්වල වට්ටි අම්මලා තම ප්‍රදේශවල එළවළු, පළතුරු, කොස් වැනි ආහාර ද්‍රව්‍ය රුගෙනවිත් එම ස්ථානයේ මුලින්ම වෙළෙඳාම ආරම්භ කර තිබේ. පසුව කොළඹින් පිටත එළවළු නිෂ්පාදන ලොරි මගින් එම ස්ථානයට රුගෙන ඒමට පටන්ගත් අතර එහි තොග වෙළෙඳාම ද ආරම්භ වී ඇත. කච්චේරිය පාර මාකට් එක යන නම එයට ලැබුණි.

මේ ඉතිහාසය මතක් කරමින් අප සමඟ කතාබහ කළේ මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේය. මම අවුරුදු 52ක් මැනිං මාකට්වල එළවළු ව්‍යාපාර කළා. අපි මුලින්ම පීපල්ස් පාක් තිබෙන තැන තොග වෙළෙඳාම කරමින් සිටියා. 1983දී එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහත්මයා මැද ‍කොළඹ වෙළෙඳ සංකීර්ණය (පීපල්ස් පාක්) හැදුවේ අපට එය ලබාදෙන බව කියමින්. නමුත් එය අපට ලැබුණේ නැහැ. ප්‍රේමදාස මහත්මයාට අවශ්‍යව තිබුණා මේ මාකට් එක එයා නියෝජනය කරන මැද කොළඹ ආසන්නයේම රඳවා ගන්න. ඒ කාලේ ඔරුගොඩවත්තට මාකට් එක ‍ගෙනයන යෝජනාවක් ආවත් ඒක ක්‍රියාත්මක වුණෙත් නෑ. 1982 මාර්තු 14දා තාවකාලිකව දැනට මැනිං වෙළෙඳපොළ තිබෙන පරණ ගබඩාව අපේ ව්‍යාපාර කටයුතු සඳහා ලබාදුන්නා. ඒ වනවිට කඩ බක්කි 301යි තිබුණේ. පරණ තැනට වඩා මැනිං ගබඩාවේ ඉඩ පහසුකම් තිබුණා. තව තව කඩ බක්කි එකතු වුණා. දැන් එහි කඩ බක්කි 1200ක් තිබෙනවා. එළවළු හා තොග වෙළෙඳාමට අමතරව පළතුරු, මස්, මාළු, බිත්තර, සිල්ලර බඩු එතැනට එකතු වුණා.

මෙතැන තදබදයෙන් නගරය ඇහිරී ඇති නිසා මුලින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්ව සිටි කාලේ තමයි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පෑලියගොඩට ගෙනයාමට සැලසුම් කළේ. මුලින්ම අපි කැමති වුණේ නෑ. නමුත් පසුව පහසුකම් හා ව්‍යාපාරවලට හොඳ වටපිටාවක් ලබාදෙන බව පැවසූ නිසා අපි එයට එකඟ වුණා.

පිටකොටුවේ මාකට්ටුව යළිත් පිටකොටුවේම පරණ ගබඩාවකට රුගෙන පැමිණි අතර එම ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල් වී තිබුණේ ආණ්ඩුකාර විලියම් මැනිං (1917 – 1920)ය. ඒ නිසා මැනිං මාකට් යනුවෙන් වෙළෙඳපොළද නම් ලැබීය.
ජෝජ් ඇන්ඩර්සන් ආණ්ඩුකාරයාගෙන් පසු ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් මැනිං කළ ප්‍රධාන සංවර්ධන කටයුත්තක් ලෙස පිටකොටුවේ සීනි ගබඩා කිරීමට විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම දැක්විය හැකිය. පිටකොටුව බෝධියට ප්‍රතිවිරුද්ධව පැවති පිටකොටුව දුම්රියපොළේ ගොඩනැගිලි ඉවත් කර යාබද වැවේ මායිම ද මුහුදු වැලිවලින් පුරවා ගබඩාව ඉදි කෙරිණි. එහි අංගනයට ද කළුගල් පුවරු අල්ලා තිබෙන බව අදටත් දැකගත හැකිය. ගොඩනැගිල්ල විවෘත කළේ 1919 ජනවාරියේය. මේ වනවිට එම ගොඩනැගිල්ලට වයස අවුරුදු 101කි.

කොටුවේ ලෝටස් පාරට නුදුරින් පිහිටි කොටුව දුම්රියපොළට අමතරව පිටකොටුවේ බෝධියට ඉදිරිපසින් මැනිං ගොඩනැගිල්ල අසල පැවති දුම්රියපොළ අන්තර්මධ්‍යම දුම්රියපොළ නමින් හැඳින්විනි. කොළඹ ප්‍රධාන දුම්රියපොළ පිහිටියේ මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිටය. 1917 මාර්තු 5දා එය වසා දැමුවේ පිටකොටුවේ අධික කලබලකාරීත්වය හා වෙළෙඳ කටයුතු දුම්රිය සේවයට බාධාවක් වූ බැවිනි. කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය ඒ වනවිට පැවතුණේ ඉදිකරමිනි. දුම්රියපොළ ඉවත් කර ඒ ස්ථානයේ මැනිං ධාන්‍යාගාරය ඉදි කෙරිණි. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කළ මේ ගොඩනැගිල්ල විශාලත්වයෙන් අක්කර තුනක් විය. ගඩොල් සහ කළු ගල් භාවිතයෙන් ඉදි කළ එහි පියස්සට වානේ බාල්ක හා දැව යොදාගෙන තිබේ.
පිටකොටුව මැනිං මාකට් එක වසා තැබුවේ පසළොස්වක පෝය දිනවල පමණි. අවුරුදු දවසටත් එය වැඩය. නමුත් කෝවිඩ් අවදානම හමුවේ දැන් එය මාස දෙකක් තිස්සේ වසා දමා තිබේ. ඒ වසා දැමීමත් සමඟ මැනිං වෙළෙඳුන්ට අලුත් තැනට යාමට සිදුව ඇත්තේ පැදුරටත් නොකියාය.

 කුසුම්සිරි විජයවර්ධන

සේයාරූ : සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙනි