පසුගිය 25දා පොළොන්නරුව සිට කි.මී. 55ක් දුරින් පිහිටි යක්කුරේ ගම්මානයට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ හා විමලවීර දිසානායක ගියෝය. ඒ යන විට ගම්වැසියන් එකතු වී විරෝධතා පුවරු අතේ තබාගෙන උද්ඝෝෂණය කරමින් සිටියහ.
අමැතිතුමනි, අපේ පාර අපට දෙන්න. යක්කුරේ මනම්පිටිය මාර්ගය ලබාදෙන්න යැයි පුවරුවල සඳහන් විය. අපට නම් පෙනුණේ මේ විරෝධතාව දේශපාලනඥයන් විසින්ම කලින් සැලසුම් කර රෑපවාහිනී කැමරා එල්ල කර දියත් කළ එකක් බවයි. එහිදී වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යක්කුරේ හා අවට ගම්වල අයට විතරක් හදිසියකට ලෙඩකට දුකකට යන්න පාර ලබා දෙනවා. හැබැයි පිට වාහන ගෙන්වාගන්න වැලි අදින්න ගඩොල් අදින්න බැරි බවයි.
එහෙත් එය ප්‍රායෝගික කතාවක් නොවන බවත්, මාර්ගයක් විවෘත කළ පසු ඕනෑම වාහනයක් එහි ගමන් කරන බවත් පැවසිය යුතු නොවේ. වනාන්තරය විනාශ කරන ජාවාරම් බහුලව වර්ධනය වීමට එය වක්‍රව ආධාර සපයන බවද රහසක් නොවේ. ගම්වැසියන් මෙහිදී පැවසුවේ සිංහරාජ - ලංකාගම පාර කාපට් කළා නම් මේ පාර දෙන්න බැරි ඇයිද යන්නයි.
ගම්වැසියන්ගේ යහපතට ලබාදිය යුතු යැයි පවසමින් දේශපාලනඥයන් නිලධාරීන්ට බලපෑම් කරන ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ගමන් කරන මේ මාර්ගය නිසා සංවේදී පරිසර කලාපයට සිදුවිය හැකි හානිය මහත්ය. මෙම වනෝද්‍යානය මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබුවේ 1984 අගෝස්තු 7දා අංක 309/4 දරන ගැසට් නිවේදනය යටතේය. එහි විශාලත්වය හෙක්ටයාර් 17350කි. මහවැලි ගඟේ පිටාර තැනිතලාව ආරක්ෂා කිරීම එය ප්‍රකාශ කිරීමේ අරමුණ විය. නරඹන්නන්ට යාමට පවා අවසර දී නැති මේ වන කලාපය වල් අලින්ගේ තෝතැන්නක් ලෙස සැලකේ. කඩිනම් මහවැලියට එළිකළ වනාන්තර නිසා අවතැන් වූ වනසතුන්ට රැකවරණය සැලසීමට මෙම වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන හතරක් ප්‍රකාශ කෙරිණි.
පරිසරය රුකගන්නා බවට පොරොන්දු දී බලයට පත්වන දේශපාලනඥයන් දැන් වැඩ පටන්ගෙන තිබේ. ආයෙත් ඔවුන්ට පරිසරයේ අගය වැටහෙන්නේ ඡන්දයක් ළං වූ විටය. වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේක අලුත් පාරක් නොවෙයි. යුද්දෙ කාලෙ වහපු පාරක්. යක්කුරේ පීඩිත ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් නිසයි මේ පාර ලබා දෙන්නේ. යනුවෙනි.
රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ කොළඹ සිටින එන්.ජී.ඕ. අය ගමේ මිනිසුන්ගේ ප්‍රශ්න නොදන්නා බවත්, ජාතික වනෝද්‍යාන හරහා ලංකාවේ තිබෙන එකම මාර්ගය මෙය නොවන බවත්ය.
වනාන්තර සහ විල්ලු බිම් රාශියක් සහිත මහවැලි ජල ගැලුම් නිම්නය මැදින් දිවෙන මෙම පාර දිගින් කි.මී. 13කි. එය මහවැලි ගඟට සමාන්තරව මනම්පිටියේ සිට යක්කුරේ දක්වා දිව යයි. දැනට යක්කුරේ ගම්වාසීන්ට පොළොන්නරුව සිට සිරිපුර මහියංගනය දක්වා දිවෙන කාපට් ඇතිරෑ මාර්ගය ඔස්සේ පැමිණ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට පුළුවන. දැනට ඔවුන් භාවිත කරන්නේ ද ඒ මාර්ගයයි. එහෙත් ගැමියන් කියන්නේ ඒ පාර දුර වැඩි බවත් පැරණි පාර නැවත අලුත්වැඩියා කර දුන්නොත් මනම්පිටියට ඇති දුර කි.මී. 13ක් පමණක් වන බවත්ය. 1984 දී ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම මාර්ගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් වසා දැමුණි.
දේශපාලන අධිකාරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් මාර්ගය විවෘත කර ගැනීමට උත්සාහ කරමින් සිටී. අන්තිමට ජල ගැලුම් නිම්නය මැදින් කාපට් පාරක් වැටුණොත් එය ද පුදුම විය යුතු නැත. වර්ෂ 36ක් වනයට යටව තිබූ මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කර විවෘත කර ගැනීමට දේශපාලනඥයෝ මැදිහත්ව සිටිති. මේ පිළිබඳව වනජීවී අඩවි සහකාරවරැන්ගේ සංගමය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියේ මෙසේ සඳහන්ය.
&දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ විරෝධය නොතකා ජල ගැලුම් නිම්න වනෝද්‍යානය මැදින් මාර්ගයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව වනජීවී නිලධාරීන්ගෙන් අප සංගමයට තොරතුරැ වාර්තා වී ඇත. රක්ෂිතයක් මැදින් මාර්ගයක් ඉදිකිරීම මගින් සිදුවන්නේ රක්ෂිතයේ ජීවත්වන වනජීවී ගහණයන් හා ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීමය. එය වනජීවීන්ගේ වඳ වී යාමට හේතුවකි.
මෙම මාර්ගය ඉදිකිරීම නිසා දැනට ඉතිරිව පවතින බණ්ඩියා විල්ලුව, හඳපාන් විල්ලුව වැනි විල්ලු පද්ධති ද විනාශයට ලක්වන අතර, දැනට පවතින අලි මිනිස් ගැටලුවට අමතරව බරපතළ පාරිසරික විනාශයකට අඩිතාලම වැටේ. මහවැලි බී කලාපය, සී කලාපය, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල මහජනතාවට මේ නිසා දැඩි වනඅලි ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව ස්ථිරවම ප්‍රකාශ කර සිටිමි.
වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්.ජී. වීරසේන පවසන්නේ මේක මිනිසුන්ගේ ඉල්ලීමක් ලෙස ඉදිරිපත් වුණත් වැලි නිධිය හා වෙනත් දේවල් ඉලක්ක කරගෙන කළ යෝජනාවක් වීමටත් ඉඩ ඇති බවයි.
ජල ගැලුම් නිසා නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත්තේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 2(1) වගන්තියට අනුවය. එම පනත අනුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පැරුණි මාර්ගයේ අයිතිය ජනතාවට ඉතිරි කර තිබුණද, අවුරුදු දෙකක් එය භාවිත නොකළේ නම් එහි අයිතිය අහෝසි වන බව පනතේ තුන්වැනි වගන්තියේ සඳහන්ව තිබෙන බව පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන දේශයට සඳහන් කළේය. ඔහු සඳහන් කරන්නේ පාර වහලා අවුරුදු 36කට පසු නැවත අයිතිය ඉල්ලීමට කිසිම කෙනකුට නොහැකි බවයි.
මේක නීතිවිරෝධී වැඩක් බවයි කෙටියෙන් කියන්න තියෙන්නේ. කොයි අතින් බැලුවත් නීතියට පටහැනියි. ප්‍රාදේශීය දේශපාලනඥයන් තම තමන්ගේ වරප්‍රසාදවලට ඉතිරි වී තිබෙන වනාන්තර ටිකත් විනාශයට මුලපිරීම නරක පූර්වාදර්ශයක්. ජාතික මට්ටමේ සිටින විෂය භාර ඇමැතිවරයා වගේම ඉහළ දේශපාලන අධිකාරියන් මේවාට එරෙහිව කටයුතු කළ යුතුයි. වනජීවී ජාතික උද්‍යානයකට කෙනකුට ඇතුළු වීමට පුළුවන් පනතේ 5 වැනි වගන්තියේ කාරණාවලට පමණයි. ඒ විනෝදය සඳහා සතුන් නැරඹීමට හෝ අධ්‍යයන හෝ පර්යේෂණ කටයුතුවලට පමණයි. ඒකටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය මතයි ඇතුළු විය හැක්කේ. නිලධාරීන් දේශපාලනඥයන්ගේ ඉල්ලීම හෝ බලපෑම මත වැරදි තීරණ ගත්තොත් අන්තිමට ඔවුන් තමයි වැරදිකරුවන් වන්නේ. ඒ නිසා අනාගතයේ දිනෙක අධිකරණය හෝ කොමිසමක් ඉදිරියේ වැරදිකරුවන් වන්නෙත් ඔවුන් තමයි.
වනජීවී රාජ්‍ය ඇමැතිවරයා 25දා යක්කුරේට යාමට පෙර පොළොන්නරුවේදී ලංකාපුර දී ගම්වැසියන් සමඟ රැස්වීමකට සහභාගි වුණි. එහිදී ජල ගැලුම් නිම්නයේ වනෝද්‍යානයට අයිති ගොවීන් විසින් වගා කළ නැවත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ පවරාගත් ඉඩම් අක්කර 1000කට අධික ප්‍රමාණයක් ගොවීන්ට ලබා දීමට ද ගොවීන්ගේ ගවයන් වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර ලබාදීම ද ගැන සාකච්ඡා කෙරිණි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයාගේ තීරණයට වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැඩි සේ විරුද්ධත්වය පළ කළහ. ඒ අවස්ථාවේ අමාත්‍යවරයා ඔවුන්ට තර්ජනය කළ බව වනජීවී වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉමේෂ් ගුණතිලක දේශයට පැවසුවේය. ඔවුන් ඇමැතිවරයාගේ ක්‍රියාවට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් 27දා පැවැත්වීය.
වහලා තිබෙන කැලෑවට වැදුණු පාරක් නැවත අරිනවා කියන්නේ ජල ගැලුම් නිම්නය විනාශ වීමට මඟපෑදීමක්. ඒ පාර විවෘත කරනවාට සියලුම වනජීවී වෘත්තීය සමිති විරුද්ධයි. ඉමේෂ් වැඩිදුරටත් කීවේය.
මේ අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න 25දා පැවති ප්‍රාදේශීය ලේකම්වරැන්ගේ සම්මේලනයකදී පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරැන් වන විනාශයට විරැද්ධව කටයුතු කළ යුතු බවත්, වනාන්තර කැපීමෙන් පසු සොයාගන්නවා වෙනුවට කැපීමට පෙර විනාශය නැවැත්විය යුතු බවත්ය.
මේ එකිනෙකට නොගැලපෙන කතා අහන විට අපට හිතෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ බවයි.
කුසුම්සිරි විජයවර්ධන