2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

මේ වගේ අසික්කිත මිනිහෙක් කවදාවත් දැකලා නෑ

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

“යනවා සර් යනවා මම යනවා. සර්ත් එක්ක පුදුම මානසික කරදරයකින් මම ඉන්නෙ"

“ඉතින් යනවා"

“මම සේරම රෙකෝඩ් කරගෙන යනවා සර්"

“කරන්න පුළුවන් ජඩ වැඩ හොර වැඩ කරන"

“මම කරපු හොර වැඩ ජඩ වැඩ මොනවද පෙන්වන්න සර්"

“කරුණාකරලා මෙතනින් යනවා"

“ගහන්න ගහන්න මට ගහනවා... මේ මට ගහනවා..."

“ගහන්න පිස්සුද? ගහන්න එපා සර්, ගෑනුන්ට ගහන්න එපා පිස්සුද?”

“මට මෙහෙමද කරන්නෙ කියලා මම කියනවා සර්... නම්බර් එකක් ඉල්ලලා මට මේ තරම් වද දෙන්නෙ ඇයි... මේ මනුස්සයා මට ගැහුවා. නම්බර් එකක් ඉල්ලලා මට වද දෙන්නෙ ඇයි? මම යනවා මානව හිමිකම්. මහ මෝඩ මිනිහෙක්. ආපු ගමන් නම්බර් එකක් ඉල්ලනවා. ඇයි එහෙම කරන්නේ. මේ වගේ අසික්කිත මිනිහෙක් කවදාවත් දැකලා නෑ. රසික මහත්තයාගෙන් නම්බර් එක ඉල්ලලා දෙන ටිකට මට ගැහුවේ"

මේ වාදය ඇතුළත් වීඩියෝව තවමත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එය පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍යවලින් අසන්නට ලැබුණු එකකි. විශේෂයෙන් ආන්දෝලනාත්මක පුවතකට මග කියූවකි.

ඉහත සඳහන් වචන හුවමාරුව අතරමැද පහරකෑමට ලක්වූ කාන්තාවක් ඉකිබිඳිමින් හඬනු ඇසේ. මේ දැක්වෙන දෙබස් අඩංගු වීඩියෝ පටය එකම කාලගෝට්ටයකි. නිල් පැහැති කමිසයකින් උඩුකය සැරසී ගත් අයෙකි. ඔහුට සර් ලෙස ආමන්ත්‍රණය  කරන කාන්තාවකි. පෙර කී ප්‍රධානියා හා යටහත් සේවිකාවකගේ දැඩි වචන මාලාවක් එහි අසන්නට ලැබේ. ප්‍රථමයෙන් අසුන්ගෙන සිටින ප්‍රධානියා ක්ෂණිකව නැගිට ඉදිරියට එද්දී දුරකතනයෙන් වීඩියෝ පටිගත කිරීම අරඹා සිටි කාන්‍තාව..
“ගහන්න ගහන්න මට ගහනවා... මේ මට ගහනවා..." යැයිද හඬ නගනු ඇසේ. ඒ සමඟම

“ගහන්න පිස්සුද? ගහන්න එපා සර්, ගෑනුන්ට ගහන්න එපා පිස්සුද?” යැයි කියමින් තෙවැනි පාර්ශ්වයක් ලෙස තවත් පිරිමි පුද්ගලයෙක් මැදිහත් වනවා ඇසෙයි. ඒ අතරතුරේත් එක් කාන්තාවක ඉකිබිඳිමින් හඬනු ඇසේ.

කෙටි කාලයක් තුළ වන සිදුවීම් රාශියක් අඩංගු මේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබේ. කාර්යාල පරිශ්‍රයක් බව පෙනෙන වීඩියෝ පටයේ ස්ථානය ලෙස බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලය වශයෙන් දක්වා තිබේ. එම කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා සමඟ වන ආරවුලකදී ඔහු ආයතනයේ කළමනාකාර සහකාරවරියකට පහරදෙන බව වීඩියෝ පටයෙන් හඳුනා ගැනීමට හැකිය. මෙය සමාජ මාධ්‍ය තුළින් උපුටා  විවිධ ජනමාධ්‍යවලින් ප්‍රචාරය කිරීමත් සමඟ විශාල කතාබහකට ලක්ව තිබේ. බොහෝ පිරිස එම වීඩියෝ පටයේ අන්තර්ගතය ගැන දෝෂාරෝපණය කරති. හේතුව ආයතන ප්‍රධානියාගේ නොමනා ක්‍රියාවයි.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටින අතරේදී එහි ප්‍රධානියා හා තවත් කාන්තාවක් අතර වූ කතාවකි. ටිකෙන් ටික වාදය බහින්බස් වීමක් දක්වාත් යම් මොහොතක එය පහරදීමක් දක්වාත් උත්සන්න වී තිබේ. කතාව තරමක් බැරූරුම් වෙද්දී කාන්තාව සිය ජංගම දුරකතනයෙන් අවස්ථාව වීඩියෝ කරන බව පවසන්නීය. ඒ වන විටත් එය සිදුවෙමින් පවතී. ඒ අතර ඇය පවසන්නේ පටිගත කරන වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහරින බවකි. ඒත් සමඟ සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ එය බහුතර ජනතාවකගේ අවධානයට ලක්ව ඇත.

සුවිශේෂී සිදුවීමක් නිසා එය උපුටා  විවිධ ජනමාධ්‍යවලින් ප්‍රචාරය කිරීමත් සමඟ කාන්තාවට පහරදීම විශාල කතාබහකට ලක්ව තිබේ. ඒ හරහා සමාජයේදී කාන්තාවට සිදුවන අනිසි බලපෑම් පිළිබඳව කතිකා වෙමින් තිබේ. විශේෂයෙන් රාජ්‍ය ආයතනයක් තුළ මෙකී හිරිහැරය වාර්තා වීම ‍රාජ්‍ය සේවයටත් කාන්තාවටත් සිදු කළ නිගාවකි.

පසුගිය 24 වැනිදා වූ අදාළ වීඩියෝ පටයට සම්බන්ධ සිදුවීම අරභයා පහරකෑමට ලක්වූ කාන්තාව පසු දිනයේදී ගම්පහ මූලස්ථාන පොලීසියට ගොස් පැමිණිල්ලක් සටහන් කළාය. ඇය ගම්පහ අස්ගිරිය පදිංචි එම්.එන්. ලක්මාලි නැමැත්තියකි. ඒ අනුව දෙපාර්ශ්වයෙන්ම කටඋත්තර ලබාගැනීමට කටයුතු කළ බව ගම්පහ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය. සැකකරු වන විධායක ඉංජිනේරුවරයා යම් ආයතනයක දුරකතන අංකයක් ඉල්ලා සිටි බවත් එය ලබාදීමට ප්‍රමාදවීම හමුවේ එම නිලධාරියා දෝෂාරෝපණය කළ බවත් ඊට මැදිහත්ව තමා කරුණු කී විට තමාට පහරදුන් බවත් පැමිණිලිකාරිය විසින් පැමිණිල්ලේ සඳහන් කර ඇත. පැමිණිල්ල හරහා චෝදනාව එල්ල කෙරුණේ එම ආයතනයේ විධායක ඉංජිනේරු ලලිත් සිරිසුමන නැමැත්තකුට එරෙහිවය. ඔහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ අනුව සැකකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තේය. බස්නාහිර පළාත්  මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ විධායක නිලධාරීවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කළ අතර ලබන ජනවාරි 27 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කෙරිණි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි කොඩිකාර මහතා කියා සිටියේ සැකකාර ඉංජිනේරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බවත් සිදුවීම විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත්කොට ඇති බවත්ය. මීට අමතරව සිද්ධිය පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වීම සුවිශේෂී එකකි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සිදුවීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හෙළා දකින බව කියමින් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නිමල් ලන්සා මහතා සිද්ධිය හෙළා දකින බවත් මේ වන විටත් පොලීසිය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් කීවේය. මේ සිදුවීම පාදක කොටගෙන හෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන්ට පාලනාධිකාරිය වෙතින් වන ඇතැම් හිරිහැර අඩන්තේට්ටම් පිළිබඳව හෙළිවීම යහපතකි. අදාළ  බලධාරීන්ගේ අවධානය යොමුවීම ද වටිනා එකකි.

ගම්පහ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනී ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර