2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

තැපෑලටත් කොරෝනා

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

කොරෝනා වසංගතය නිසා රටෙහි වැඩකටයුතු තවමත් හරිහැටි සිදු කෙරෙන්නේ නැත. වෛරසයේ බලපෑමෙන් රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේම වැඩ කටයුතු අඩපණ වී තිබේ. රටපුරාම ව්‍යාප්ත ඇති කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් රටපුරා තැපැල් කටයුතුවලද බාධා පැමිණ තිබේ. ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීමත් සමග වසා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අරම්භ කර ඇත. එහෙත් තැපැලෙහි කිසියම් හිරවීමක් ඇත.

“තැපැල් කටයුතු ආරම්භ කළේ පසුගිය 11 වැනිදා ඉක්මනින් කටයුතු යථා තත්ත්වයට පත්කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් තැපැල්පතිවරයා පවසා තිබිණි. එසේ වුවද මේ වනවිටත් තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයන් අතර කොවිඩ් බියක් පහළ වී ඇත. කුරුණෑගල තැපැල් හුවමාරුවේ සේවකයන් 14 දෙනෙකුද ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.

තැපෑල අඩපණ වුවහොත් ඖෂධ බෙදාහැරීම් මෙන්ම අත්‍යවශ්‍ය සේවා රැසක කටයුතු අඩපණ වෙනු ඇත. කොවිඩ් වසංගත තත්ත්වය නිසා තැපැල් කටයුතු පවත්වාගෙන යාම සඳහා තැපැල් දෙපාර්තුමේන්තුව විසින් තැපැල් සේවකයන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

• දැනට හඳුන්වා දී ක්‍රියාත්මක වන තැපැල් ප්‍රවාහන සැලසුමට අනුව තැපැල් ප්‍රවාහනය කිරීම නැවත දැනුම් දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුය.
• ජංගම දුම්රිය තැපැල් කාර්යාල සහ කොළඹ තැපැල් මලු වැසීම නොකළ යුතුය
• දැනට නිරෝධායන තත්ත්වයන් මත හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි තැපැල් සහ උප තැපැල් කාර්යාල ඖෂධ බෙදාහැරීම විශ්‍රාම වැටුප් ගෙවීම වැනි සීමිත අභ්‍යන්තර රාජකාරි කටයුතු සඳහා පමණක් අවශ්‍යතාවය පදනම් කරගනිමින් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයක් පමණක් යොදවා ගනිමින් විවෘත කිරීමට පියවර ගත යුතුය.
• අනෙකුත් සියලු තැපැල් සහ උප තැපැල් කාර්යාල පෙර හඳුන්වා දී ඇති කාල වකවානුවලට අනුව රාජකාරි කටයුතු පවත්වාගෙන යා යුතුය.
• ඒ සඳහා අත්‍යවශ්‍ය කාර්යය මණ්ඩලය පමණක් කැඳවා ගත හැකි අතර එහිදී පවතින රාජකාරි ප්‍රමාණය, සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනිවාර්යයෙන්ම අනුගමනය කිරීම, අවම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට හැකිවීම යනාදී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුය.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ නිසා බස්නාහිර පළාත, මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළු කාර්යාල කිහිපයක ලිපි බෙදීමේ කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. වත්මන් තත්ත්වය යටතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි ලිපි බෙදීම් කරන තැපැල් සහ උප තැපැල් කාර්යාලවල ලිපි බෙදීම් කටයුතු තවදුරටත් අත්හිටුවීමට ක්‍රියාකළ යුතුය.

ඒ ඒ කාර්යාල ස්ථාපිතව පවතින ප්‍රදේශවල සහ අදාළ ලිපි බෙදීම් කලාපවල පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දැඩිව නිරීක්ෂණය කර සුදුසු නම් පමණක් ලිපි බෙදීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ පළාත් නියෝජ්‍ය තැපැල්පති සහ ප්‍රාදේශීය තැපැල් අධිකාරි එක්ව තීරණය කළ යුතුය.

තැපැල් මූලස්ථානය ඇතුළු සියලු පාලන කාර්යාල, අධිකාරි සැපයීම් කාර්යාලය, යාන්ත්‍රික ඉංජිනේරු අංශය, ගණකාධිකාරී මුද්දර කාර්යාලය, අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා පමණක් අවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලයක් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සේවයට යොදවා ගැනීමට අදාළ අංශ ප්‍රධානීන් විසින් පියවර ගත යුතුය.

සේවයට කැඳවීමේදී සහ සේවය සැලසීමේදී සෞඛ්‍ය අංශ විසින් නිකුත්කරන ලද නව මාර්ගෝපදේශ සහ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කර ඇති 2020.10.15 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ උපදෙස් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතුය.


දින කිහිපයකදී යථා තත්ත්වයට
තැපැල්පති රංජිත් ආරියරත්න

කොරෝනා වෛරස් තත්ත්වය ආසාදනය වීම නිසා ඇණහිට තිබුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු මේ වනවිට සිදුකරගෙන යමින් පවතිනවා. බස්නාහිර පළාත් තුළ ඇඳිරිනීතිය පනවා තිබූ නිසා ලියුම් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ගොඩගැසී තිබුණා. මේ වනවිට එම ලියුම් බෙදාහරිමින් තිබෙනවා. අපි ඉදිරි දින කිහිපය තුළ මේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් කරනවා.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04