2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

පොදු වැසිකිළි කොවිඩ් තෝතැනි

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

එකිනෙක සමාජ කණ්ඩායම් නානා ආකාරයෙන් කොවිඩ් වයිරසය භාවිත කරන බව පෙනෙයි. එසේ භාවිත කරමින් වාසි හා ලාභ ගැනීමට උත්සුක වන බවද පෙනෙයි. සමහරැන් කොවිඩ් මර්දනයට නොව කොවිඩ් වර්ධනයට අනියමින් තල්ලුවක් දෙන බවක්ද දකින්නට තිබේ.

තමන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයකින් පසුවීමට සියලු ජන කණ්ඩායම් හිතට ගැනීම වැදගත්ය. පනවා ඇති නීති-රීති අකුරටම පිළිපැදීමෙන් ඉහත කාරණය ඉටුකර ගත හැකිය. ඒ අතර, පැරුණි පුරුදු අත්හැරීමටද අලුත් පුහුණු ඇතිකර ගැනීමටද ජනතාවට සිදුවනු ඇත.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් රැල්ලෙන් ඇරඹි කොවිඩ්  දෙවැනි රැල්ල මේ වනවිට රට පුරාවටම පැතිරී තිබේ. එක් දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් හමුවීම 300 ක පමණ සාමාන්‍යයකට යටත්ව සිදුවන බව පෙනී යයි. එසේම කොවිඩ් 19 හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවද සැලකියයුතු අන්දමින් ඉහළ යමින් තිබේ. ආරම්භයේ මරණ සංඛ්‍යාව ඉතාම අඩු අගයක රැඳී තිබුණද පසුගිය දෙසතිය තුළ වේගයෙන් කොවිඩ් මරණ වාර්තා විය.
මෙරට කොවිඩ් රෝගීන් වැඩිපුරම වාර්තාවන කොළඹ දිස්ත්‍රික්කයෙන් එසේ වැඩිපුරම කොවිඩ් රෝගීන් වාර්තා වීමට හේතු වී ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස හා ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිළි, නාන ස්ථානවල ජල කරාම භාවිතා කිරීමේ පුරැද්ද නිසා බව විමර්ශනයකදී අනාවරණය වී ඇත.

කොවිඩ් දෙවැනි පොකුරේ වාර්තා වූ මෙරට කොවිඩ් රෝගීන් සියලු දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12,265ක් ලෙස වාර්තා වූ අතර ඉන් වැඩිම ප්‍රමාණයක් කොළඹ උතුරින් වාර්තා වූවන් වේ.
කොළඹ උතුර ප්‍රදේශයට මෝදර, කොටහේන, මට්ටක්කුලිය, දෙමටගොඩ සහ වෙරළබඩ ප්‍රදේශ ඊට අයත් වූ අතර එම ප්‍රදේශයේ ජනගහනය එක්ලක්ෂ තිස්එක්දහස් දොළහකි. කොවිඩ් ආසාදිතයන්ගෙන් 388ක් මට්ටක්කුලියේද, 327ක් මෝදරින්ද, 288ක් දෙමටගොඩින්ද, 204ක් වනාතමුල්ලෙන්ද, 230ක් කොම්පඤ්ඤවීදියෙන්ද, 255ක් ජින්තුපිටියෙන්ද, 295ක් කොටහේනේද, බ්ලුමැන්ඩල්වලින් 205ක් ද වශයෙන් රෝගීන් 2142ක් වාර්තා විය.

      

හමුවන බහුතරය කොළඹ අය

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි
කොරෝනා දෙවැනි රැල්ල රටපුරාම ව්‍යාප්ත වෙමින් පැතිරෙනවා. කොළඹ නගරයේ මෙන්ම දෛනිකව කොළඹ නගර සීමාව තුළ සිදු කෙරෙන පීසීආර් ප්‍රමාණයත් මේ වනවිට අපි වැඩිකරලා තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් වාර්තා වුණ කොවිඩ් රෝගීන්ගෙන් බහුතර ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නෙත් කොළඹ දිස්ත්‍රිකයෙන්. උතුරු කොළඹ බොහෝමයක් දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීරණයත් සමග සෘජුව හා වක්‍රව සම්බන්ධතා පැවැත් වූ බවටත් මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ ප්‍රදේශයේ මහල් නිවාස ගණනාවක් තිබෙනවා. එක් ආසාදිතයකුගෙන් තවත් ආසාදිතයකුට බෝ වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම පොදු වැසිකිළි භාවිතය මගින් වුවත් කොරෝනා බෝවීමේ ප්‍රවණතාවක් තිබෙනවා.

මහල් නිවාස ඇතුළේ බෝවීම වැඩියි

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
මේ කොවිඩ් අවදානම තවමත් මේ රටින් පහව ගොස් නැහැ. දැන් රටපුරාවටම මේ තැනින් තැන කොවිඩ් පොකුරැ මතුවීමේ අවදානමක් තිබෙනවා. දැනට කොළඹ දිස්ත්‍රික්කයෙන් දෛනිකව රෝගීන් වැඩිපුර වාර්තාවෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීරණයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් බහුතරයක් ඉන්නේ කොළඹ නගරය ආශ්‍රිතව. ඒ වගේම තමයි ඒ වාර්තා වුණ රෝගීන් බොහෝමයක් දෙනා ජීවත්වෙන්නේ මහල් නිවාසවල. එකිනෙකා හමුවන ප්‍රමාණය වැඩියි. එහෙම වුණාම මේ රෝගය පැතිරීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අපේ රට තුළ රසායනාගාර 25ක් ස්ථාපිත වෙලා තියෙනවා. මෙයින් 14ක් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනවල තියෙන රසායනාගාර. ඒ වගේම තවත් රසායනාගාර දෙකක් කොතලාවල ආරක්ෂක පීඨයේ හා කොතලාවල යුද හමුදා රෝහලෙත් පිහිටා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල 4ක පීසීආර් පරීක්ෂණ සඳහා පහසුකම් තියෙනවා. ඒ අනුව රජයේ යටතේ ඇති ආයතන 20ක පීසීආර් පරීක්ෂණ සිදුවෙන අතර පෞද්ගලික ආයතන 5ක මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.


 හසිත් අංජන