
අපිට පඩි 20ක් නගින්න තියෙනවා නම් එක පාර 20 වැනි පඩියට නගින්න පුළුවන්ද? බැහැනේ... මුලින් පළවැනි දෙවැනි පඩි නැගලා තමයි ඉදිරියට යන්න ඕන. අන්න ඒ වගේ තමයි එල්.පී.එල්. තරගාවලියත්. එකවර ලොකු දේවල් කරන්න බෑ*
මුදල්වලට වඩා වැඩි දෙයක් ක්‍රීඩකයන්ට ලැබෙනවා නම් එතන තමයි මේ තරගාවලියේ සාර්ථකත්වය රැඳීලා තියෙන්නේ
ශ්‍රී ලංකාවට සිහිනයක්ව තිබුණු විස්සයි - 20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවාලීමට හැකියාව ලැබීම ගැන ඇත්තටම ආඩම්බර විය යුතුයි. විශේෂයෙන්ම මෙතැනදී මම සඳහන් කරන්න ලෝකයේ ප්‍රධාන ලීග් ක්‍රිකට් තරගාවලියක්. සමස්ත ලෝකයටම කොවිඩ් 19 වසංගතය ගැටලුවක් වෙලා තියෙන මේ මොහොතේ විදේශ ක්‍රීඩකයන් රුසකගේ සහභාගීත්වයෙන් ලීග් තරගාවලියක් පැවැත්වීමට අපිට හැකිවීම අපේ පරිපාලනයට විතරක් නොවෙයි අපේ ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එල්.පී.එල්. තරගාවලිය පිළිබඳව පැවසීය.
ක්‍රීඩකයන් ‘කොරෝනා’ වෛරසයට ගොදුරු වීම, තරග පාවාදීමට ලැබෙන දුරකථන ඇමතුම්, ක්‍රීඩකයන් ඉවත්වීම සහ විස්තර විචාරයකයන් එක මොහොතින් පුහුණුකරුවන් වීම වැනි හැලහැප්පීම්වලින් පන්නරය ලබමින් ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ වනවිට දින තුනක් ගතකර තිබේ.
‘කොරෝනා’ වෛරස් භීතියෙන් නිවසට හිරවී සිටින කොළඹ ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට මානසික පීඩනයෙන් යම්තරමක් ගැලවීමට එල්.පී.එල්. තරගාවලිය හොඳ අවස්ථාවක් බවට පත්විය.
ක්‍රිස් ගේල්, විරාට් කෝලි, ඩිවිලියස් සහ ලසිත් මාලිංග වැනි ලෝක විස්සයි 20 ලීග් ක්‍රිකට් පිටියේ නම් දැරෑ ක්‍රීඩකයන් නොමැති වුවද එල්.පී.එල්. තරගාවලිය කිසිදු ආධුනික ගතියක් ප්‍රදර්ශනය නොකරන බව පළමු තරගයෙන් ප්‍රදර්ශනය වී හමාරය.
එම තරගයේදී මහනුවර පිල රුස් කළ ලකුණු 219 හඹා ගිය කොළඹ පිල තරගය සම කරමින් සුපිරි ඕවරයේදී ජය ලැබීම තරගාවලියට ප්රවේගාත්මක සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
කුසල් පෙරේරා (87), දිනේෂ් චන්දිමාල් (80) සහ ඇෆ්ගනිස්තානු යොවුන් ක්‍රීඩක රහමුනුල්ලා ගුර්බාෂ් (53) අර්ධ ශතක රැස් කිරීමෙන් මෙම තරගාවලියට ජාත්‍යන්තර ප්‍රමිතියක් හිමි විය.
තරගාවලිය ආරම්භ වූ පසුගිය බ්‍රහස්පතින්දා (26) වනවිට සෑම කණ්ඩායමකටම තරගයකට සහභාගි වීමට විදේශ ක්‍රීඩකයන් අවශ්‍ය සංඛ්‍යාව ඇතුළත්ව සිටීම කැපී පෙනුණි. එම ක්‍රීඩකයන් අතරට ඇන්ද්‍රි රසල්, බ්‍රෙන්ඩන් මැකලම්, ජොන්සන් චාල්ස්, ෂොයිබ් මලික්, ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටෙල් වැනි නම් දැරෑ විදේශ ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වීමෙන් ආකර්ශනීය තරගාවලියක් ලැබී තිබේ.

පළමු තරගයේදී කොළඹ කිංස් පිලට ඇන්ද්‍රි රසල්, ලොරී එවන්ස්, කේයිස් අහමඩ් සහ මන්ප්රිට් ගොනී යන විදේශ ක්‍රීඩකයන් සිවුදෙනා ක්‍රීඩා කළහ. මහනුවර ටස්කර්ස් පිලට ඉර්ෆාන් පතන්, රහමුනුල්ලා ගුර්බාෂ් සහ නවීඩ් උල් හක් ද, විදේශ ක්‍රීඩකයන් තිදෙනා ක්‍රීඩා කළ අතර එම කණ්ඩායමේ ප්‍රබල විදේශ ක්‍රීඩකයන් දෙපළක් වන බ්‍රෙන්ඩන් මැකලම් සහ මුනාෆ් පටෙල් ‘නිරෝධායන’ කාලය අවසන් කර නොමැති වීමෙන් එක විදේශ ක්‍රීඩකයකු නොමැතිව ක්‍රීඩා කිරීමට සිදුවිය.
ලෝක පූජිත තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සහිඩ් අෆ්රිඩි සහ දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන්නකු වන ඩේල් ස්ටේන් තරගාවලිය අතරතුරදී සටනට පැමිණීමට නියමිතව සිටිති.
ඇන්ජලෝ මැතීව්ස්, දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, තිසර පෙරේරා, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසූරිය, ඩිල්රුවන් පෙරේරා සහ අසේල ගුණරත්න යන ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෝ මෙම තරගාවලියට සහභාගි වී සිටිති.
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන සහ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙම තරගාවලියේදී යාපනය ග්ලැඩියේටර්ස් පිලේ උපදේශකයන් ලෙස සම්බන්ධ වීමෙන් තරගාවලිය තවත් අලෝකමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පා දඟ පන්දු යවන්නා වන රංගන හේරත්, කොළඹ කිංස් පිලේ දඟ පන්දු පුහුණුකරුවකු ලෙස ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් එකම පන්දු යවන්නා වන නුවන් කුලසේකර මහනුවර පිල වේග පන්දු පුහුණුකරු ලෙස ද, කටයුතු කරති.

ශ්‍රී ලංකා හිටපු ජ්‍යෙෂ්ඨ පිට දඟ පන්දු යවන්නකු තරුණ ක්රීඩකයකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි පසුගිය සතියේ ලැබුණු පැමිණිල්ලත් සමඟ එල්.පී.එල්. තරගාවලියට අතිරේක අවදානමක් යොමු විය.
ශ්‍රී ලංකාව මීට පෙර 2011 වසරේ සංවිධානය කළ එල්.පී.එල්. තරගාවලියේදී ද තරග පාවාදීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විනිසුරුවන් තිදෙනකුට තහනම් පැනවීය.
කොළඹ කිංස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි එංගලන්ත හිටපු ක්‍රීඩක කබීර් අලී තරගාවලියට පිටත්ව ඒමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ‘කොරෝනා’ ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් විස්තර විචාරකයකු ලෙස තරගාවලියට සම්බන්ධ වූ දකුණු අප්‍රිකානු හිටපු පිතිකරු හර්ෂල් ගිබ්ස් පුහුණුකරුවෙක් බවට පත්විය.
කොළඹ කිංස් පිලට ඇතුළත්ව සිටි කැනඩා ක්‍රීඩක රවීන්ද්‍රපාල් සිං සහ මහනුවර ටස්කර්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි පාකිස්තානු හිටපු වේග පන්දු යවන්නකු වන සොහෙල් තන්වීර් ‘කොරෝනා’ ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ තරග සංවිධායකයෝ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වූහ.
මෙම ක්‍රීඩකයන් දෙපළ තංගල්ල, රන්න ප්‍රදේශයේ හෝටලයක රඳවා සිටියදී එයට ප්‍රදේශවාසීන් විරෝධය දැක්වූ අතර ඒ හේතුවෙන් එම දෙපළ හික්කඩුව ප්‍රදේශයේ ‘කොවිඩ් 19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයට මාරුකර යවනු ලැබූහ.
මෙම සිද්ධීන්වලින් තරගාවලියට කිසිදු බාධාවක් නොවූ අතර තවදුරටත් තරගාවලිය පිළිබඳව අවධානය වැඩි විය. ශ්‍රී ලංකාව තුළ ‘කොරෝනා’ වසංගතය හේතුවෙන් මේ වනවිට පවතින ව්‍යාකූල තත්ත්වය මධ්‍යයේ මෙම තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයකි.
සටහන: යොහාන් භාසුර