
පසුගියදා නව රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනය තුළින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට වරප්‍රසාද දෙකක් ලබා දීමට යෝජනා කර ඇති බව ප්‍රකාශයට පත්විය. ඒවා නම් ඔවුන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබාදීම සහ ස්වකීය සේවා කාලයට අමතරව වෙනත් රැකියාවක යෙදී ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සැලසීමය.
මෙතෙක් සාමාන්‍යයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයාගේ විශ්‍රාම ගන්වන වයස වූයේ අවුරුදු 55. ඉන්පසු අවශ්‍ය අයට පමණක් එයින් ඔබ්බට රාජකාරි කිරීමට හැකිවිය. එහෙත් අයවැය යෝජනාව අනුව එක දිගටම වයස 60 වනතුරු සේවය කිරීමට හැකි වේ. මෙම සේවකයන් දෙවර්ගයටම තමා දරන තනතුරේ සේවයට අමතරව වෙනත් රාජකාරියක යෙදීම තහනම් කර තිබුණි. ඒ බව ඔවුන්ගේ පත්වීම් ලිපිවල සඳහන්ව තිබේ. එහෙත් මෙම තහනම ඉවත් කර නියමිත සේවා කාලයෙන් පරිබාහිරව වෙනත් සේවයක යෙදීමට ඉඩ සලසා ඇත.
අයවැය ලේඛනය මගින් මෙම වරප්‍රසාදය ප්‍රදානය කිරීම පිළිබඳ විවිධ අංශවලින් නොයෙක් අදහස් ප්‍රකාශ කිරීම ඇරුඹී තිබේ. සමහරු මෙම අයිතීන් දීමෙන් රාජ්‍ය සේවය ශක්තිමත් වී සේවකයන්ගේ ආර්ථික සහ සමාජ මට්ටම වර්ධනය වේයැයි පවසති. එහෙත් සෘණාත්මකව අදහස් දක්වන අය පවසන්නේ බලාපොරොත්තු වන තරමේ යහපත් ප්‍රතිඵලයක් රටට හෝ සේවකයාට නොලැබෙන බවකි. සේවකයාට කිහිප ස්ථානයක වැඩ කිරීමට ඉඩ දීම නිසා ඔහුගෙන් බලාපොරොත්තු වන කාර්යක්ෂමතාව හීන වීම හේතුවෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට හානිදායක වන බව ඔවුන්ගේ අදහසය. මේ පිළිබඳ මැදහත්ව අදහස් ප්‍රකාශ කරන්නෝද වෙති. එලෙස විවිධ අදහස් පළකරන්නන් කිහිපදෙනකුගේ ප්‍රකාශ මෙමේ පළකරමු.
මේ වැඩේ හොඳක් මිස නරකක් නෑ
ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක පවසන්නේ රජය ගත් මෙම තීරණ වැදගත් වන අතර ඒවා ජනතාවගේ සහ රාජ්‍ය සේවයේ යහපත සඳහා යොදවා ගැනීමට කටයුතු කළ යුතු බවය.
රාජ්‍ය සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට ඉඩ දීම ගැන ගැටලුවක් නැහැ. මුලදී බල පැවැත්වූ වෛකල්පිත විශ්‍රාම යාමේ වයස අවුරුදු 55යි. පසුව එය 57 දක්වා ඉල්ලීමකින් රාජකාරි කිරීමට හැකි ලෙස සංශෝධනය වුණා. අනතුරුව වයස 60 දක්වා ඉල්ලීම් මත රාජකාරි කළ හැකි බවට වෙනස් වුණා. 55 සහ 60 අතරදී අවශ්‍යනම් විශ්‍රාම ගැන්වීම නිර්දේශ කිරීමේ බලය දෙපාර්තමේන්තු ප්‍රධානියාට තිබෙනවා.
අපේ රටේ පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති නිසා විශ්‍රාම ගොස් ගෙදර තියලා වැටුප් ගෙවනවාට වැඩිය ඔහුගෙන් යම් සේවයක් ලබාගෙන වැටුප් ගෙවීම හොඳයි. එහෙම වැඩ ගැනීම රටේ ආර්ථිකයට මෙන්ම එම පුද්ගලයාගේ ආර්ථිකයට ද යහපත් වෙනවා. මා හිතන්නේ වැඩ කළ හැකිනම් වයස 60ට වැඩි අයටද අවස්ථාව දීම හොඳ බවයි. මානසික ශක්තිය සහ කායික ශක්තිය යහපත් නම් ඒ අයගෙන් ප්‍රයෝජන ගත යුතුයි. අපේ රටේ මෙන්ම වෙනත් රටවලද ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන වැඩ සටහන ආරම්භ කරන්නේ වයස අවුරුදු 60න් පසුව බව අප අමතක කළ යුතු නැහැ.
මෙලෙස ඉඩදීම ඔවුන් පසුපස සිටින කණ්ඩායමට අවස්ථාව අහිමි කිරීමක් බවට මතයක් පළවෙනවා. එහෙත් ඊළඟ කණ්ඩායමට ඒ අවස්ථාව පසුව ලැබෙන බව කිව යුතුයි. රටේ වැඩිහිටි ජනගහණය වැඩි වෙනවා. ශ්‍රම දායකත්වය පිරමීඩාකාර ලෙසයි ගොඩනැගෙන්නේ. පහළ කණ්ඩායම් වැඩියි. ඉහළ අය අඩුයි. දැන් මෙය සිලින්ඩරාකාර බවට පත්වෙමින් තිබෙන බව පෙනෙනවා. අපේ රටේ වගේ ලොව දියුණු රටවල රාජ්‍ය සේවය ස්ථිර සේවයක් නොවෙයි. වැඩ කිරීම අනුව තමා ගෙවීම් කරන්නේ. සේවය අතහැරි පසු ඒ අයට සමාජාරක්ෂණ ක්‍රමයකින් යම් දීමනාවක් කරනවා.
මෙයින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවට හානියක් වෙන බව කියන පිරිසක්ද ඉන්නවා. එහෙත් එය හැමවිටම සත්‍යයක් නොවෙයි. දැනටමත් රාජ්‍ය සේවකයන්ට ගමනාගමනයේදී කාලය වැඩිපුර යනවා. සැතපුම් සිය ගණන් දුර බැහැර සිට පොදු ප්‍රවාහන සේවාවලින් රාජකාරියට එන අය දැඩි ශාරීරික හා මානසික වෙහෙසකට පත්වෙනවා. ඒත් ඒ අය අකාර්යක්ෂමය කියලා කියන්න බැහැ. ඒ අනුව වෙනත් තැනක වැඩ කළායැයි ඔවුන් අකාර්යක්ෂම වෙන්නේ නැහැ. තමන්ගේ විවේකය අමතර ඉපැවීමකට යොදා ගත්තායැයි කරන රාජකාරියට හානියක් වෙන්නේ නැහැ.
ඊ.පී.එෆ්. ගන්න පුළුවන් විය යුතුයි
ඇන්ටන් මාකස් - සම ලේකම්, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය:-
මෙම යෝජනාව අපි 2018 වසරේ සිට ජාතික කම්කරු උපදේශක සභාවේදී සාකච්ඡා කළා. මෙම යෝජනාව ඉතාම සාධනීය ලෙසයි අපි සලකන්නේ. මේ වනවිට අපේ රටේ පුද්ගලයකුගේ ජීවන වයස අවුරුදු 75 දක්වා ඉහළ ගිහින්. අවුරුදු 55න් මෙතෙක් කල් පෞද්ගලික අංශ සේවකයා විශ්‍රාම ගැන්වුවහොත් ඔහුට අවුරුදු 20ක් රැකියාවක් නැතිව ඉන්න වෙනවා. එසේම සේවිකාවන් වයස අවුරුදු 50දී විශ්‍රාම ගැන්වීම නිසා ඇයට අවුරුදු 25ක් ජීවනෝපායක් නැතිව ඉන්න වෙනවා. පෞද්ගලික අංශයේ අයට කිසිදු විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසා රැකියාවක් නැතිවුණොත් ආදායම ද අහිමි වෙනවා. මේ නිසා සිදුවන්නේ සේවකයන් මෑන්පවර් රැකියාවලට යොමුවෙලා ආරක්ෂක නියාමක වගේ වැටුප් අඩු කටුක රැකියාවලට යාමයි. ඒ නිසා අයවැය ලේඛනයෙන් යෝජනා කළ පරිදි වසර 60 දක්වා සේවා කාලය දිගු කිරීම හොඳයි. මෙම වරප්‍රසාදය සේවකයන්ගේ අභිමතය පරිදි ප්‍රදානය කළ යුතු වෙනවා. අවශ්‍ය කෙනකුට වයස 55දී නවතින්න ඉඩදිය යුතුයි.
එසේම වයස 55 සම්පූර්ණ වූ අයට සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවිය යුතු අතර එය ලබාගෙන ඉදිරියට අවුරුදු පහක් සේවය කිරීමට ඉඩදීම අවශ්‍ය වෙයි. සේවක අර්ථසාධක අරමුදල ලබාගැනීමට මෙය බාධාවක් නොවිය යුතුයි. අපි එයට එකඟ වූයේ ඒ කොන්දේසියට යටත්වයි. මෙයට වෙනස් තීරණයක් ගත්තොත් අපි එයට එරෙහි වෙනවා. සේවක අර්ථසාධක අරමුදල යනු සේවකයන්ට අයිති සල්ලිවලින් ගොඩනැගූ අරමුදලක්. ඒ නිසා ඒ අයිතිය ඔවුන්ට හිමිවිය යුතු වෙනවා.
මෑන් පවර් ක්ෂේත්‍රවලට ඉඩ දීම නිසයි රැකියා බලාපොරොත්තු වන අයට ඉඩ නොලැබෙන්නේ. එහෙම නැතුව විශ්‍රාම කාලය දීර්ඝ කිරීම නිසා නොවෙයි. මේ නිසා සිදුවන්නේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා අහිමිවීමයි. විශේෂයෙන් රැකියා කරන අයට වෙනත් අතිරේක රැකියාවකට ඉඩදීමෙන් සිදුවන්නේ ඔවුන්ට මෑන්පවර් ක්‍රමයට රැකියා කිරීමේ ප්‍රවනතාව ඉහළ යාමයි. සේවකයන් තම රැකියාවෙන් පසු වෙනත් රැකියාවලට යොමුවෙන්නේ තමන්ට ජීවත් වීමට සුදුසු ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසයි. සේවකයන්ට අවම වැටුපක් ගෙවා වැඩි ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය අය වෙනත් රැකියාවලට යොමු කිරීමයි මෙයින් සිදුවන්නේ. මෙය සේවක ශ්‍රමය සූරාකෑමක්. එයට ඉඩ දිය යුතු නැහැ.
යහපත් - අයහපත් ප්‍රතිඵල දෙකම තියෙනවා
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිරි පෙරේරා පවසන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම හා රාජ්‍ය අංශයේ සේවකයන්ට තම රාජකාරියට අමතරව වෙනත් රැකියාවක යෙදී මුදල් ඉපැයීමට අවස්ථාව දීම යහපත් සහ අයහපත් ප්‍රතිඵල දෙකම ගෙන දීමට හේතුවන බවයි. අද ඇතැම් සුවිශේෂ තනතුරු සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60න් ඔබ්බට ද දිගුකර ඇති අතර සාමාන්‍ය රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් ස්වකීය සේවා කාලය අවුරුදු 55න් ඔබ්බට දීර්ඝ කරන ලෙස කාලයක් තිස්සේ ඉල්ලා සිටි බවද ඔහු කියයි.
&වයස 55න් පසුව විශ්‍රාම ගැන්වීමේ තීරණය තිබුණේ මිනිසුන්ගේ උපරිම ආයු අපේක්ෂාව වසර 60ක් තිබියදීයි. මේ වනවිට උපරිම ආයු අපේක්ෂාව පිරිමින්ගේ අවුරුදු 74ක් සහ කතුන්ගේ 79 දක්වා ඉහළ නැග තිබෙනවා. ප්‍රායෝගිකව මෙයටත් වැඩියි. මානව සම්පත් දර්ශකය අනුව අපේ ආයු අපේක්ෂාව දකුණු ආසියාවේ ඉහළම තැනක තිබෙනවා. අද ඇති සෞඛ්‍ය පහසුකම් සහ විවිධ හේතු අනුව මෙහි උපරිමය තවත් වැඩිවිය යුතුයි. වැඩ කළ හැකි අය එයට කලින් විශ්‍රාම යාම ජාතික අපරාධයක් කියලා කිව හැකියි. ඔවුන්ගේ පළපුරුද්ද හා හැකියාව ඊළග පරම්පරාවට දිය යුතු වෙනවා.
මේ හුදු ප්‍රලාපයක් පමණයි
ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ ජාතික සංවිධායක අශෝක පීරිස්:-
රාජ්‍ය සේවකයන්ට පැය 8ක් වැඩ කිරීමේ අයිතිය ලැබුණේ වෘත්තිය සිමිති මෙහෙයවූ සටනක ප්‍රතිඵලයක් ලෙසටයි. එය රජයන් ලබාදුන් සුවිශේෂ වරප්‍රසාදයක් නෙවෙයි. මෙවර අයවැය ලේඛනයෙන් එම කාලය දිගු කිරීම නොකියා කියනවා. රාජ්‍ය සේවකයකුට පැය 8ට වැඩියෙන් වැඩ කිරීමෙන් අතිරේක ආදායමක් ලබාගැනීමට මෙවර අයවැය තුළින් ඉඩදීමෙන් පෙනෙන්නේ රජයේ සේවකයන්ට ගෙවන වැටුප මදි බව රජය පිළිගෙන තිබීමයි. වැටුප වැඩි කරන්න අපට සල්ලි නැහැ. ඒ හින්දා කොහේහරි වැඩ කරලා සල්ලි හොයාගන්නවා. කියලා රජය සේවකයන්ට කියනවා. මෙය පිළිගත් ආචාර ධර්මවලට පටහැනි කතාවක්.
දහතුන් ලක්ෂ පනස්දහසක රාජ්‍ය සේවක සංඛ්‍යාවක් සිටින බව කියනවා. මෙම සංඛ්‍යාව රටට බරක් බවද කියනවා. එසේ තිබියදී තවත් එක්ලක්ෂ පනස් දහසක් බඳවාගන්න යනවා. එතකොට ගැටලුව තව උග්‍ර වෙනවා. රජය කියන පරිදි අමතර වැඩ කොහේද තියෙන්නේ. වැඩ ස්වල්පයකට විශාල පිරිසක් ඉල්ලන විට ගෙවීම් අඩුවෙනවා. එවිට ඔවුන්ට සිදුවන්නේ අඩු වැටුපට මෙහෙ කරන්නයි. නියමිත රැකියාවවත් කරන්නට ඉඩක් නැහැ. දැනට කම්කරු ක්ෂේත්‍රයේ පවා රැකියා පුරප්පාඩු නැහැ. කළමනාකරණ සහකාර නිලධාරීන් ලක්ෂ හතරක් පමණ ඉන්නවා. ඒ අය අමතරව පිට වැඩ කරනවා නම් සුදුසු සම තනතුරක වැඩ කළ යුතුයි. එහෙම නැතුව ඒ අයට කම්කරු වැඩ කරන්න බැහැ. දැනට ඉඩ දී තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ රාජ්‍ය සේවකයන්ට පමණයි. එහෙත් ඒ අයට සුදුසු රැකියා නැහැ. මෙලෙස ඉඩ දෙනවා යැයි කියන්නේ නමට පමණයි. ප්‍රායෝගිකව කළ හැක්කක් නෙවෙයි. මෙය හුදු ප්‍රලාපයක්
යසවර්ධන රුද්රිගු