2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

එකම තෑග්ග දෙවරක් ලද මහින්ද

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

මැදමුලන ගිරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ මහත්තයාගේ පුතුන් අතර විසේකාර දඟකාරයෙක් උන්නේය. එක අතකින් කොලු වයසේ කොලුකමේ හැටිත් එහෙමය. දඟ වැඩකට දඬුවම් දෙන්නට ඒ දඟකාරයාගේ ලොකුම අයියණ්ඩි මළණුවන් පිටුපස පන්නද්දී මේ දඟයා දුවගෙන දුවගෙන ගොස් කජු ගහක මුදුනකට නැංගේය. නැඟ බේරුණේය. පැටි වියේ දඟ වැඩ කර බේරෙන්නට මේ දඟයා හරි හපනෙකි. කොලුවියේ ඒ කොලුකම කර දඬු උස් මහත් වන විට දකුණේ ලෙයින් බලගැන්වී අවසනෙහි ලෝකයේ පුංචිම රටක් වසර තිස් පහක් තිස්සේ මළගමක් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාගේ ග්‍රහණයෙන් මුදවාගන්නා සටනේ පෙරගමන්කරැ බවට ඔහු පත් වූයේය. 

නිදහසින් පසු රට අවුලුවාලූ දැවැන්තම යුද්ධයක් මෙහෙයවමින් රට එක්සේසත් කළ ජයග්‍රහණය කරා සේනාධිනායකයා වූයේ ගිරුවාපත්තුවේ ජන්මලාභය ලද පැටි වියෙහි ඒ දඟකාරයාය. තම දේශපාලන ප්‍රවේශය තුළ 1970 වර්ෂයේ පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වූ මහින්දට එකල දේශපාලන ගමන් බිමන් යන්නට (මගේ වාහනයක්) තිබුණේ නැත. දේශපාලනය මනුෂ්‍යත්වයේ නාමයෙන් ජන සුවසෙත සදනු උදෙසා සත්කාරක මාර්ගයක් කරගත් ඩී.ඒ. රාජපක්ෂ යනු දේශපාලනයෙන් රුපියල් හරිහම්බ කරගත් ධනවතකු වූයේ නැත. ඒ මදිවාට ඩී.ඒ. රාජපක්ෂ පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය කතානායකගේ ආදරණීය බිරිඳ මහින්දලාගේ අම්මා මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියේ මාතර හාමිනේ මෙන්ම ගන්නට නොව දෙන්නටම හුරු වූ දෑතක් ඇත්තියක වූවාය.

ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නිවසට රෑ 12.00ට පිරිස කැටුව ගෙදරට ආවත් ඇය ඒ සැමටම බත් උයා කන්නට දුන්නාය. ගිරුවාපත්තුවේ මැදමුලන ගෙදරට පැමිණ තේ කෝප්පයක්වත් නොබී ගිය ගැමියකු හෝ අමුත්තකු ද සොයාගැනීම උගහට තරමටම ඇය දාන සිත් ඇත්තියක වූවාය.

ඉතින් කොහෙද එහෙමට රුපියල්.. එහෙයින්  1970 පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තු ගිය මහින්දට තමන්ගේම වාහනයකට අයිතිය කියන්නට තරම් එකල වත්කමක් තිබුණේ නැත. වත්කම් නැතුවාට වාහනයකුත් නැතුවම බැරිය. අද මෙන්ම එදා ද මහින්ද දන්න නොදන්න කා අතරත් හොඳහිත දිනාගත්තෙකි. ඔහු ලද මවා නොගත් හිතමිත්‍ර කතාබහ හිනාව දකුණේම උරුමයකි.

මහින්දට අපි හරි වාහනයක් අරගෙන දෙන්න ඕනෑ.. ඒ නිසාම මහින්දගේ හිතවතුන් එහෙම කල්පනා කළේය. එකල පාවිච්චි කළ අනර්ඝතම තත්ත්වයේ බෙන්ස් රථයක් රුපියල් 28,000කට පමණ මිලදී ගත හැකිය. හිතවත්කමත් ආදරයත් වැඩි වූ විට දෙන්නට හදන්නේ හොඳම දේ අතරත් හොඳම දේය. එහෙයින් ඒ හිතමිත්‍රයෝ එක්ව මහින්දට රුපියල් 32,000ක මුදලට ස්පෝට් ෆියට් කාර් එකක් මිලට ගෙන දුන්නේය. ඒ වාහනයෙන් අවුරුදු විසි පහේ මහින්ද වැඩිපුරම ආවේ ගියේ දේශපාලන ගමන් බිමන්ය.

“මට මතක හැටියට මම ඔය කාර් එකේ ගියේම දේශපාලන ගමන් බිමන්.. මගේ හිතමිත්‍රයෝ එකතුවෙලා අරගෙන දුන්න ඒ කාර් එකක ඇත්තටම මට ලැබුණු තෑග්ගක්.. හැබැයි පහුකාලෙක මම ඒ තෑග්ග ඔය අමරසිරි මහත්තයට විකිණුවා. ඒ විකිණුවේ කීයටද කියලානම් මතක නෑ දැන්.. විසි පහේදී මගේ වෙච්ච ඒ කාර් එක ආපහු හැත්තෑ පහේ උපන්දිනේට මම ආයෙත් උපන්දින තෑග්ගක් විදිහට ලැබුණා.. හරියටම අවුරුදු පනහකට පස්සේ.. මගේ කාර් එක මිලට ගත්ත අමරසිරි මහත්තයා දැන් ජීවතුන් අතර නෑ.. එතුමාගේ පුතා තමා මට මේ අපූරු උපන්දින තෑග්ග දුන්නේ..” ඒ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපට දුන් උත්තරයයි.

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කීවාට මේ තෑග්ගට එහෙම කියන්නටද හැටියක් නැත. මක් නිසාද යත් තෑග්ග යළි විකිණී යළි තෑග්ගක් ලෙස ලද හෙයිනි. එහෙයින් එය තෑග්ගෙන් තෑග්ග නොව තෑග්ග විකිණීම යළි තෑග්ග යන අපූර්වත්වයත් එක්ක බැඳුණු තෑග්ගකි.

කාර් එක මිලට ගත්තේ කීයටද? කවදාද? කොහොමද ඇත්තටම ඔය ගනුදෙනුව සිද්ධ වුණේ..? මේ කාර් එකේ ගිය විශේෂ ගමන් බිමන් එහෙම මොනවද? අසන්නට අවැසි මුත් මේ එක ප්‍රශ්නයක්වත් අහන්නට පොළොව යට නින්දක නිදන ඒ අමරසිරි මහත්තයට යළි නොඇහැරවෙන බව අපි දනිමු. එහෙයින් ඒ ප්‍රශ්න එලෙසම ඉතිරි කර 5ශ්‍රී3993 අංකය දරන නිල් පාට ස්පෝට් ෆියට් කාර් එකේ වර්තමාන අයිතිකාරයා කියූ දේ අපි අහමු.

ව්‍යාපාරික දුමින්ද අමරසිරිගේ තාත්තා එස්.ඒ. අමරසිරිය. එස්.ඒ. අමරසිරි මහත්තයාට 5ශ්‍රී3993 ෆියට් රථය ජිවිතයේ කවදාවත්ම අමතක නොවන මතක දෙකක් ජීවිතයට එක්කර තිබුණි. පළමු මතකය නම් ඔහු මිලදී ගත් පළමු මෝටර් රථය ද එයම වූයේය. අනිත් කාරණය නම් ඔහු මනාලියක කුලගෙට කැන්දාගෙන ආ දවසේ මංගල රථය වූයේද මේ ෆියට් රථයමය. ඊටත් එහා තවත් රස කතාවක් තිබේ. අමරසිරි මහත්තයා ඒ වග කියන්නට අද නැතත් ඔහු මේ මෝටර් රථයට අප්‍රමාණ ආදරයක් දැක්වූයේය.

එසේ නොවන්නට ඔහු තම ආදරණීය මනාලිය කැඳවාගෙන ආ දවසේ කපන මංගල කේක් ආකෘතිය බවට මේ මෝටර් රථය පත් කරන්නේ නැත. එදා ඔහු මනාලිය සමඟ කැපුවේ කාර් කේක් එකකි. මංගල උත්සවයකදී විශේෂයෙන්ම මීට අවුරුදු බර ගණනාවකට පෙර සාම්ප්‍රදායික වත්පිළිවෙත් ඇදහිලි කරපින්නා ගත් යුගයක නොඑසේනම් මඟුල් කේක් ගෙඩියේ ආකෘතිය හදවතක් හෝ වෙනත් මඟුලට ඔබින හැඩයක් විනා ෆියට් රථයක අනුරැවක් බවට පත් කරන්නට කොහෙත්ම හැටියක් නැත. එහෙයින් සුන්දර හිතුවක්කාරකමක් ද ඒ කේක් ආකෘතිය තේරීමේදී අමරසිරි මහත්තයා තුළ තියෙන්නට ඇතැයි සිතේ.

එසේම ඒ කේක් රස බැලුවෙක් අදත් කොහේ කොතනක හරි ඉන්නවාට කතා දෙකක් නැත. ඒ මතකය උන් ළඟ තවමත් ඇතුවාටත් කතා දෙකක් නැත.

ඒ විතරක්ද ඒත් නැත.. තවත් අතකින් මේ ෆියට් මිත්‍රයා මහා පුදුම වාසනාවන්තයෙකි. 13 අංකය සේම 9 අංකයත් නපුරුයිලු... සමහරු එසේ කීවත් 5ශ්‍රී3993 අංක සියල්ල එකතු කළ විට තනි අංකය 9 වුවත් මේ ෆියට්කාරයා නම් මහ පුදුම වාසනාවන්තයෙකි.

රටක දෙවරක් ජනාධිපති පදවියට පත්, රටක් ඇවිලූ මහා යුද්ධයක සමාප්තිය සටහන් කළ සේනාධිනායකයකුගේ පළමු මෝටර් රථය ලෙස මහින්ද දිවියේ තැනක රැඳෙන්නට සේම ඊළඟ අයිතිකාරයා වූ අමරසිරි මහත්තයාගේ ජීවිතේ මඟුල් දා මෙන්ම ඔහුගේ අමරණීය මතක අතරට එක්වන්නට ද මේ නිල් පැහැ ෆියට්කාරයා වාසනාවන්ත වූයේය.

වරක් ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර මෝටර් රථ තරගයකට ද මේ ෆියට් ඉදිරිපත් කෙරුණි. එයින් ද මේ ෆියට් අයිතිකාර අමරසිරි මහත්තයා දිනුවේය.

අනේ අමරසිරි මහත්තයා අද හිටියානම්.. ඒ දොල උපදින්නේ එසේ වී නම් තවත් ලියන්නට බොහෝ දේ එකතු කර ගන්නට හැකි වෙතැයි සිතෙන නිසාමය. එහෙත් නොගොසින් එන්නට බැරි නිසාම නොගොසින් සිටින්නට ද කාටවත්ම බැරිය.
එහෙත් ජීවිතය වරෙක මහ අරුමයකි.

හිමි අහිමිවීම ඇත්තටම සුන්දරය. නොඑසේනම් එක් කලෙක අහිමි වූ ඒ ෆියට්කාරයා යළි වසර පනහකින් ඉනික්බිති යළි හිමිකමක් බවට පත්වන්නේ නැත. පළමු අයිතිකාරයා සොයා එන්නේ ද නැත.

කාර් කතා සේම එවන් ආදර කතා ද ලොව කොතෙකුත් පවතිනවා ඇත. ඒත් අකුරු ලෙස පැමිණෙන්නේ රටක් දන්න මිනිසෙක් හා ඒ කතාව සබැඳේ නම් පමණි. ඒ යථාර්ථයත් සමඟ මේ නිල් පාට ෆියට්කාරයාට හදවතක් තිබුණානම් මෙසේ කියනු ඇතැයි මට සිතේ. 

ජනාධිපති කාලේ අගමැති කාලේ ඔය වෙඩි නොවදින අර ඩෝ මේ ඩෝ කෝටි ගාණේ මොන මොන අයියලා ළඟ හිටියත් එදා අවුරුදු විසි පහේ කාලේ මේ උත්තමයා ළඟ මොන ගමන යන්න එන්නත් කියලා හිටියේ ඕං මං විතරයි...

 සංජීවිකා සමරතුංග
සේයාරූ I අනුග්‍රහය ලංකාදීප පුවත්පත