ඖෂධීය ගුණයෙන් යුතු ගංජා නොහොත් කංසා වගාව ශ්‍රී ලංකාව තුළ නීතියෙන් තහනම්ය. එහෙයින් මෙරට කංසා වගා කරන්නේ රහසිගතවය. වැල්ලවාය, හම්බෙගමුව, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශ රහසිගත කංසා වගාවට ප්‍රසිද්ධ වන අතර මහ පරිමාණ කංසා හේන් විනාශ කොට ගිනි තැබීමට ආරක්ෂක අංශ කටයුතු කරයි. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ 1961 මත්ද්‍රව්‍ය ඖෂධ ඒකීය සම්මුතිය යටතේ වෛද්‍ය ප්‍රතිකාර හා පර්ෙය්ෂණ සඳහා නිෂ්පාදනය කිරීම හැර, ළඟ තබා ගැනීම, භාවිතය, වෙළෙඳාම, බෙදාහැරීම, ආනයනය, අපනයනය සහ නිෂ්පාදනය තහනම්ය. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 08 වැනි වගන්තිය අනුව ඖෂධ සඳහා පමණක් කංසා වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයා වෙත බලය පැවරී තිබේ.
ගංජා හෙවත් කංසා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC (ටෙට්රාහයිඩ්‍රොකැනබිනොල්) සංඝටකය අන්තර්ගත ශාක විශේෂයකි. මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන අනෙකුත් ද්‍රව්‍ය හා සංසන්දනය කිරීමේදී කංසාවල ඇත්තේ අවම හානිදායක තත්ත්වයකි. එමෙන්ම එහි අන්තර්ගත ඖෂධීය ගුණය අති විශාලය. එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් කංසා හා කංසා රෙසින ඉවත් කරන ලෙසට 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ එහි පවතින ඖෂධීය ගුණය පිළිබඳව සලකා බැලීමෙනි.
ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනීම සඳහා ලොව බොහෝ රටවල මේ වන විට කංසා වගාව නීති ගතකර තිබේ. ශ්‍රී ලංකාවේ රහසිගතව වගා කරන කංසා හේන් විනාශ කරනු වෙනුවට ඒවා ඖෂධ නිෂ්පාදනය සඳහා අපනයනය කළ හැකි බවට පසු ගිය කාලයේ විවිධ පාර්ශ්ව තුළින් අදහස් පළ විය. පසුගිය සතියේ පැවැති අයවැය විවාදයේදී ඩයනා ගමගේ මන්ත්‍රිවරියද මෙම අදහස ඉදිරිපත් කර තිබිණි.
“ලංකාව ඝර්ම කලාපීය රටක් වීම නිසා බොහෝ ඖෂධ නිසි පරිදි වගා කර ඒවා අපනයන කර විදේශ විනිමය ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වන විට නීතිවිරෝධී තත්ත්වයේ පවතින, එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යානුකූල බවක් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය වගාවක් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් ශක්තිමත් කර විදේශ විනිමය උපයාගැනීමට මැදිහත්වීමක් කිරීමට යෝජනා කරනවා”
ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අතිවිශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් වෙනවා” යැයි ඇය කියා තිබිණි.
කංසා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියලු විදේශ ණය ප‍්‍රමාණය 2025 වසර වන විට ගෙවා අවසන් කළ හැකි යැයි එක්තරා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වූ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාද වරක් ප්‍රකාශ කර තිබිණි.
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පසුගිය යහපාලන රජයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබිණි. කැනඩාව, මහා බ්‍රිතාන්‍ය කංසා සදහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සදහා ඉවත් කර ඇති බවත්. කංසා දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වන බවත්, ඖෂධ සඳහා භාවිත කිරීම ගැටලුවක් නොවන බවත් ඔහු කියා තිබිණි.
කංසාවල ප්‍රධාන රසායන සංඝටක වන්නේ කැනබිනොයිඩ් (මෙය එහි අන්තර්ගත ප්‍රධාන සංඝටකය වන අතර මෙම රසායනික ප්‍රභේද 113ක් පමණ සොයාගෙන ඇත.), ටර්පීන්ස් (සුවඳ සංඝටක) හා ෆ්ලේවනොයිඩ් (රස සංඝටක)ය. කැනබිනොයිඩ්හි අන්තර්ගත රසායනික ද්‍රව්‍ය අතර THC (ටෙට්රාහයිඩ්‍රොකැනබිනොල් - මානසික ආවේග ඇතිකරන සංයෝග. මෙහි ප්‍රබලත්වය අවම කළ ප්‍රභේද ඖෂධ සෑදීම සඳහා භාවිත කෙරේ) සහ CDB (කැනබිඩියෝල් - මානසික අවේග ඇති නොකරන ඉහළ ඖෂධ ගුණයකින් යුතු සංයෝගයකි. ලොව පුරා ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ) ප්‍රධාන වේ.
සාමාන්‍යයෙන් කංසා උප ප්‍රභේද තුනකට බෙදා තිබේ. ඉන් පළමුවැන්න කැනබිස් සැටයිවාය. (Cannabis Sativa) (මේ වර්ගය යොදා ගැණෙනුයේ විවිධ නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදනය සඳහාය.) දෙවැනි වර්ගය කැනබිස් ඉන්ඩිකා . (Cannabis Indica) ය. (මෙය ඉතා ඉහළ මත්ද්‍රව්‍ය සංයුතියකින් යුතුවන අතර ඇතැම් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ.) තෙවැනි වර්ගය කැනබිස් රෑඩෙරාලිස් . (Cannabis Ruderalis) ය. (මේවා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල වැවෙන වල්පැළෑටියක් ලෙස සැලකේ)
ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා තෙල් නිස්සාරණ හැකියාව (දේශීය හා විදේශීය වෙළෙඳපොළ) පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින්ද පසුගිය කාලයේ අධ්‍යයනයක් කර තිබිණි.. එම අධ්‍යයනය මගින් කංසා ශාඛයෙන් ලබාගත හැකි විපුල ප්‍රයෝජන රැසක් ඔවුන් අනාවරණ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සුලබ වශයෙන් දැකිය හැකි කංසා වර්ගය කැනබීස් සැටයිවාය. මෙම ශාඛයේ අවම THC ප්‍රතිශතයක් සහ ඉහළ CDB ප්‍රතිශතයක් පවතී. එහෙයින් ශ්‍රී ලංකාවේ වැවෙන කංසා පැළෑටිය ඖෂධ නිෂ්පාදනය සඳහා ඉතා යෝග්‍ය වන අතර ඉහළ අපනයන හැකියාවක්ද පවතී. Cryogenic Extraction Processes නම් ක්‍රමවේදය මගින් පැලෑටියේ රසායනික සංයුතියට හානියක් නොවන පරිදි එහි ඇති කැනබිනොයිඩ් රසායනය වෙන් කරගත හැකියැයි ගුවන් හමුදා අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.
කංසා දේශීය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ ත්‍රෛලෝක විජය පත්‍ර ලෙසිනි. අර්ශස්, ස්වාස, කාස රෝග සමනය සඳහාද අතීසාරය වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමටද කංසා සහිත ඖෂධ යොදා ගැනේ. ශ්‍රී ලංකාවේ ඇති පුරාණ ආයුර්වේද ග්‍රන්ථ රැසක කංසා පිළිබඳ සඳහන්ය. ඒවාට අනුව තෙල්, මෝදක, ගුලි, චූර්ණ, වටිකා, බස්න, ලේහ වැනි ඖෂධ වර්ග 110ක් පමණ නිෂ්පාදනය සඳහා කංසා යොදා ගැනේ. ඉන්දියානුවන්ගේ පැරණිතම ඖෂධ සංග්‍රහය වේද ග්‍රන්ථවල ඇතුළත් විය.. චීනයේ පැරණිතම ඖෂධ සංග්‍රහය පෙන්ෂෝචින්ග් නම් විය. පර්සියානුවන්ගේ ඖෂධ සංග්‍රහය මාක්ෂාන් අල් අද්වියාවිය. ශ්‍රී ලංකාවේ මුල් ම ඖෂධ සංග්‍රහය සාරාර්ථ සංග්‍රහයයි. යුරෝපයේ සැම රටකම මෙන්ම ඇමරිකාවේ ද ඖෂධ සංග්‍රහයන් තිබේ. ලතින් බසින් මැටීරියා මෙඩිකා නමින් හැඳින්වෙන ඖෂධ සංග්‍රහය ඉංග්‍රීසියෙන් ඩිස්පෙන්සරි හෝ පාර්මැකෝපියා නමින් හැඳින්වෙයි. මෙම සියලු ඖෂධ සංග්‍රහවල සඳහන්ව තිබූ එක් ප්‍රධාන ඖෂධීය ශාකයක් වන්නේ කංසා ය.
මෙම පැළෑටිය මුලින් හමුවී ඇත්තේ මීට වසර 12000කට පමණ ඉහත චීනයේ අල්තායි කඳුවැටිය ආශ්‍රිත ගංගා නිම්නවලය. ඖෂධ සඳහා පමණක් නොව වෙනත් නිෂ්පාදන සඳහාද කංසා යොදා ගැනේ.
CDB හෙවත් කැනබිඩියෝල් තෛලය කාන්සාව, ආතතිය, දියවැඩියාව, පිළිකා වැනි රෝග සඳහා වන ඖෂධ නිපදවීමට හා වේදනා නාශකයක් ලෙසද භාවිත කෙරේ. මෙම තෙල් යොදාගෙන දැනට ලොව පුරා විවිධ ඖෂධවර්ග නිෂ්පාදනය කෙරේ. ලෙනක්ස් ගැස්ටවුට් සින්ඩ්‍රෝමය හෙවත් ළමා වියේ වැළඳෙන අපස්මාරය, ජානමය ආබාධයක් වන ඩ්‍රාවට් සින්ඩ්‍රෝමය සඳහා භාවිත කෙරෙන Epidiolex නමැති ඖෂධය, පිළිකා රෝගීන්ට ලබා දෙන වේදනා නාශක ඖෂධයක් වන Sativex, පිළිකා රෝගීන්ට ඇතිවන වමන තත්ත්වය සමනය සඳහා ලබා දෙන Dronabinol, Marinol,Nabilone” Cesamet, සහ හෘද ශල්‍යකර්මවලින් පසු හා මොළයට සිදුවූ අනතුරුවලින් පසු යළි සිහිකැඳවීම සඳහා ලබා දෙන මෙන්ම මෙන්ම පිළිකා මර්දනය සඳහා ලබා දෙන Dexanabinol වැනි ඖෂධ නිපදවීම සඳහා කැනබිඩියෝල් රසායනික යොදා ගැනේ.
ලොව බොහෝ රටවල් මේ වන විට CDB රසායනික රූපලාවණ්‍ය ඖෂධ සහ ආහාරපාන නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ. විශාල ලෙස ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් හෙයින් ලොව පුරා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් CDB නිෂ්පාදන කෙරෙහි යොමු වී සිටිති. ගෝලීය වශයෙන් වැඩිම කැනබිඩියොල් තෙල් වෙළෙඳපොළ ඇත්තේ එක්සත් ජනපදයේ හා කැනඩාවේය. එක්සත් රාජධානිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, ආජෙන්ටිනාව, බ්‍රසීලය, කොළොම්බියාව ඊශ්‍රායෙලය සහ අප්‍රිකාව වැනි රටවලද එය ව්‍යාප්තව තිබේ.
2018 වසරේ ලෝක වෙළෙඳපොළේ කංසා නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත වෙළෙඳපොළ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර අගයක තිබිණි. 2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5ත් අතර වනු ඇතැයිද ඇස්තමේන්තු ගතකර තිබේ.
කංසාවල වැදගත්කම හඳුනාගැනීම මත ලොව රටවල් 40ක් පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කංසා සඳහා පනවා ඇති තහනම ඉවත් කරගෙන තිබේ. කොළොම්බියාව, කානඩාව, උරුගුවේ, ස්පාඤ්ඤය, පෘතුගාලය, රුමේනියාව, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කංසා භාවිතය තහනම් නොවේ. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව සහ කොරියාව, නෙදර්ලන්තය, වියට්නාමය හා මැලේසියාව වැනි රටවලද කංසා ආශ්‍රිත පර්යේෂණ හා නිෂ්පාදන කිරීමේ තහනමක් නොමැත. එක්සත් ජාතීන්ගේ 1961 සම්මුතියේ 4 (C) සහ 36 වගන්ති මෙන්ම 1988 සම්මුතියේ 3 වැනි වගන්තියේ 1 (9) ඡේදය අනුව වෛද්‍යමය කාර්යයන් සඳහා නොවන කංසා භාවිතයට අවසර ලබා දෙන්නේ නැත.
කංසා සඳහා දැඩි නීති පනවා තිබූ ඇතැම් රටවල කංසා ඖෂධීය ශාඛයක් ලෙස පිළිගැනීමට ලක්වෙමින් තිබේ. 2018 වසරේ තම රෝගීන්ට කංසා තෙල් ඖෂධයක් ලෙස ලබා දුන් මැලේසියානු වෛද්‍යවරයකුට මරණ දඬුවම හිමි විය. එහෙත් ඉන් වසරකට පසු එම තහනම ඉවත් කර තිබේ. ඒ අනුව මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ඖෂධ නිෂ්පාදනය සඳහා හෝ පර්ෙය්ෂණ සඳහා කංසා වගා කිරීමට හැකිය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා