කොරෝනා වසංගතයත් සමඟ ගාල්ල කොටුව නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ නොපැමිණීම නිසා සංචාරක කර්මාන්තයෙන් ජිවත්වන ගාලු කොටුවේ වෙළෙඳුන්, ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු විවිධ කේෂ්ත්‍රවල විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව සිටිති. මේ නිසා ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමිවී ඇති බවද ඔවුහු පවසති. පළමු කොරෝනා රැල්ලෙන් පසු නැවත දේශීය සහ විදේශීය සංචාරකයන් ගාලු කොටුවට පැමිණිම නිසා තරමක් අතමිට සරැවෙමින් පැවතියත් දෙවැනි කොරෝනා රැල්ල සමඟ නැවතත් ඔවුහු අසරණ තත්වයට පත්ව සිටිති.
සංචාරකයන් නැතිවීමෙන් ආදායම් නෑ
මේ පිළිබඳ තොරතුරු සොයා ගිය ගමනේදී හමුවූ ගාලු කොටුවේ පදිංචිකරුවෙකු වන එම්.එස්.ඒ. චන්ද්‍රසිරි මහත මෙසේ කීය.
කොරෝනා වසංගතය රටටම පොදු වුණත් ගාලු කොටුවට මෙය විශේෂයි. ගාලු කොටුවේ වැඩි පිරිසක් ජීවත් වෙන්නෙ සංචාරක කර්මාන්තයෙන්. ඒ නිසා සංචාරක කර්මාන්තය අඩපණ වූ විට ඔවුන්ට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. මෙහිදී බැංකුවලින් ණය ගත් පුද්ගලයන්ට විශේෂ සහන ක්‍රමයක් සැලසිය යුතුයි. සමහර බැංකු නිලධාරින් ජනතාවගේ අසරණ තත්ත්වය කල්පනා කරන්නෙ නැහැ. ඔවුන් යැපෙන්නෙ ජනතාව බැංකුවල මුදල් තැන්පත් කරන නිසා බව අමතක වෙලා. ජනතාවගෙ පැත්තෙන් හිතන්නෙ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතා දුක හඳුනන නායකයෙක් බව දන්නවා. ඒ නිසා සංචාරක කර්මාන්තය සඳහා බැංකුවලින් ණය අරගෙන ඉන්න අයට සහනයක් ලබාදේවි කියා විශ්වාස කරනවා.
ඓතිහාසික ගාලු කොටුවේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ නිවාස 293 ක් තියනවා. එම නිවාසවලින් නිවාස 200 ක පමණ විදේශිකයන් විසින් සංචාරක කර්මාන්තය පවත්වා ගෙන යනවා. ඉතිරි නිවාස 93 අයිතිකරුවන් සංචාරක කර්මාන්තයට සම්බන්ධයි. නමුත් සංචාරකයන් නැති නිසා ඔවුන්ට ආදායම් මාර්ග අහිමිවෙලා.
අපිට ආදායමක් නෑ: හැබැයි නගර සභාවෙන් ගාන කපනවා
මනතුංග නන්දසිරි:
ගාල්ල මහ නගර සභාව විසින් පාලනය කරන රථගාල් පහක් ගාලු කොටුව තුළ තියෙනව. මේ රථගාල් පහ ටෙන්ඩර්වලින් මම අරගෙන තියෙන්නෙ. මාසයකට රුපියල් දෙලක්ෂ අනුනව දහසක් නගර සභාවට ගාස්තු ලෙස ගෙවන්න ඕන. නමුත් කොරෝනා නිසා දැන් සංචාරකයන් එන්නෙ නැහැ. ඒ නිසා දවසකට රුපියල් 500 ක ආදායමක්වත් දැන් නැහැ. අපි අසරණ වී ඇති බව නගර සභාවට දැනුම්දී සහනයක් ඉල්ලා සිටියා. නමුත් මෙතෙක් කිසිම සහනයක් ලැබී නැහැ. නියමිත ගාස්තුව මාසික නොගෙවීම නිසා නගර සභාවේ තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ දහයෙන් නගර සභාව මාසික ගාස්තු අඩු කර ගන්නවා. ඒ නිසා අපට සාධාරණයක් ඉටු කරන ලෙස නගර සභාවෙන් ඉල්ලා සිටිනවා.
අයිස් ක්‍රීම් අලෙවිය බිංදුවට බැහැලා
ගාලු කොටුවේදි හමුවු අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු වන ඩී.ජී. සමන්:
අවුරුදු 32 තිස්සේ මම ගාලු කොටුවේ අයිස්ක්‍රීම් විකුණනවා. කොරෝනාවට කලින් දිනකට රුපියල් 1500 ක 2000 ක විතර අයිස්ක්‍රීම් වික්කා. නමුත් කොරෝනා වසංගතය නිසා දැන් දිනකට රුපියල් 250 කවත් අයිස්ක්‍රීම් විකුණන්න බැහැ. කලින් ගාලු කොටුවෙ අයිස්ක්‍රීම් වෙළෙන්දන් අට දෙනෙක් විතර සිටියා. නමුත් දැන් ආදායම් නැති නිසා ඔවුන් කිසිම කෙනෙක් එන්නෙ නැහැ. කොරෝනා නිසා අපි බරපතළ විදියට අසරණ වෙලා.
තැඹිලි ගෙඩියක්වත් විකිණෙන්නෙ නෑ
ගාලු කොටුවෙ ජංගම වෙළෙන්දකු වන සමන් ප්‍රියන්ත:
කොරෝනාවට කලින් ගාලු කොටුවට සංචාරකයන් විශාල වශයෙන් ආවා. නමුත් කොරෝනා දෙවැනි රැල්ලෙන් පසුව සංචාරකයන් කොටුවට එන්නෙ නැහැ. මේ නිසා අද තැඹිලි ගෙඩියක්වත් විකුණ ගන්න බැහැ. ගියවර රජය රුපියල් 5000 ක සහනාධාරයක් දුන්නා එය විශාල ශක්තියක්. නමුත් මෙවර එම සහනාධාරය අපට ලැබෙන්නෙ නැහැ. වෙළෙඳාම නැති නිසා අද ජංගම වෙළෙඳුන් ගාලු කොටුවට එන්නෙ නැහැ.
වෙනදා සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබු ගාලු කොටුවේ මාර්ග මේ දිනවල පාළුවට ගොස් ඇති අයුරු මෙම තොරතුරු සොයා ගිය ගමනේදි දැක ගන්නට ලැබුණි. එමෙන්ම කොරෝනාවට පෙර විශාල පිරිසක් දිය නෑමට කොටුව මුහුදු වෙරළට පැමිණි නමුත් කොරෝනා වසංගය නිසා නෑමට පැමිණෙන පිරිස බෙහෙවින් අඩුවී ඇත. ගාලු කොටුවේ සංචාරක කර්මාන්තය නිසා ජීවත්වු විශාල පිරිසකට අද ආදායම් මාර්ග අහිමි වී ඔවුන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටින බව මේ තොරතුරු සෙවීමේදී අනාවරණය විය.
ආර්.එල්. දීයගහගේ