2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

ආර්ථික බිඳවැටීම හමුවේ අර්ථසාධක අරමුදල අනතුරේ හෙළා ආණ්ඩුව අයවැය හිඟය පියවා ගැනීමට යන බවට චෝදනාවක් ගෙවුණු සතියේදී අවසන්ට ලැබුණි. විපක්ෂ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම දිගින් දිගටම මතුකළ මෙම චෝදනා සරලව ගත හැක්කක් නොවේ. එම නිසාම අයවැය විවාද පදනම් කරගෙන මතුවූ මෙම කතාබහ පිළිබඳ විමසා බැලීමට අප තීරණය කළෙමු. අර්ථසාධක අරමුදල පිළිබඳ මතුවී ඇති මත එකින් එක ගෙන අප මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලුවෙමු. විපක්ෂය පාර්ශ්වයෙන් මතුවූ කරුණු පළමුව අවධානයට ගැනීම වටී. 

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේ ඊ.ටී.එෆ්. ගැටලු ලබාදී තිබුණේ මෙවන් අර්ථකනයකි.

දැන් අර්ථසාධක අරමුදල ගන්න වෙන්නේ අවුරුදු 60දී. මොකද, අවුරුදු 55 ඉඳලා අවුරුදු 60 වෙනකම් දැන් අවුරුදු 5ක් කල් වැඩිකර තිබෙනවා. විශ්‍රාම යන කාල සීමාව. දැන් මේකේ යටි අරමුණ මොකක්ද? ඒ කියන්නේ අවුරුදු 5ක් තිස්සේ අර ගෙවන්න තිබෙන මුදල ගෙවන්න වෙන්නේ නැහැ. ඒ මුදල නැවතත් රජයට ගන්න පුළුවන් ආයෝජනය කරන්න. ඔවුන්ගේ ණය ගෙවන්න.

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60ක දක්වා වැඩි කිරීමට 2021 අයවැයන් යෝජනා ඉදිරිපත් විය. අර්ථසාධක අරමුදල පිළිබඳ චෝදනාවේ පදනම එයයි. කෙසේවෙතත් ආණ්ඩුව කියා සිටිනේ මෙම යෝජනාවෙන් මේ හරහා පෞද්ගලික අංශයේ රුකියාවන්හි නිරතව සිටින ලක්ෂ 35කට අධික පිරිසකට එකවර විශාල සහනයක් සැලසෙන බවයි. දැනටමත් රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60ක් වන අතර වෙනත් රටවල අවුරුදු 65ක් පමණ වනතුරු සේවයේ යෙදී සිටීමට හැකි බවත් අත්දැකීම් මත ලබාදෙන සේවාව වඩාත් ඵලදායි වන බවත් ඔවුහු කියා සිටිති.

එහෙත් විපක්ෂය නගන චෝදනාව සුළුපටු නැත. සමගිජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ මෙම පැහැදිලි කිරීම හරහා එය අවබෝධ වෙයි.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 55 සිට 60 දක්වා වැඩි කිරීමට රජය එකපාරට තීරණය කර තිබෙනවා. ආයු කාලය වැඩිවීමත් එක්ක ලෝකයේ රටවල් එහෙම විශ්‍රාම යන වයස 60-62 දක්වා වැඩි කරල තියෙනවා. හැබැයි කිසිම රටක් එකපාරට වයස 55 සිට 60 දක්වා වැඩි කරල නැහැ.

සේවක අර්ථසාධකවල මුදල් පිටට දීම වැළැක්වීම තමයි මේකෙ යටි අරමුණ. 2016 වසරෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලේ විධිමත් වාර්තාවක් නිකුත් කරල නැහැ. ඒ වාර්තාවට අනුව සේවක අර්ථ සාධක අරමුදල් දෙකේ ආසන්නව රුපියල් බිලියන 2900ක් පමණ තිබෙනවා. එහි ගිණුම් ලක්ෂ 26ක් තියෙනවා. වසරකට ලක්ෂයකට අධික පිරිසක් විශ්‍රාම යමින් තිබෙනවා.

මේ අයගේ විශ්‍රාමික පාරිතෝෂිකය ලබා නොදීම තමයි ආණ්ඩුවේ යටි අරමුණ. මේ ඉදිරි අවුරුදු 5දී රුපියල් බිලියන 500ක් පමණ මේ ආකාරයට ආණ්ඩුව සතු කරගන්නත්, අයවැය හිඟය පියවා ගන්න යොදවා ගන්නත් පුළුවන්. ඒ විතරක් නොවේ 2025 නව ආණ්ඩුවක් පත්වුණොත් ඒ ආණ්ඩුවට මේ මුළු මුදලම එකපාර ගෙවන්න වෙනවා. වත්මන් පොලී අනුපාතයත් එක්ක ගත්කළ රුපියල් බිලියන 500ට වැඩි වෙන්න පුළුවන්. ඒක ඊළඟ ආණ්ඩුවට විශාල බරක්. වැඩකරන ජනතාවගේ පැත්තෙන් විශාල බරක් ඉතුරු කරල තියෙනවා.

මේ අතර ආණ්ඩුව පාර්ශයෙන් මීට  ලැබෙන්නේ වෙනස්ම පැහැදිලි කිරීමකි. ඒ අනුව යම්කිසි පුද්ගලයකුට සිය සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභය වසය 55 දී ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලබාදිය හැකි බවත්, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා ඉහළ නැංවූයේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවීම වැනි කරුණු සලකා බලා බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.

“55 කියලා අපි දැම්මේ විශ්‍රාම වයස මිනිස්සු අවුරුදු 60ක් වෙනකම් ජීවත් වෙනකොට. සාමාන්‍යයෙන් ආයු අපේක්ෂාව තිබුණේ එහෙම. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ආයු අපේක්ෂාව 76-78 වෙනකං වැඩිවෙලා තියෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 78-79 වෙනකං ජීවත් වෙනවා නම්, අවුරුදු 24ක් සමාජයෙන් නඩත්තු කරන්නට අවශ්‍යයි. අනෙක් එක එයත් කියයි මට වැඩ කරන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙකුට වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා තමයි එක වැඩක් ඉවරවෙලා විශ්‍රාම අරගෙන ගිහිල්ලා වෙන වැඩක් කරන්නේ. දැන් ඒ අයට ඒ ආයතනයෙන් තව අවුරුදු 5ක් වැඩ කරන්න දෙනවා නම් මොකක්ද ඒකේ තියෙන වැරුද්ද?

අය වැය කතාව තුළදී විශ්‍රාමික වයස පිළිබඳ කතාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආයු අපේක්ෂා ඉහළ යෑම මෙම තීන්දුවට හේතුව බව කියා සිටියේය. නමුත් මේ හා සම්බන්ධව ආණ්ඩු විරෝධය පාර්ශව සියල්ල පාහේ ගොනුකරනු ලබන්නේ විරෝධයකි. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද මෙම ගැටලුව පිළිබඳ අදහස් දක්වා තිබුණි.

මේ අය වැයෙන් විශ්‍රාම යන වයස 60 කිරීම ඉතාම හොඳ තීරණයක්. හැබැයි ඒකෙන්ම කියනවා අර්ථසාධක අරමුදල ගන්න වයසත් 60 වෙන්න ඕන කියලා. මේ ආණ්ඩුව හදන්නේ අර්ධසාධක අරමුදලටත් විදින්නද කියලා අපිට හිතෙනවා. ඉතිහාසය ගත්තොත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට ඉන්න කාලෙත් අර්ථසාධක අරමුදල සම්බන්ධ විවිධ ප්‍රශ්න ඇතිවුණා. ලබන වසර වෙද්දී අපේ රටට තව ප්‍රශ්න රැසකට මුහුණදෙන්න වෙනවා. එළඹෙන වසරේදී ඇති වන අර්බුදයට විසඳුම් මොනවද කියලා කියන්න. අයවැයේ සමහර යෝජනා ගැන අපි සතුටු වෙනවා. හැබැයි ආණ්ඩුව කියන්න ඕන මේ යෝජනා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. නැත්නම් මේ අයවැය නිකන්ම නිකන් කොළයක් බවට පත්වේවි. රටේ ආර්ථික දැක්ම වහා රටට හෙළි කරන්න.

මීට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂ මේ හා සම්බන්ධව වෙනස්ම පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. ඒ අනුව  දුමින්ද නාගමුව මහතාගේ පැහැදිලි කිරීම මෙවැන්නකි.

ඔහුට අනුව ආණ්ඩු ලබාගෙන ඇති දේශීය ණය මුදල් වලින් 60%ක් පමණ ලබාගෙන ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල තුළිනි. සේවකයන්ගේ අරමුදල කොල්ලකෑමසඳහා සෑම ආණ්ඩුවක්ම නොයෙක් ආකාරයෙන් කටයුතු කර තිබේ. එසේම සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් ණය ලෙස පසුගිය ආණ්ඩුව ලබාගෙන ඇත. ඒවායේ ප්‍රතිලාභද ගෙවීම මේ වනවිට මග හරිමින් සිටින බව පෙන්නට තිබේ.

මේ ආදී වශයෙන් කවර චෝදනා මතු වුවද ආණ්ඩුවේ වගකිවයුත්තන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටියි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ මේ සහනය රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලටද අයත් වන බවයි. අවශ්‍ය අයකුට වයස අවුරුදු 55න් විශ්‍රාම යා හැකි බවද ඔහු කියා සිටියි. අවුරුදු 55 පිරුණුවිට අර්ථසාධක අරමුදල ලබාගැනීම සම්බන්ධවද ඉදිරියේදී සාකච්ඡා කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ හා සම්බන්ධව කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා තහවුරු කර තිබේ. ඒ මහතා පසුගියදා මාධ්‍ය වෙත කියා සිටියේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 60ක් දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා වුවද, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන සේවකයින්ට වයස අවුරුදු 55 පිරීමෙන් පසු අරමුදලට දායක වූ මුදල ලබා ගැනීමට හැකිවන පරිදි කම්කරු පනත් සංශෝධනය කළ හැකිදැයි මේ වනවිට සලකා බලමින් සිටින බවයි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04