2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

බෝලයක් නිසා තරුණ සිසුවකුට වෙඩි තැබූ දොස්තර

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

ගිය 22 වැනිදා ඉරිදා දවසක් නිසා විතරක් නොවේ, මේ තරුණ දරු පිරිසට නිවාඩුවක් ඇත්නම් ඕනම වෙලාවක්  පිට්ටනියේ ගෙවා දමති. ඒ රස්තියාදුවකට නොව කොලුකමටය. අතපය දිගහැර දුවපනින පිටිය දෙවනත්ව කෑගසා දා බිඳු හෙළන ක්‍රීඩාවටය.

මේ බව දන්නා වැඩිහිටියන්ගෙන් දරුවන්ට බාධාවක් නැත. මේ කොලුගැටයන්ට ක්‍රිකට් පිත්තත් පන්දුවත් හැරෙන්නට වෙන යමක් වුවමනා නැත.

කොවිඩ් වසංගතය හමුවේ හැමෝගෙම  නිදහස ගෙදරටම සිරකොට දැමුණු  පසු ඇතැමුන්ට  කරන්නට දෙයක් නොවීය. බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හමුවේ බොහෝ දෙනා  ගෙදර බිත්තිවලටත් කොන්ක්‍රීට් තට්ටුවලටත් හිරවී සිටියහ. දින ගණනාවක ඇඳිරිනීතියට පසුව එහෙ මෙහෙ යන්නට වෙලාව ලද මේ කොලුගැටයන්ට සෙල්ලමට අවස්ථාව ලැබිණ. 

මහරගම නගරයට නුදුරු පන්නිපිටිය  ඇරුව්වල සමගි මාවතේ පදිංචි පාසල් යන තරුණ දරුවන් කිහිප දෙනෙකි. ඕෂධ විමුක්ති සිය සොහොයුරා ඇතුළු ප්‍රදේශයේ මිතුරන් සමඟ ඇරුව්වල ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියි. රුස් වූ පිරිස හුරුපුරුදු ගමේ පාසල් ක්‍රීඩාපිටියේ සුපුරුදු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණහ.

දවස ඉකුත් ඉරිදා පෙරවරුවය. “ඕෂධ” තම හිතමිතුරන් සමඟ එක්ව පාසල් පිට්ටනියේ හෝරාවක් පමණ ගත කළේය. ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කොට ටික වේලාවකි. තරුණ දරුවකු වැරෙන් එල්ල කළ පහරකට උඩගිය පන්දුව ඉහළින්ම ගොස් පිට්ටනිය කෙළවරේ තාප්පයට පිටින් වූ ඉඩමට වැටී තිබිණ. මීට පෙරත් ඕනෑ තරම් එම භූමියට පන්දුව වැටී නැවත රුගෙන ඒමට තාප්පයෙන් පැනීම හෝ එහි නැග නිවැසියන්ගෙන් ඉල්ලීමට දරුවෝ පුරුදුව සිටියහ. මෙදින ද පන්දු රකිමින් සිටි තරුණ දරුවන් අතර සිටි ඕෂධ තාප්පය මත නැගීමේදී ගෙදර දොර ජනෙල් ඇර නිවැසියන් සිටිනු දැක “අපේ බෝලය පොඩ්ඩක් මෙහාට දාන්නකෝ...* යැයි ඉල්ලා සිටියේය. ඒත් සමඟම තවත් දරුවෙක් තාප්පය මත නැගුණේ යාළුවාගේ සහායටය.

මේ සමඟම ගෙයින් එළියට පැමිණි නිවෙස් හිමියා “මොන කරදරයක්ද මේ හැමදාම” යැයි කියා එක පෙළට දෝෂාරෝපණය කරමින් “හිටපන් කරන්නම්කො මම උඹලට හොඳ වැඩක්” කියමින් නිවෙස තුළට ගියේය. එසැණින් පිටතට ආ පුද්ගලයා අත ගිනිඅවියක් දකින්නට ලැබිණ. ඕෂධ දෙසට එය එල්ල කරමින් ඔහු “හිටපන් බෝලෙ දෙන්න” යැයි ගෝරණාඩු කොට අවිය ක්‍රියාත්මක කළේය. ක්ෂණයකින්  ඕෂධගේ පපුවේ යමක් ගැටී දකුණුපස හිරිවැටීමත් සමඟ වේදනාවක් ඇතිව තිබුණේ ඔහුව තාප්පයෙන් බිම හෙළමිනි. ගිනිඅවියක් ලෙස පෙනුණ ද එය වායු රයිෆලයක් බව වටහා ගත් ඕෂධගේ මිතුරාගේ හඬ ගැසීමත් සමඟ ක්‍රියාත්මක වූ තරුණ පිරිස ගෙහිමියා වෙත කඩාපැන වායු රයිෆලය උදුරා කඩා දැමූහ.

ඒ වන විටත් තුවාල ලබා වේදනාවෙන් පසුවූ මිතුරා පාසල් පිට්ටනියෙන් උස්සාගෙන ගොස් පාරට ගන්නා අතරතුර හදිසියේ වූ සිදුවීම අසල්වැසියන්ට සැලවී අවසන්ය. එදින උදේ 11:30ට පමණ වූ අනතුරත් සමඟ තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ. ඒ අතරම සිදුවීම පොලීසියට පැමිණිලි කරන්නට ඥාතීහු කටයුතු කළහ. තුවාලකරු රෝහල් ගතකිරීමත් සමඟ සැත්කමකට භාජනය කළ බවත් ඉන් අනතුරුව රෝහලේ වාට්ටුවක් වෙත යොමුකළ බවත් රෝහල් ආරංචි මාර්ග අණාවරණය කළේය. මෙසේ තුවාල ලැබූ සිසුවා ඇරුව්වල සමගි මාවතේ පදිංචි ඇරුව්වල ධර්මපාල විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන අයෙකි.

පාසල් වයසේ පසුවූ 17 හැවිරිදි  සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තැබූ සැකකරු 46 හැවිරිදි මහරගම අපේක්ෂා රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. ඔහු එම රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු අයෙකි. මොහු අංක 273, ඇල්විටිගල පාර, පන්නිපිටිය ලිපිනයේ පදිංචිකරුවෙකි. සැකකරුට එරෙහිව පියවර ගත් මහරගම පොලීසිය ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 316 වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර ඇති බව පහදා දෙමින් ඔහු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අගතියට පත් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර මංචනායක මහතා සහ ශ්‍යාමා චන්ද්‍රසේන මහත්මිය හෙළිකළේ  ඕෂධ ඇතුළු සිසු පිරිස සැකකරුගේ මෝටර් රථයට අලාභ හානි සිදුකර ඇති බවට අසත්‍ය පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවකි.

මෙහිදී අධිකරණය වෛද්‍යවරයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසද පොලිසියට නියෝග කරනු ලැබීය. අනතුරුව සැකකරු ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

මහරගම පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04